'ඕනෑම මිනිසෙකුට සාහිත්‍ය අනිවාර්යයි. පොත යනු සාහිත්‍යයි. සාහිත්‍ය පිළිබඳ දැනුමක් නැති මිනිසා හරියට රොබෝ කෙනෙක් වගේ. ඔහුට තියෙන්නේ බුද්ධිය විතරයි. කියන දේ කරන්න පුළුවන්. හිතලා යමක් කරන්න බැහැ. සාහිත්‍යයෙන් යුත් පුද්ගලයා අභියෝග ඉදිරියේ විනාශ වෙන්නේ නෑ. සාහිත්‍ය නැති කෙනා අභියෝග හමුවේ පරාජිතයෝ වෙනවා.”යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියෝ ප්‍රකාශ කළහ. සමස්ත ලංකා ගද්‍ය පද්‍ය ගායනා , රචනා, කථික, හා චිත්‍ර තරගාවලියේ ත්‍යාග හා සහතිකපත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමින් උන්වහන්සේ මෙසේ පවසා සිටියහ.
මෙම උත්සවය පසුගියදා (30දා) කොළඹ තරුණ බෞද්ධ සංගමයේ රැස්වීම් ශාලාවේදී පැවැත් වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,
පොතක පිට කවරය යනු වැදගත් කොටස නෙමෙයි. වැදගත්කම තිබෙන්නෙ එහි අභ්‍යන්තරයේයි. සමහරු පොතක් තෝරා ගන්න කොට වර්ණවත් පිට කවරයට මුළා වෙනවා. පිටකවරය දෙස බලා එහි අන්තර්ගතය කවදාවත් දකින්න බැහැ. පොතේ ලස්සනම, රූපය නිසා අන්තර්ගතය දකින්න බැහැ. එය දකින්න නම් ඊට ප්‍රවේශ විය යුතුයි. හොඳ සාහිත්‍යකරුවා පිටකවරයට රැවටෙන්නෙ නැහැ. ඔහු පොත හොඳින් කියවා ජීවිතයට වැදගත්, රසවත් දේ එකතු කර ගන්නවා. ඔබ සාරවත් අන්තර්ගතය ඇති පොත කුමක්ද යන්න තෝරා ගත යුතුයි.
සාහිත්‍ය යනු රටක දියුණු ජාතියක දියුණු භාෂාවකම හා බුද්ධිමය උරුමයයි. අපි පුංචි රටක් වුණාට රටටත් වඩා ඒ බුද්ධිමය උරුමයෙන් අපි දියුණු වෙලා. මහින්දාගමනයටත්, බුලත්සිංහල පාහියංගල ගල් ලෙනේ කළ කැණීම්වලට අනුව අවුරුදු 45,000 ටත් පෙර, අවුරුදු 35,000ටත් පෙර බලන්ගොඩ මානවයා සිටියත් ඔවුන් වහරන ලද භාෂාව, අදහස් පළ කළ භාෂාව කුමක්ද යන්න සාක්ෂි නැහැ.
මහින්දාගමනය තමයි අපට මේ දායාදය උරුම කළේ. බෞද්ධ ධර්ම දූතයන් ලංකාවට ඇවිත් බ්රාහ්මී අක්ෂර කලාව හඳුන්වාදීලා ගලේ අකුරු ලියලා පෙන්නුවට පස්සේ අවුරුදු 45,000කට පස්සෙ භාෂණය විතරක් පුරුදුව සිටි ජාතිය ඊට පස්සෙ ලියන්න පුරුදු වෙනවා. ලස්සන හෝඩියක් ලැබෙනවා. ලෝකෙ ලස්සන සෞන්දර්යාත්මකම හෝඩි හතර පහ අතර සිංහල හෝඩියත් තිබෙනවා. ඒක අපට මහා ආඩම්බරයක්. එනිසා අපි අපේ අතීත ලේඛකයන්ට ණය ගැතියි.
මහින්දාගමනයෙන් පස්සෙ අපට මනා සාහිත්‍යයක් ලැබුණා. ඒ සම්භාව්‍ය සාහිතය තුළ ගද්‍ය, පද්‍ය, සාහිත්‍ය, උපදේශ සාහිත්‍ය, බුදුගුණ සාහිත්‍ය, ජාතක කතා සාහිත්‍ය, සන්දේශ සාහිත්‍ය හා ප්රශස්ති සාහිත්‍ය, ආදී වශයෙන් පුස්කොළපත් තුළින් දැක්වෙන එම සාහිත්‍ය කන්දක් වගේ. එය නූතනයට එනකොට නවකතා, කෙටි කතා, නාට්‍ය, ගීතය, කවිය හා සිනමාව වශයෙන් විකසිත වෙලා. එනිසා ලෝකෙ සාහිත්‍යකරුවන්ට නොදෙවැනි ලෙස නිර්මාණ එළිදක්වන්නට අපේ නිර්මාණකරුවන්ට හැකිවෙලා තිබෙනවා.
දැනුම මිනිසා බුද්ධිමතෙකු කරනවා.වින්දනය මිනිසා සංවේදී කෙනෙකු බවට පත් කරනවා. වින්දනාත්මක පක්ෂය අපි ගොඩනගා ගන්නෙ අපි සමීප වන සාහිත්‍යයෙන්. එනිසා ඕනෑම මිනිසෙකුට සාහිත්‍ය අනිවාර්යයි. අපට අවශ්‍ය අංග සම්පූර්ණ පෞරුෂයක් ඇති මිනිසුන්. එහි ප්‍රධාන ලක්ෂණය තමයි බුද්ධිමත්කම හා සංවේදී බව. මෙම ලක්ෂණ අපට ලැබෙන්නෙ සාහිත්‍යයෙන් හා දැනුමෙන්. යමෙක් සාහිත්‍යයෙන් තොරව වැඩෙනවා නම් ඔහුට සංවේදීකමක් නැහැ. මලකටවත් ආදරය කරන්න මලක සෞන්දර්ය විඳින්නවත් ඔහුට හැකියාවක් නැතිවෙනවා.
අද අපේ නූතන පරම්පරාව අධ්‍යාපනය නම් මහ උගුලක හිරවෙලා. විභාග නම් මානසිකත්වයට යොමු කරලා තිබෙනවා. දැනුම කියන සාධකය තුළ අපේ ආදරණිය දරුවෝ ලොකයේ වෙනත් කිසිම රටක නැති තරමට හිරවෙලා. උදේ 8.00ට වාඩිවෙන පන්තියේ සවස 5.00ට නැඟිටින දරුවාට මොන තරම් මානසික වේදනාවක් ආතතියක් ඇති වෙනවාද? නූතන පරපුර මේ උගුලෙ අහුවෙලා ඉන්නෙ. ඔවුන්ට ගීතයක් හෙමින් මුමුණන්න එහි මිහිර විඳින්න, කෙටි කතාවක නව කතාවක වීර කතාවක රසය විඳින්න පුංචිම කාලේ ඉඩක් ලැබෙනවා නම් හැර ඊට පස්සෙ විභාගයන් එක්ක ඒක ලැබෙන්නෙ නැහැ. මේ නිසා අද යුගයේ පරපුර බරපතළ ඛේදවාචකයක ඉන්නවා.
අපි එහි ගොදුරක් දුටුවා ඊයෙ පෙරේදා. අපේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක් ජීවිතය හමාර කර ගත්ත හැටි බලන්න. ඔහු පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිධරයෙක්. නමුත් ඔහුට පරිගණකයෙන් හෝ තාක්ෂණයෙන් හෝ ජීවත්වෙන අයුරු කියාදීලා තිබුණෙ නැහැ. ඔහු නිරූපණය කළ කලාවෙන් හරි නාට්‍යයෙන් හෝ ජීවත්වෙන අයුරු කියාදීලා තිබුණෙ නැහැ. ඔහු නිරූපණය කළා විතරයි. ඔහු යාන්ත්‍රික නිරූපන ශිල්පියෙක් විදිහට ඔහුට මරණයත් විනෝදයක් වුණා. ඔහුගේ ජංගම දුරකථනය වීඩියෝවක් බවට පත් කරලා අනෙක් අයට තම මරණය බලා ගන්න සලස්වලා.ඔහු ජීවිතය ගැන හදාරන්න සාහිත්‍යයත් එක්ක ජීවත් වෙලා නැහැ. එහෙම වුණා නම් අභියෝග හමුවේ ඒ වගේ අවාසනාවන්ත ඉරණමකට පත්වන්නෙ නැහැ. ඔහු විතරක් නෙමෙයි තවත් බොහෝ දෙනෙක් තම ජීවිත නැතිකර ගන්නවා. අන්න එතනට තමයි අපට සාහිත්‍ය සමීප කිරීමේ වැදගත්කම අවධාරණය කෙරෙන්නේ* යැයි ද පවසා සිටියහ.
මහා සංඝරත්නය , තරුණ බෞද්ධ සංගමයේ සභාපති සුමේධ අමරසිංහ, සිංහල සාහිත්‍ය කමිටුවේ ලේකම්. සුනිල් එස්.සිරිසේන මහත්වරු ඇතුළු පාසල්, දහම් පාසල් ගුරුභවතුන්, දෙමවුපියන් හා දූ දරුවන් ඇතුළු විශාල පිරිසක් මේඅවස්ථාවට සහභාගි වී සිටියහ.
කල්තොට-බුදුගල සෝමරතන හිමි