ඇය විශාඛා නම් වූවාය. බෞද්ධ ඉතිහාසය තුළ ඇය අග්‍රදායිකාව වෙද්දී, සාහිත්‍ය තුළට බොහෝ කතා එක් කළාය. පරම්පරා ගණනක කාන්තාවන්ට පරමාදර්ශී ගැහැනියද වූවාය. මේ ඇගේ කතාවය. විශේෂත්වය වන්නේ විශාඛාවන් විසින් විශාඛාවගේ චරිතය වේදිකාව මතට ගෙන ඒමයි. කොළඹ විශාඛා විද්‍යාලයීය සියවැනි සංවත්සරය වෙනුවෙන් 'විශාඛා ගීත නාටකය' අද (01දා) හා හෙට (02දා) විශාඛා විද්‍යාලයීය ජෙරේමියෙස් දියෙස් ශාලාවේදී දර්ශන වාර 04කට වේදිකාගත වේ. එයින් ප.ව. 6.30 මහජනතාවට දර්ශනය විවෘත වනු ඇත. මේ සටහන විශාඛාවන් ගෙනෙන 'විශාඛා ගීත නාටකය' වෙනුවෙනි.
විශාඛාව වූ කලී බෞද්ධ ඉතිහාසය තුළ ගුණෙන්, රුවෙන් මෙන්ම සීලයෙන්ද සුවිශේෂී කාන්තාවක වූයේ සත්හැවිරිදි වියේදීම සෝවාන් වීමත් සමග ඇය ලත් ශික්ෂණයද සමගිනි.
නූතන විශාඛාවෝ
කොළඹ විශාඛා විද්‍යාලය වසර සියයකට අධික ඉතිහාසය තුළ නැණවත්, ගුණවත්, තෙදවත් කාන්තාවන් රැසක් බිහි කළේ විශාඛාවන් යනු මේ යැයි කියන්නා වූ පරමාදර්ශයද ලෝකයට දෙමිනි. යහගුණ සපිරි කාන්තා පරපුරක් උදෙසා විශාඛා විද්‍යාලය සිය මෙහෙවර නොපිරිහෙළා එදා මෙන්ම අදද ඉටුකරමින් තිබේ.
විශාඛාවට 100යි
විශාඛා විද්‍යාලය 2017 වසර පුරා ශතක සැමරුම උදෙසා වැඩසටහන් මාලාවක් පැවැත්වූ අතරම, %විශාඛා ගීත නාටයකට^ද වසර 10කට පසු යළි වේදිකාගත කරන්නේ විශාඛාවගේ ගුණ යළි යළිත් සමාජය වෙත සිහි කැඳවමිනි.
'විශාඛා ගීත නාටකය'
කාන්තාවකට අවශ්‍ය ගුණවත්කම, චරිත ශික්ෂණය, ආත්ම විශ්වාසය, පරිත්‍යාගශීලිත්වය මෙන්ම අභිමානයද 'විශාඛා ගීත නාටකය' තුළින් නූතන දියණියන්ට උගන්වනු ලබයි. ගීතමය සංවාද ඇසුරින් දිගහැරෙන 'විශාඛා ගීත නාටකය' පුරාවට විශාඛා නම් වූ අභිමානවත් ගැහැනිය වර්තමානයට ගෙන එයි.
1959 වසරේ මාර්තු මාසයේදී ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් මුල් වරට රචනාකොට වේදිකාවට ගෙන ආ 'විශාඛා ගීත නාටකයට' දිගු ඉතිහාසයක් හිමිය. එදා පටන්ම 'විශාඛා ගීත නාටකය' හැඩ කළෝ විශාඛාවෝමය. එවකට විදුහල්පතිනි පුලිමුඩ් මැතිනියගේ ඉල්ලීම පරිදි ප්‍රථම නිෂ්පාදනයට රචනයෙන් ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් එක්වෙද්දී, ගී තනු එඩ්වින් සමරදිවාකරගෙනි. අධ්‍යක්ෂණය සිදුකළේ ටී.එල් පෙරේරා විසින් වන අතර, සහාය අධ්‍යක්ෂණයෙන් ඩේසි කරවිට එක්ව තිබිණ.
එච්. ඒ. පියදාස සංගීතය ලබාදී තිබූ ප්‍රථම විශාඛා ගීත නාටකයට එච්. ඩී. චන්ද්‍රපාල, සෝමදාස ඇල්විටිගල, බී. එඩ්වඩ් ද සිල්වා, එම්. ඩබ්. පීරිස් වාදක මණ්ඩලය ලෙස එක් වූහ. නර්තන නිර්මාණය එන්. සුකුමාරන් විසින්ද, වේදිකා පසුතල නිර්මාණය ඇල්බට් විමලරත්න විසින්ද සිදුකර තිබේ. එවකට මානෙල් ජයසේන හා රුක්මනී විජේතිලක විශාඛාව ලෙසින්ද, ලලිතා විජේසූරිය හා කමලා වඩුගොඩපිටිය මිගාර සිටු ලෙසින්ද, පූර්ණවර්ධන චරිතයෙන් දිනලි බොතේජුද එක්වූහ.
1967 වසරේදී දෙවැනි වර 'විශාඛා ගීත නාටකය' වේදිකාගත වන්නේ විශාඛා ස්වර්ණ ජයන්ති උලෙළේ අංගයක් ලෙසිනි. ලලිතා ලීනියගොල්ල විශාඛාව ලෙසින්ද, රත්මලී ගුණසේකර මිගාර සිටු ලෙසින්ද, නයනතාරා ගුණසේකර පූර්ණවර්ධන ලෙසින්ද එය හැඩ කළහ.
යළිත් 1992 වසරේ 'විශාඛා ගීත නාටකය' එළිදක්වන්නේ විශාඛා විද්‍යාලයීය 75 වැනි සැමරුම වෙනුවෙනි.
එහිදී 'විශාඛා ගීත නාටකය' කේ. බී හේරත් සූරීන් විසින් නව නිෂ්පාදනයක් ලෙසින් ඉදිරිපත් කරන අතර, එහිදී නිශාමනී වෙදගෙදර විශාඛාව ලෙසින්ද, කෝකිලානී ලංකාතිලක මිගාර සිටු ලෙසින්ද එක්වෙද්දී, පූර්ණවර්ධන චරිතයට නිශාමා සිරිවර්ධත්, මිගාර දේවිය ලෙස ධනේෂා ගුණවර්ධනත් පණ පොවති.
2007දී විශාඛා ගීත නාටකය නව නිෂ්පාදනයක්, නව සංස්කරණයක් ලෙස යළිත් එළිදකින්නේ කේ. බී. හේරත් වෙතින්ම වන අතර, නෙත්මි උමායා අධිකාරි, මධුෂානි උදයංගා සෙනෙවිරත්න, ජනිතා ලක්මාලි විතාන, ඉන්දිකා සුදර්ශනී පිළිවෙළින් විශාඛා, මිගාර, පූර්ණවර්ධන හා මිගාර දේවියගේ චරිත කරළියට ගෙනාවෝය.
විශාඛා ගීත නාටකයේ 5 වැනි වේදිකාගත වීම
වසර 10කට පසු යළිත් විශාඛා විද්‍යාලයීය වේදිකාවට විශාඛා ගීත නාටකය එන්නේ විශාඛා විද්‍යාලයීය සියවස් සැමරුම නිමිත්තෙනි. පාසල් සංවර්ධන කමිටුව මගින් මෙවර විශාඛා ගීත නාටකය සංවිධානය කරනු ලබයි. මෙවරද අධ්‍යක්ෂණය කේ. බී හේරත් වෙතින් සිදුවෙද්දී සංගීත නිර්මාණය හා අධ්‍යක්ෂණය රංජිත් බාලසූරියගෙනි. සුවිනීතා පෙරේරා වේෂනිරූපණය සිදුකරන අතර, සහාය කමල් කාන්ති බෝගොඩ ගෙනි. අංග රචනයෙන් බුද්ධදාස ගලප්පත්තිද, රංග භාණ්ඩ හා ආභරණ නිර්මාණයෙන් චාමර අනුදත් බණ්ඩාර සහය දක්වති. ආලෝකකරණය ශිරාන් නාලකගෙනි. වේදිකා පරිපාලනය විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ චම්පිකා සෙනෙවිරත්න, ප්‍රසාදිනී අතපත්තු, විරාමි ද සිල්වා, උපුලි ජයසේකර යන අය සිදුකරති. පසුතල නිර්මාණය චතුර දිසානායකගෙනි. තාල තරංග මලිත් අනුරාධගෙන් වන අතර, වාදන සහාය විශාඛා විද්‍යාලයීය සිසුවියෝ ලබාදෙති.
චින්තනී උත්පලා ගජමාන්න, විජානි අමන්දා විජේතුංග, උත්තරා දිව්‍යාංජනී ලොකුමද්දුමගේ, දුලංගා නෙත්මි ඩයස් පිළිෙවළින් විශාඛා, මිගාර, පූර්ණවර්ධන හා මිගාර දේවියගේ චරිත සඳහා රංගන දායකත්වය දක්වති.
විදුහල්පතිනී සඳමාලි අවිරුප්පොළ මහත්මියගේ මගපෙන්වීමෙන්, නියෝජ්‍ය විදුහල්පතිනියන් වන කළණි සූරියප්පෙරුම මෙනෙවිය, සුමුදු වීරසිංහ මහත්මිය, අනුෂා දමයන්ති මහත්මියගේ හා පාසල් සංවර්ධන කමිටුවේ කාමිණී රණසිංහ මහත්මිය, මිනෝකා ද සිල්වා මහත්මිය, දමිතා රණසිංහ මහත්මිය, වරුණි ජයවීර මහත්මිය, නෙලූම් රණසිංහ මහත්මිය මෙම ගීත නාටකය එළිදැක්වීම වෙනුවෙන් සිය උපරිම දායකත්වය දක්වද්දී නාට්‍ය හා රංග කලා ආචාරිණී චම්පිකා සෙනෙවිරත්න, ප්‍රසාදිනී අතපත්තු, විරාමි ද සිල්වා, උපුලි ජයසේකර යන ගුරු මහත්මීහු සිසුවියන් පුහුණු කිරීම වෙනුවෙන් සිය සේවය ඉටුකරති. විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලයේ සහායද මේ වෙනුවෙන් ලබා දී තිබුණි.
'විශාඛා ගීත නාටකය' අද (01දා) හා හෙට (02දා) විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී ප.ව 6.30ට නැරඹිය හැකි අතර, ප්‍රවේශපත් විද්‍යාලයීය ප්‍රධාන දොරටුවෙන් ලබාගත හැකිය.