ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සම නිෂ්පාදනයක් ලෙසින් හා ශ්‍රී ලාංකීය අධ්යක්ෂවරුන් දෙදෙනෙකු වන බුද්ධික වික්‍රමාදර හා චාමර ජනරාජ් පීරිස් සම අධ්‍යක්ෂණය කරනු ලබන 'හැපි මනි' (සතුටු සල්ලි) හින්දි චිත්‍රපටයේ රූගත කිරීම් මාර්තු මස සිට මෙරටදී ඇරඹීමට නියමිතව තිබේ.
බුද්ධික, චාමර
බුද්ධික වික්‍රමාදර මහතාගේ හිමිකාරිත්වයෙන් යුත් රන්දීප මීඩියා ආයතනය හා ඉන්දියාවේ අග්‍රගන්‍ය රංගන ශිල්පියෙකු වන අනුපම් කේරි මහතා විසින් පවත්වාගෙන යනු ලබන 'ඇක්ටින් ප්රිපෙයා' ආයතනය එක්ව මෙම හින්දි සිනමාපටය නිර්මාණය කිරීම සිදුකෙරේ.
අනුපම් කේරි
ශ්‍රී ලාංකික අධ්යක්ෂවරුන් දෙදෙනෙක් අධ්‍යක්ෂණය කරනු ලබන පළමු හින්දි චිත්‍රපටයද මෙය වන අතර, මෙම සිනමාපටය ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ සමාන්තරව ප්‍රදර්ශනය කිරීමටද සැලසුම් කර තිබේ.
'හැපි මනි' හින්දි චිත්‍රපටය සම්බන්ධව මූලිකත්වය ගෙන කටයුතු කරන රන්දීප මීඩියා සහ සැර අයිඩියා හි ප්‍රධානී බුද්ධික වික්‍රමාදර මෙම සිනමා නිර්මාණය සම්බන්ධව සිය අදහස් මෙලෙස අප හා පැවසීය.
"මම මීට පෙර 'අද' පුවත්පත සමග පැවැත්වූ සාකච්ඡාවකදී පවසා සිටියා අපි ඉන්දියාව හා ශ්‍රී ලංකාව එක්ව නිෂ්පාදනය කරන චිත්‍රපටයක කටයුතු ළඟදීම ආරම්භ කරන බව. දැන් මේ එළඹිලා තියෙන්නේ එකී අවස්ථාවයි. මම ඉන්දියාවේ සුප්‍රකට රංගන ශිල්පියෙකු වන අනූපම් කේර් මහතා යටතේ 'ඇක්ටින් ප්රිපෙයා' රංගන පාසලේ අධ්‍යාපනය හැදෑරුවා. එම පාසලට එක්වෙන්නෙ ඉන්දියාවේ සිනමා ක්ෂේත්රයට සම්බන්ධ වෙලා සිටින පිරිසයි. කොහොම වුණත් 2014 වර්ෂයේ කණ්ඩායමේ හොඳම ශිෂ්‍යයා බවට පත්වෙන්න මට හැකිවුණා.
මෙතනදි මම යෝජනා කළා ලංකාවේ තිබෙන සුන්දර පරිසරයත්, සෞම්‍ය දේශගුණයත්, චමත්කාරජනක මුහුදු තිරයත් භාවිත කරමින් මෙරටදී චිත්‍රපටයක් නිර්මාණය කරමු කියලා. මගේ මේ යෝජනාවට ඔවුන් එකඟ වුණා. ඒ විතරක් නෙවෙයි අපේ තිර පිටපතකට වැඩ කරන්නත් ඔවුන්ගේ කැමැත්ත පළ වුණා. මේ චිත්‍රපටය අපි නම් කළේ 'හැපි මනි' (සතුටු සල්ලි) නමිනුයි. මෙම චිත්‍රපටය සම අධ්‍යක්ෂණය කරන්නේ මම සහ චාමර පීරිස් විසිනුයි. මෙහි තිරපිටපතත් රචනා කළේ චාමර විසින්මයි.
ඒ වගේම මෙහි කැමරා හා තාක්ෂණික අධ්‍යක්ෂණය ඉන්දියාවට අමතරව මෙරටදී සිදුකරන්නේ 'ඩිල් ෆිල්ම්ස්' ස්ටුඩියෝහි ප්‍රවීන් ජයරත්න විසිනුයි. ඔහු මෙහි සංස්කරණ කටයුතුත් සිදුකරනවා. එසේම අපට මෙහිදී තවත් පුද්ගලයෙකුගේ සහයෝගය ලැබෙනවා. ඒ තමයි ෂාරුක් ඛාන්ගේ හා අනූපම් කේර්ගේ බොහෝ චිත්‍රපටවල රංගන පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන 'හැපි රනාජිත්' කියන රංගන උපදේශකවරයා.
ඔහු මේ වනවිටත් ලංකාවට පැමිණ සිටිනවා. 'හැපි මනි' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ අක්ෂිතා අග්නිෙහා්ති කියන රංගන ශිල්පිනියයි. ඇය මිස් ඉන්දියා තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තියක්. ඒ එක්කම හැපි රංජිත් ප්‍රධාන චරිතයක් නිරූපණය කරනවා. ඒ වගේම අනූපම් කේර් මේ සඳහා දායක වේවි. ඔහු කොහොමත් අපි සමග උපදේශකවරයෙක් ලෙස සිටිනවා. එසේම අශේක් හර්ජ්මාල්, භූෂාන් ධානි, චන්දන් ෂර්මා, K.ජයක්‍රිෂ්ණන්, ෂලකා සවන්ත්, ආදී ඉන්දියානු ශිල්පීන් රැසකුත්, ශ්‍රී ලාංකික ප්‍රවීණයන් කිහිප දෙනෙකුත් මීට රංගනයෙන් දායක වෙනවා.
අක්ෂිතා අග්නිහෝති
මෙම චිත්‍රපටය ලංකාවේ හා ඉන්දියාවේ රූගත කිරීමට නියමිතයි. මෙරට දර්ශනතල ලෙස කොළඹ, පාසිකුඩා, උණවටුන, හික්කඩුව, නෙළුව, නුවරඑළිය, උඩවලව හා කණ්ඩලම යන ප්‍රදේශ තෝරාගෙන තිබෙනවා. ඉන්දියාවේ ඌටි, බොම්බෙ ෆිල්ම්සිටි චිත්‍රාගාරයේ රූගත කිරීම් සිදු කෙරෙනවා. හැපි මනි හින්දි, ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම හඬ කවා නිර්මාණය කෙරෙන්නක්.
මෙම සිනමා ව්‍යාපෘතිය ජාත්‍යන්තර මට්ටමේ කටයුත්තක්. රන්දිප මීඩියා ලෙස අප මෙරට වැඩිම ටෙලිනාට්‍ය ප්‍රමාණයක් නිර්මාණය කෙරෙන ආයතනය ලෙසත්, ඩයිවින් බර්ඩ්ස් වැනි සුවිශේෂී ව්‍යාපෘතියක් සාර්ථකව සිදුකිරීමෙන් ලත් අත්දැකීමුත්, සැර අයිඩියා හරහා අප ලද පන්නරයත් එක්කොට මෙම සිනමා ව්‍යාපෘතිය සුවිශේෂී අන්දමේ කටයුත්තක් ලෙස සිදුකරන්න අපි අපේක්ෂා කරනවා"