සුභාවිත ගීතයේ පරම සලකුණ ලෙස ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහයන් හැඳින්විය හැකිය. හෙතෙම තරමක් නිහඬ බවකින් පසුවන අතර, ඒ පිළිබඳ හා වත්මන් සංගීත ක්ෂේත්රය පිළිබඳ කළ සංවාද සටහනකි මේ.
මේ දවස්වල වැඩකටයුතු කොහොමද?
විශේෂ වැඩක් කියලා නැහැ සාමාන්‍ය විදියට ගත වෙනවා. නවක ගීත දෙකක් පටිගත කිරීම් සිදුකළා, එය ටික දවසකින් රසිකයන් වෙත තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.
ඔබ තරමක් නිහඬ බවක් උසුලන්නෙ ඇයි?
අලුත් නිර්මාණ කරන්න, ඒවාට වියදම් කරන්න, අද කවුරුවත් ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒක නිසා නිර්මාණ කරනවා අඩුයි. නමුත් මම නිහඬ නැහැ. දැනට ගීත දෙකක් පටිගත කරලා තියෙනවා. නමුත් නාළිකාවලට ඒවා බාර දෙන්නෙ නැහැ. එතකොට රසිකයෝ හිතනවා අපි නිහඬයි කියලා, ඇත්තටම මම ඒක පිළිගන්නෙ නැහැ.
‘සඳකඩපහණ' ප්‍රසංග මාලාව නිමාවට පත්වෙලාද තිබෙන්නෙ?
නැහැ, පසුගිය දෙසැම්බර් මාසය දක්වාම දිවයිනේ විවිධ ප්‍රදේශවල ප්‍රසංග පැවැත්වුවා. දැනට හාරසියයකට ආසන්න ප්‍රසංග ප්‍රමාණයක් පවත්වලා තියෙනවා. මාර්තු මාසයේ
කොළඹ දී මේ වර්ෂයේ පළමු ප්‍රසංගය පවත්වන්න බලාපොරොත්තු වෙනවා.
වර්තමාන සංගීත ක්ෂේත්රය සම්බන්ධව ප්‍රවීණයෙක් විදියට ඔබේ අදහස?
හුඟක් වෙලාවට හොඳ ගීත නාළිකා තුළින් ප්‍රචාරය නොවෙන නිසා රටට අයහපත් වූ වාතාරවරණයක් ඇතිවෙමින් යනවා. ඒ ගැන කොහොමටවත් අපි සතුටු විය යුතු කරුණක් නෙමෙයි. රටක අනන්‍යතාව රැකෙන සංගීත ශෛලියක් මෙතෙක් කාලයක් පැවතුණා. දැන් ඒක වෙනත් ආගන්තුක ස්වරූපයක් අරගෙන ආක්‍රමණශීලී ශෛලීන් මතුවෙලා තියෙනවා. අද හොඳ දේ යටගහන තත්ත්වයක් මම දකින්නෙ.
එයට හේතුව සුපිරි තරු තෝරන වැඩසටහන්ද?
ඒක එහෙමම කියන්නත් බැහැ, ගම්වල දක්ෂතා තියෙන අය කලඑළි බැසීමක් මෙම වැඩසටහන් හරහා සිදුවෙනවා, ඒකෙ තර්කයක් නැහැ. මම දැක්ක මගේ ගීතයක් වෙනත් අලංකරණ දාලා ගායනා කරනවා. එය ලොකු දක්ෂතාවක්, මම ඒ ගැන සතුටු වෙනවා. නමුත් ඉන් එහාට යෑමක් පෙනෙන්නෙ නැහැ. ඒ අය එතැනින් ඉදිරියට යෑමක් පෙනෙන්නට නැහැ.
එය නිවැරදි විය යුත්තේ කොතැනින්ද?
සුපිරි තරු තෝරන වැඩසටහන් ඉදිරිපත් කරන නාළිකා මුදල් විතරක් හඹා යන්නෙ නැතුව එම වැඩසටහනින් පසුවත් ඒ ශිල්පීන් දිරිගන්වා ආර්ථවත්, රසවත්, භාවපූර්ව නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය වටපිටාව සකසා දිය යුතුයි. නමුත් එහෙම දෙයක් මම නම් දකින්නෙ නැහැ සිදුවෙනවා.
හොඳ නිර්මාණ බිහි නොවන තැනට සංගීත ක්ෂේත්රය පත්වීමට වගකිව යුත්තේ කවුරුන්ද?
කවුරු රට පාලනය කළත්, රට පාලනය කරන උදවිය දැනගන්න ඕන මේ කලාවට යම් සෙතක් කරන්න. එහෙම දෙයක් අද දකින්නෙ නැහැ. ඒ නිසා රටේ පාලකයන් වගකින්න ඕනි, සංගීත ක්ෂේත්රයට අද වෙලා තියෙන දෙයට.
ඉදිරි වැඩකටයුතු පිළිබඳ සඳහන් කළොත්?
මාර්තු මාසයේ 'සඳකඩපහණ' ප්‍රසංගය පවත්වලා එය තවදුරටත් කරගෙන යන අතරේ සංගීතය එක්ක කාලය ගත කරන්න තමයි බලාපොරොත්තු වෙන්නෙ.