කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීර මහතා විසින් රචිත කෘති තුනක් ජනගත කිරීම ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී හෙට (27දා) පස්වරු 3.30ට සිදුකෙරේ. 'සෙල් ෆෝන් සංස්කෘතිය', 'අපගාමී චර්යා', 'සඳ එළියට එරෙහිව' එම කෘති ත්‍රිත්වයයි. සුධීර ජයවීර මහතා දීර්ඝ කාලයක් මුළුල්ලේ සමාජ විද්‍යා සහ අපරාධ විද්‍යා ක්ෂේත්රවල පර්යේෂණ කාර්යයන්හි නියැළී සිටී. ඔහු ශාස්ත්‍රීය අංශයෙන් මෙන්ම නිර්මාණ අංශයෙන්ද දක්ෂතා රාශියක් පිළිබිඹු කර තිබේ. මේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීරයන් සමග සිදුකෙරුණු සංලාපයකි.
Q එළිදැක්වීමට නියමිත කෘති ත්‍රිත්වයේ පසුබිම පිළිබඳ පැහැදිලි කළොත්?
මෙම කෘති සඳහා විවිධ වූ පසුබිම් තුනක් තිබෙනවා. 'සඳ එළියට එරෙහිව' කෙටි කතා එකතුව රචනා වූයේ මීට වසර 10කටත් ඉහතදී. ඒ යුගයේ මා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මෙම කෙටි කතා කියවූ බොහෝදෙනෙක් මගෙන් විමසා සිටියේ එම කථා ඔබගේ පෞද්ගලික අත්දැකීම්ද කියායි. නමුත් නිර්මාණකරුවෙක්ගේ භාවිතය ඊට වඩා වෙනස්. සත්‍ය හා මිත්‍යාව තුළ නිර්මාණ කෘති දෝලනය වෙනවා. මනුෂ්‍ය අත්දැකීම්වලට පිටින් කිසිවක් නිර්මාණය කිරීමට නොහැකියි. ඒ නිසා ඒවා මානව අත්දැකීම් සහ පරිකල්පනය එකට කලතා ගොඩනැඟූ ඒවා වශයෙන් හඳුන්වන්න පුළුවන්.
'සෙල් ෆෝන් සංස්කෘතිය' කෘතිය පිළිබඳ සඳහන් කළොත් එය මගේ පර්යේෂණ ව්‍යායාමක් ලෙස පෙන්වා දීමට පුළුවන්. එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධියට ඉදිරිපත් කළ පර්යේෂණ නිබන්ධනයේ සංස්කරණය කරන ලද ප්රකාශනයක්. සෙල්ෆෝන් සංස්කෘතිය කියන්නේ සමාජය වෙළාගත් ප්රපංචයක්. එහෙත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේත් සමස්තයක් ලෙස ලෝකයේත් සිදුකෙරී ඇති පර්යේෂණ ප්‍රමාණය සංඛ්‍යාත්මක ලෙස අඩුයි. විශේෂයෙන් ජංගම දුරකථන හා බැඳුණු අපගාමී චර්යා පිළිබඳ අවධානය ඉතා අඩු වශයෙන් යොමු වී තිබෙන්නේ. 'අපගාමී චර්යා' වශයෙන් ඉදිරිපත් කෙරී ඇති තුන්වැනි කෘතිය අනුවර්තන කෘතියක් වශයෙන් හැඳින්වීමට පුළුවන්. පීටර් ඇගිල්ටන් තමයි එහි මුල් කර්තෘවරයා.
Q ඔබගේ පෞද්ගලික තොරතුරු ගැනත් යමක් සඳහන් කළොත්?
මා පාසල් අධ්‍යාපනය ලැබුවේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන්. පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යා විශේෂවේදී උපාධිය හැදෑරුවා. ඉන්පසුව, එම විශ්වවිද්‍යාලයේම සහාය කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළා. අපරාධ විද්‍යා ක්ෂේත්රයේ වෘත්තීය පර්යේෂකයෙකු ලෙසත් දීර්ඝ කාලයක් කටයුතු කිරීමට මා හට භාග්‍යය ලැබුණා. දැන් මේ වන විට මා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම දැනටත් අඛණ්ඩව පර්යේෂණ කටයුතුවල නියැළී ඉන්නවා.
Q ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යා ක්ෂේත්රය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ශ්‍රී ලංකාව අපරාධ ගහන රටක්. ඊට සාපේක්ෂ්ව අපරාධ පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයන් දියුණු විය යුතුයි. නමුත් තවමත් ශ්‍රී ලංකාවේ අපරාධ විද්‍යාව පිළිබඳ අධ්‍යයන ඇත්තේ වර්ධනය වෙමින් පවතින තත්ත්වයක. විශ්වවිද්‍යාලවල අපරාධ යුක්ති අධ්‍යයන ආයතනවල අවධානය මීට වඩා විෂය කෙරෙහි යොමු විය යුතු යැයි සිතනවා. මේ විෂය ආශ්රයෙන් පර්යේෂණ කරන පිරිස තව තවත් වැඩි විය යුතුයි. අපරාධ විද්‍යා සාහිත්‍යයේත් ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වර්ධනයක් සිදුවිය යුතුයි. මගේ අදහස වන්නේ සෑම විශ්වවිද්‍යාලයකම අපරාධ විද්‍යා විෂය ඉගැන්විය යුතු බවයි. එය දාර්ශනික විෂයක්. එය ප්‍රායෝගික විෂයක්. එහෙත් පොදු මතය වන්නේ අපරාධ විද්‍යාව කියන්නේ හොරු අල්ලන විෂයක් බවයි. එය එසේ නොවෙයි. අපරාධ විද්‍යාව බහු ශික්ෂණයක්. එය කලාවේ සිට විද්‍යාව දක්වා පැතිර යන්නක්.
Q ඔබ ආභාසයට ගන්නා දේශීය සහ ලෝක මට්ටමේ අපරාධ විද්‍යාඥයන් කවුද?
මගේ මුල් ගුරුවරයා වන්නේ මහාචාර්ය නන්දසේන රත්නපාලයන්. වසර ගණනාවක් මා ඔහු සමග සමීපව කටයුතු කළා. ඔහුගේ ලේඛන කාර්යයන්හිදී මා පර්යේෂණ සහායකයෙකු ලෙස වැඩ කළා. ඉන්පසුව අපරාධ විද්‍යාව පිළිබඳ විවිධ විදේශීය කෘති කියවීමට මා පුරුදු වුණා. එඩ්වින් සදර්ලන්ඩ්, ලෙමර්ට් බර්ගර්ස්, එම්. බී. ක්ලිනාඩ්, කෝහෙන් වගේ ලේඛකයන් ගැන මගේ අවධානය වැඩුණා. ඔවුන් බොහෝදෙනෙකු අපගාමී චර්යා පිළිබඳ විශේෂඥයන්. මොවුන් පිළිබඳව විශ්වවිද්‍යාලයේදී මගේ අවධානය යොමු වුණේ ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර ඉගැන්වූ අපගාමී චර්යා පිළිබඳ පාඨමාලාව නිසයි. පසුව අපරාධ විද්‍යාවෙහි විවිධ ක්ෂේත්රයන්හි දායකත්වය සැපයූ විදේශීය ලේඛකයන් පිළිබඳ මා පුළුල් ලෙස ගවේෂණය කළා.
Q ශ්‍රී ලංකාවේ අපරාධ නිවාරණය සම්බන්ධයෙන් පවතින ක්‍රියාවලිය පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙනවාද?
මෙය ඉතාම සංකීර්ණ ප්‍රශ්නයක්. යම් පමණකට අපරාධ මර්දනය හා නිවාරණය පිළිබඳව පොලීසිය ඇතුළු ආයතන ක්‍රියා කරන ආකාරය පිළිබඳව මා සෑහීමකට පත් වෙනවා. එයින් අදහස් වන්නේ එය සියයට සියයක් හොඳ යැයි කීම නොවෙයි. අප රටෙහි තිබෙන අධ්‍යාපන මට්ටම, රාජ්‍ය යාන්ත්‍රණය, සංස්කෘතික වටපිටාව ආදිය සමග සසදා බැලීමේදී පොලීසිය විශාල සේවාවක් කරනවා. අප මෙතැනදී මාධ්‍ය විසින් නිර්මාණය කරනු ලබන යථාර්ථය පිළිබඳ සැලකිලිමත් වන්නේ නෑ. අප විද්‍යාත්මක පසුබිමක් මත පිහිටායි අපරාධ දෙස බලන්නේ. පොලීසියේ අධිකරණයේ සහ ප්‍රජාවේ දැනුම සහ තාක්ෂණය තවත් බොහෝ දියුණු කළ යුතුයි. අපරාධ විමර්ශනය සඳහා ඇති විද්‍යාත්මක ක්‍රමවේද හැකිතාක් හඳුන්වා දිය යුතුයි.
Q ඔබගේ පර්යේෂණ සොයා ගැනීම් මොනවාද?
ලංකාවේ සංස්කෘතික ස්වරූපය තුළ මා දකින විශාලම ගැටලුව වන්නේ ලිංගිකත්වය පිළිබඳ අර්බුදයයි. මා දකින්නේ අප සමාජය ලිංගිකත්වය පිළිබඳ විශාල අවුලක පැටලී සිටින කුහක සමාජයක් බවයි. ලිංගිකත්වය මානව පැවැත්මේ මූලිකම අංගයයි. සංස්කෘතියක එහි විවිධ මාන විවිධ අයුරින් වාරණය වෙනවා. එහෙත් එකී වාරණයන් සමාජය තවදුරටත් අර්බුදයේ හෙළන්නේ නම් අප ඒවා ප්‍රශ්න කළ යුතුයි. මගේ පර්යේෂණය තුළ මා සොයා ගත් එක් කරුණක් නම් සමාජයේ සමබරතාව සුරක්ෂණය සඳහා ජංගම දුරකථනය මානව ලිංගික අවශ්‍යතා සමග අත්‍යන්තයෙන් කටයුතු කරන බවයි.
Q ඔබ මෙම කෙටි කතා සංග්‍රහයේදී අනුගමනය කළ ආකෘතිය සහ අන්තර්ගතය වශයෙන් කළ අත්හදා බැලීම් මොනවාද?
මගේ තේමාව වූයේ සද එළියයි. මෙහිදී මා කතා කරන්නේ සඳ ගැන නෙවෙයි. සඳ එළිය ගැනයි. ස්ත්‍රී ශරීරය තරම් පුරුෂයා අවුලක හෙළන තවත් ව්‍යුහයක් නැති තරම්. එහෙත් ස්ත්‍රී ශරීරයේ කොටස් වෙන වෙනම ගෙන කිසිවක් සොයාගත නොහැකියි. එය සමස්තයක් කොට ගෙන දැකීමෙන් තමයි පුරුෂයාගේ ලෝකය දැකිය හැක්කේ. මගේ බොහෝ කතාවල ආකෘතිය ගොඩනැගෙන්නේ ස්ත්‍රී ශරීරය පාදක කර ගෙනයි. එහෙත් ඊට වඩා වෙනස්ව යන කතාත් තිබෙනවා. කොමසාරිස්ගේ තීසසය එබන්දක්. අන්තර්ගතය තුළත් පැහැදිලි අර්ථ නිරූපණය කිරීම, කතාවක් ගොඩනැඟීම, තාර්කික සම්බන්ධතා පිළිඹිබු කිරීම මගේ ඉලක්කය වුණේ නෑ. මේවා එක්තරා අතකින් උමතු කතා ලෙසත් පෙන්වා දෙන්න පුළුවන්. සඳ මිනිසුන් උමතු කරනවා. සඳ එළියට එරෙහි වන්නේ එබැවිනුයි.
Q අවසන් වශයෙන් මෙම කෘති ත්‍රිත්වය ජනගත කිරීමේ උත්සවය පිළිබඳව සඳහනක් කළොත්?
හෙට (27දා) සවස 3.30ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්රවණාගාරයට එන්න කියලා ඔබ සියලුදෙනාට විවෘත ආරාධනයක් කරනවා. එදින මේ විෂයයන් සම්බන්ධයෙන් ශාස්ත්‍රීය කතිකාවක් ගොඩනැගීමට අපි අපේක්ෂා කරනවා. සමාජ විද්‍යාව පිළිබඳව හා අපරාධ විද්‍යාව පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට මෙම අවස්ථාව වැදගත් වෙතැයි මා සිතනවා.
0724306188
දර්ශන අශෝක කුමාර