ප්‍රකට මාධ්‍යවේදියෙකු මෙන්ම ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන සඳුන් ගමගේ මහතා විසින් ඔස්ට්‍රේලියාවේ පවත්වනු ලබන පළමු ඒකපුද්ගල ඡායාරූප ප්‍රදර්ශනය අසිරිමත් ශ්‍රී ලංකා නමින් අනිද්දා (28දා) සවස 6.30 ට මෙල්බර්න්හි Coburg Town Hallහිදී පැවැත්වීමට නියමිතව තිබේ. ඉරිදා ලංකාදීපයේ සඳැල්ල හරහා සුවිශේෂී අනන්‍යතාවක් ගොඩනගාගත්සඳුන් ගමගේ මහතා මෙරට කලාවේ ප්රගමනයට සුවිශේෂී දායකත්වයක් සිය මාධ්‍ය භාවිතාව තුළින් සපයා ඇති අතරම, මංගල ඡායාරූපකරණයේ හරය හා ගුණාංග රැකගෙන වෙනස් මානයක ඡායාරූප මනාළ යුවළ වෙත සමීප කරන්නට උත්සාහ දරන ඡායාරූප ශිල්පියෙකි. මේ එම ප්‍රදර්ශනය පිළිබඳව ඔහු සමග කළ සංවාදයකි.
Q ඔබ ඔස්ට්‍රේලියාවේදී ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වන්න අදහස් කළේ ඇයි?
මම ක්‍රිකට්වලට ගොඩක් ආදරෙයි. ජීවිතේ තරමටම ක්‍රිකට් වැලඳගෙන සිටින කෙනෙක් ලෙස මම බලාපොරොත්තු වුණා ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයට එයි කියලා. ඒ වගේම මේ ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කරන්නෙ ඔස්ට්‍රේලියාවේ වෙසන ශ්‍රී ලාංකිකයන් විසින් පිහිටුවාගෙන තිබෙන AUSCA සංවිධානය විසිනුයි. ඔවුනුත් මට පැවසූ දෙයක් වුණේ යම් සුවිශේෂී අවස්ථාවක් පාදක කරගෙන මේ ප්‍රදර්ශනය පවත්වමු යන්නයි.
ඒ අනුව තමයි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පෙර දින, එනම් මාර්තු 28 වැනිදා සවස 6.30 ට මෙල්බර්න්හි Coburg Town Hallහිදී මෙම ප්‍රදර්ශනය පවත්වන්න සූදානම් වෙන්නෙ.
මේ ප්‍රදර්ශනයේ අපි නම්කර තිබෙන්නේ අසිරිමත් ශ්‍රී ලංකා නමිනුයි. මෙහි දළදා පෙරහරේ ඡායාරූප, කොළඹ වෙසක් අසිරිය, පෞරාණික ස්ථාන හා සුන්දර ස්ථාන සේම මනාලියන්ගේ ඡායාරූප සහ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විලාසිතා ඡායාරූප ආදී ක්ෂේත්‍ර ගණනාවක ඡායාරූප එහි ඇතුළත්ව තිබෙනවා.
පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඡායාරූප ප්‍රදර්ශනයක් ඕස්ට්‍රේලියාවේ පවත්වන්න කටයුතු කිරීම ගැන ඇත්තටම මම මේ අවස්ථාවේ ඔස්කා (AUSCA) සංවිධානයට මගේ ගෞරවය පිරිනමන්න ඕන.
Q දශක දෙකකට ආසන්න කාලයක් ක්ෂේත්රයේ නිරත වූ ඔබ පිළිබඳව ඇගයීම ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයන් මේ ප්‍රදර්ශනය හරහා සිදුකරනවා. නමුත් මෙරටදී ඔබට ඒ ඇගයීමක් ලැබිල තියෙනවද?
කිසිම තැනකින් ලැබිලා නැහැ. මම ඉරිදා ලංකාදීප සඳැල්ල පටන්ගත්තු දවසේ ඉඳලා කලා තරුවලට ලබාදුන් දායකත්වය ඉතා ඉහළයි. ඒ හරහා ඔවුන් කලා ක්ෂේත්රයේ අතිවිශාල විදිහට බැබළුණා. මෙතනදි විජය පුවත්පත් සමාගමටත් මේ ගරුත්වය හිමිවිය යුතුයි. එම ආයතනයෙන් ලැබුණු අවසරයෙන් තමයි මම කලා ක්ෂේත්රයට මේ දායකත්වය ලබාදුන්නෙ.
මම මීට වසර කිහිපයකට පෙර මගේ ඡායාරූප දිවියට වසර පහළොව සපිරුණු අවස්ථාවේ මගේ වෙබ් අඩවිය සමාජගත කළා. ඒ අවස්ථාවේ මම උදව් කරපු කිසිදු තරුවක් හෝ කලාකරුවෙකු මට සුබ පැතුමක්වත් එක්කළේ නැහැ. ඒ වගේම මම පුවත්පත් හරහා ලෝකයට නිරාවරණය කළ කිසිම කෙනෙකුගෙන් කිසිදු මට්ටමේ අගය කිරීමක් ලැබුණෙ නැහැ.
Q ප්‍රදර්ශනයෙන් පසුවටත් කිසිදු ඇගයීමක් ලැබුණෙ නැද්ද?
එම ප්‍රදර්ශනය මම කළේ මගේ උපරිම ධාරිතාව යොදවලයි. ඒ නිසාම එම ප්‍රදර්ශනය විඳින්න පුළුවන්කමක් තිබුණා. විජය පුවත්පත් සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයත්, සිරස මාධ්‍ය ජාලය විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහයත් ලබාදුන්නා. නමුත් මම මාධ්‍යවේදියෙකු වුණත් වෙනත් කිසිදු මාධ්‍යයකින් මට අනුග්‍රහයක් ලබාදුන්නේ නැහැ. හැබැයි මම මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන විට සෙසු පුවත්පත් ආයතනවල හෝ කුමන විද්‍යුත් නාලිකාවක හෝ අනුග්‍රහයක් යටතේ කරපු ප්‍රසංග, ප්‍රදර්ශන හෝ වෙනත් කටයුතුවලට සඳැල්ල හරහා ඉඩක් ලබාදීපු කෙනෙක්.
අනික සිංහල පුවත්පත් තවත් මාධ්‍යවේදියෙකු වෙනුවෙන් හැසිරෙන ආකාරය ගැන මට සෑහීමකට පත්වෙන්න බැහැ. මොකද සමහර වෙලාවට මටම තමයි මගේ ලිපියත් ලියල දෙන්න වෙන්නෙ. එහෙම නැත්නම් මා සම්බන්ධ ලිපි පළකරද්දි ආධුනික මට්ටමේ කෙනෙකුට ලොකු ඉඩක් වෙන්කරලා මගේ ලිපිය ඒ ඇතුළෙ හංගලා වගේ දානවා. මටත් මාධ්‍යවේදියෙකු ලෙස පුවත්පතක කටයුතු කරන ආකාරය ගැන හොඳ අවබෝධයක් තිබෙනවා.
කොහොම වුණත් මෙරට ඉංග්‍රීසි මාධ්‍ය ආයතන මට හැම අවස්ථාවකම පුදුම විදිහට සහයෝගය ලබාදෙනවා. ඔවුන් ලබාදුන් සහාය අතිශය අගය කරනවා. නමුත් ඒක හරියට ගෙදරින් පිළිගැනීමක් නොලබා පිටස්තරින් පිළිගැනීමක් ලැබෙනවා වගේ වැඩක්.
Q ඇයි එහෙම වෙන්නෙ? ඔබ ඔවුන්ට අභියෝගයක් වීම කියන කාරණාවද මෙතනදි වෙන්නෙ?
සිංහල මාධ්‍ය අතිශයින්ම කුහකයි. මේක තවදුරටත් කොළේ හංගලා ගැසිය යුතු කාරණාවක් නෙවෙයි. අපේ කෙනෙක්, අපේ එකෙක් කියන හැඟීමට වැඩිය ප්‍රදර්ශනයක් කරනවද කියන විමසීමට විතරක් එය ලඝු කරනවා. මේක මට විතරක් සිදුවන දෙයක් නෙවෙයි. සමස්ත සිංහල පුවත්පත් මාධ්‍යවේදීන්ටම සිදුවන අසාධාරණය මේක තමයි.
Q මෙවන් පසුබිමක ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග මේ ගනුදෙනුව කරන්නේ කොහොමද?
ඒ මිනිස්සුන්ට මගේ වටිනාකම තේරුණා. ඒ අය මාව තේරුම්ගත්තා. ඔවුන්ට මං ගැන, මගේ කලා භාවිතය ගැන ලොකු විශ්වාසයක් තියෙන හින්දා තමයි මට ආරාධනා කරන්නෙ එරට ප්‍රදර්ශනයක් පවත්වන්න. ඔවුන් මට කිව්ව දෙයක් තමයි අවුරුදු පහළොවකට අධිකව ඔබ මේ ක්ෂේත්රය තුළ නිරතවෙමින් ඔබේ මට්ටමින් සමාජයේ ප්රගමනයට ලොකු දායකත්වයක් ලබා දී තිබෙන නිසා අපි පෙරළා ඔබට යමක් දියයුතුයි යැයි විශ්වාස කරනවා. ඒ අනුව ඔබ පුදුම කරවන දෙයක් ඔබට දෙන්න අවශ්‍ය වුණා. ඒ නිසයි අපි මේ ප්‍රදර්ශනය සංවිධානය කරන්නෙ යනුවෙන්.
ශ්‍රියානි ජයවික්‍රම මහත්මිය තමයි ඔස්කා සංවිධානයේ සභාපතිනිය වෙන්නෙ. මම මේ වෙලේ එතුමියට හා එම සංවිධානයේ සියලු දෙනාට මගේ අතිශය සතුට, භක්තිය පුදකළ යුතුයි.
එමෙන්ම විජය පුවත්පත් සමාගමේ සභාපතිතුමන් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය මගේ ගමනට නිබඳවම අත්වැල් සැපයුවා. ඔවුන් කෘතවේදීව සිහිපත් කරන්න ඕන. මගේ ජීවිතයේ එක අවස්ථාවක නොසිතූ විරූ අත්දැකීමකට මුහුණදෙන්න සිදුවුණා. ඒ අවස්ථාවේ මාව ගොඩනගන්න පිටුවහලක් වුණේ මාගේ හිතවත් වෘත්තීය සගයන්. ඔවුන් මාව පුදුම විදිහට සැහැල්ලු කළා. ඒ හරහා මට යළි උත්පත්තියක් ලැබුණා වගේ හැඟීමක් මට ඇතිවුණා. මේ දේවල් අමතක කරන්න මට හැකියාවක් නැහැ. මේ සියලු දෙනාගෙන් ලැබුණු දායකත්වයෙන් තමයි මම මෙතනට එන්නෙ. ඒ අය මට විවර කරල දීල තියෙන්නෙ අලුත් මාවතක්. ඔස්ට්‍රේලියාවේ ප්‍රදර්ශනයෙන් පස්සෙ යුරෝපයෙත් මේ ප්‍රදර්ශනය පවත්වන්න මට ආරාධනාවක් ලැබිල තියෙනවා. මංගල ඡායාරූපකරණය තුළ අපේ දේ නැත්තට නැතිවෙලා යන පසුබිමක මංගල ඡායාරූප කලාවේ හරය, විනය පිළිබඳ අදහසක් මේ ඡායාරූප ප්‍රදර්ශනය හරහා ලබාදෙන්න මම උත්සාහ කරනවා.
Q ඔබේ තිබෙන කලකිරීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ ඔබ මෙරටින් බැහැරවීමක් වැනි දෙයක්ද?
මට කිසිම කලකිරීමක් නැහැ. මෙතෙක් කලක් මම මගේ විෂයයට අතිශය අවංක වුණා. ඒ අවංක වීම තුළ ආර්ථික වශයෙන් ලැබුණු දේ අඩුයි. නොලැබුණු දේ බොහෝයි. මම මංගල ඡායාරූපකරණයේ යෙදුණත් මගේ නම කේන්ද්‍ර වෙලා තියෙන්නෙ ඉරිදා ලංකාදීප සඳැල්ලේ සඳුන් කියලයි. මේ නිසා එයා මංගල ඡායාරූප කරන්නෙ නැතිව ඇති කියල මතයක් ගොඩනගන්න සමහරු උත්සාහ කරනවා. මම කවදාවත් කිසිම ප්‍රශ්නයකින් පැනල යන්නෙ නැහැ. මට මං ගැන විශ්වාසයි. අභියෝගවලට බයත් නැහැ. ඒ නිසා මම මගේ ඡායාරූප කලාවේ ධාරිතාව කොපමණද යන්න දන්නවා. මට වෙනත් රටකට ගිහින් ගොඩක් කල් ජීවත්වෙන්න බැහැ. මොකද මම හදවතින් ජීවත්වෙන්නෙ මගේ රටේ. හැබැයි මගේ රටේ දේවල් මම මෙතැන් සිට ලෝකෙට ගෙන යනවා.