ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාව තුළ තවත් ඉදිරි ගමනක් සනිටුහන් කරමින් දේශීය සිනමාව ජාත්යන්තරතලයට ගෙන ගිය, 2013 වර්ෂයේ නිව්යෝර්ක් සිටි ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේ හොඳම නළුවාට හිමි සම්මානයෙන් ජගත් චමිල පුද ලද 'සැමීගේ කතාව' සිනමා නිර්මාණය මේ දිනවල රීගල් ප්රමුඛ දිවයින පුරා සිනමාහල් වලදී ප්‍රදර්ශනය වේ.
'සැමීගේ කතාව' ප්‍රියංකර විතානාච්චි අධ්යක්ෂවරයාගේ කුළුදුල් සිනමා නිර්මාණයයි. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'අහසින් පොළොවට' සිනමා නිර්මාණය නැරඹීමෙන් සිනමාව කෙරෙහි ආකර්ෂණයක් දැක්වූ ඔහු පසුව තිස්ස අබේසේකරයන් යටතේ මෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය තුළදීද සිනමාව පිළිබඳව හදාරා තිබේ. 'සැමීගේ කතාව' ලෙස මෙලෙස එළිදකින්නේ ඔහුගේ වසර 35 ක සිහිනයක් සැබෑවීමකි.
ග්‍රේෂන් සම්මානයෙන් පුදලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් රචිත 'Sams’s Story' නවකතාව ඇසුරින් සැකසුන සැමීගේ කතාව තුළ ඉතා දුෂ්කර පළාතක, දිළිඳු පවුලක උපන් සිරිරත්න පිළිබඳව කියැවේ. 'සැමීගේ කතාව' පිළිබඳව තවදුර තොරතුරු විමසා සිටීමට අද අපි එහි අධ්යක්ෂ ප්‍රියංකර විතානාච්චි මහතාව සම්බන්ධ කර ගතිමු.
සැමීගේ කතාවට නිමිත්ත වූයේ කුමක්ද?
චිත්‍රපටයක් කරන්න අශාවෙන් ඒ පිළිබඳව කරුණු සොයා බලමින් සිටින කාලයේදී තිරරචනා පිළිබඳ හොයල බැලුවා. එහිදී මට ලැබුණු තිරරචනා ගෝචර වුණේ නැති නිසා, තිරරචනා ලියන්න ගතවන කාලයත් වැඩිනිසා මම හිතුවා හොඳම දේ හොඳ නවකතා පොතකින් තිරරචනයක් ලියන එක කියලා.
සාහිත්‍යයෙන් සිනමා නිර්මාණයක් බිහිකිරීමේ අරමුණින්මම පොත් සාප්පුවකට ගොස් ලබාගත් පොත් අතර සැමීගේ කතාවත් එක පොතක්. ඒ පොත කියවද්දි සැමීගේ චරිතයට ඇතිවුණ ළෙංගතුකම සහ සැමීගේ කතාව කියවන විට සිතේ ඇඳුණ රූපරාමු නිසා මේ ආශ්‍රිතව චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මට ආශාවක් ඇතිවුණා. ඒ නිසයි 'සැමීගේ කතාව' චිත්‍රපටයකට තෝරාගන්න හිතුවේ.
ජාත්‍යන්තර ඇගයීම් ලැබුවත් බොහෝ කාලයක් ගතවුණා නේද මේ සිනමාපටයශ්රී ලංකා ප්‍රේක්ෂකයන්ට නැරඹීමට?
ඒකට ප්‍රධානම කාරණය වුණේ 'සැමීගේ කතාව' ප්‍රදර්ශනය කිරීමට මට තිබුණ පහසුකම් අඩුකමයි. චිත්‍රපටය මිලිමීටර් 35 ක ප්‍රමාණයේ නිසා තිරපිටපත් මුද්‍රණය කිරීම, පිටපත් මුද්‍රණය කිරීම, ප්රචාරක වැඩකටයුතු ආදිය කරගැනීම ප්‍රමාද වූ නිසා තමයි ප්‍රදර්ශනය ප්‍රමාද වුණේ. පසුව ජාතික චිත්‍රපට සංස්ථාව මට උපාර කළ නිසාවෙන් මෙය ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබුණා. ඒ පිළිබඳව ජාතික චිත්‍රපට සංස්ථාවට මගේ ස්තූතිය පුදකරනවා.
ලෝකෙන්ම හොඳම නළුවා බවට සම්මාන ලබාගත් චිත්‍රපටය මෙය වුවත් ලංකාවේ ප්‍රධාන සිනමාහල් තුළ 'සැමීගේ කතාව' ප්‍රදර්ශනය කිරීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ නෑ?
ඇත්තෙන්ම මෙය ප්‍රදර්ශනය කරන්නේ සිනමා ශාලා විස්සක පමණ ප්‍රමාණයක. මා හිතන්නේ මෙම චිත්‍රපටය ප්‍රධාන සිනමාහල් වල ප්‍රදර්ශනය කිරීමට නොලැබුණේ ඒ සිනමාහල් වල පුද්ගලයන් සිතන ආකාරය අනුව වෙන්න ඇති. ඒක ඔවුන්ගේ විදිහ. එහි වරදක් මම දකින්නේ නැහැ. මෙම චිත්‍රපටය බෙදාහැරීමේ සමාගම් කිහිපයකින් ප්‍රදර්ශනය කිරීමට උනන්දුවක් තිබුණේ නැහැ. අකමැත්ත ප්‍රකාශ කළා.ඔවුන්ගේ හැඟීමක් තිබෙනවා, ඔවුන්ගේ විශ්වාසයක් තිබෙනවා සමහර වෙලාවට ඔවුන්ගේ භාෂාවෙන්ම කියනවානම් මේ වගේ චිත්‍රපට වැඩකරන්නේ නැහැ කියලා. මේ වගේ චිත්‍රපට දුවන්නේ නැහැ කියලා. ඒ නිසා වෙන්න ඇති ඔවුන් මෙය භාර නොගත්තේ.
ඇත්තටම මෙවැනි චිත්‍රපට ප්‍රේක්ෂකයා වැළඳ ගන්නේ නැද්ද?
දැනට 'සැමීගේ කතාව' ප්‍රදර්ශනය කරල දින කිහිපයක් ගතවෙනවා. මේ වනවිට චිත්‍රපට ශාලා කිහිපයකටම මම ගිහින් බැලුවා. චිත්‍රපට ශාලාහිමියන් බහුතරයක්ම කියන්නේ මේ චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන් වැඩිපිරිසක් එනවා කියලයි. ඒ නිසා ඔවුන් බොහොම සතුටින් සිටින්නේ. මම හිතනවා හොඳ චිත්‍රපටයක් කළොත් කුමන සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළත් ප්‍රේක්ෂකයන් එය නැරඹීමට පැමිණේවි කියලා.