ඈත ඉතිහාස කතා ඔස්සේ ගොඩනැගෙන ගොඩනැගෙමින් පවතින නවතම චිත්‍රපට රැල්ලට හසු නොවී උඩුගම්බලා පිහිනීමට දරන උත්සාහයක් ලෙස, අප බොහෝදෙනෙකුට අමතක නොවන මෑත ඉතිහාසයේ මිනිසුන්ගේ හදවත් තුළ අමරණීය වූ චරිතයක් පිළිබඳව ගොඩනැගෙන චිත්‍රපටයක් ලෙස 'ගින්නෙන් උපන් සීතල' චිත්‍රපටය මේ දිනවල රූගත කිරීම් සිදුකෙරෙමින් පවතී.
ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන සලකුණු ඉතිරි කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් දියත් කළ දෙවැනි සන්නද්ධ අරගලයේ පසුබිම, ඇරඹුම, එහි ප්‍රධාන චරිත හා සිද්ධි අලලා ගොඩනැගෙන මෙම චිත්‍රපටය කෘතහස්ත සිනමාවේදී ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයකි.
කාලයේ වැලිතලාවෙන් වැසී යන හැටදහසකට අධික තරුණ ජීවිත ප්‍රජාවේ කතාව, එහි නියමුවා හා මගපෙන්වන්නාවූ රෝහණ විජේවීර සැඟව ගත කළ ජීවිතය ඔස්සේ අනාගත පරම්පරාවට දැක බලා සාක්ෂි වනු පිණිස මෙම චිත්‍රපටය නිර්මාණය වන බව එහි නිෂ්පාදකයන් පවසා සිටියේය.
මෙම චිත්‍රපටය පිළිබඳ අදහසක් ඉදිරිපත් කළ එහි අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහ,
“මගේ චිත්‍රපට ජීවිතේ සුවිශේෂීම චිත්‍රපටයක් තමයි 'ගින්නෙන් උපන් සීතල'. ඒකම හේතුව මං කලින් කළ චිත්‍රපටවලට වඩා වෙනස් ආකාරයක්, වෙනස් ආකාරයක වෙනස් තේමාවක චිත්‍රපටයක් මේක.
ඒ නිසා මගේ ජීවිතේ පැත්තෙනුත් මේ චිත්‍රපටය මට ආලෝකය ගෙන දෙනවා. ඒ ගැන මම ආඩම්බර වෙනවා. මේ චිත්‍රපටයේ දිවයන වකවානුවේ මම උසස් පෙළ ශිෂ්‍යයෙක් ලෙස අපිත් යම් ආකාරයේ දේශපාලන සිදුවීම්වලට මුහුණ දීලා තියෙනවා. ඒ වගේම ඒ කාලේ තමන්ගේ තාරුණ්‍යයේ ජීවත් වූ බොහෝදෙනාට ඒ අත්දැකීම්වලට මුහුණදෙන්න වෙලා තියෙනවා. 87,88,89 වකවානුවේ මේ රට තුළ සිදුවූ දේශපාලන වෙනස්කම් නිසා ඇති වූ තාඩන පීඩන ඒ යුගය නැවත මතක් වෙන්න ඕන. නමුත් අපි මේ චිත්‍රපටය තුළින් කිරීමට යන්නේ ඒ සිදුවීම් නැවත ප්‍රතිනිර්මාණය කිරීමක් නොවෙයි. මේ චිත්‍රපටයට පාදක වන රෝහණ විජේවීර කියන වෘත්තීමය දේශපාලන නායකයාගේ චරිතය විතරක් නොවේ, 1977 පසුව විවෘත ආර්ථිකය පැමිණි පසු රට තුළ ඇති වූ අසමතුලිතතාවය හා ඒ නිසා හටගත් ප්‍රශ්න මේ රටේ ජනතාවට දැනුණ ආකාරයත් මේ චිත්‍රපටය පුරාවටම අපි කතා කරනවා.
විෂමතාවය නිසා හටගත් යම් යම් ප්‍රශ්නවලට ජනතාව දැක්වූ ප්‍රතිචාර, ඒ ජනතාව විවිධාකාරයෙන් ඒකරාශී වෙලා මේ රටේ යම් ආකාරයක කැරැල්ලකට තුඩුදෙන සිදුවීම් මාලාවක් නිර්මාණය වුණා. ඒකට යම්කිසි හේතුවක් තියෙනවා. 1978 සිට 89 දක්වා අප දුටු නොදුටු පැත්ත පිළිබඳ මේ චිත්‍රපටය තුළින් කතා කෙරෙනවා.
මේ සැඟවුණු දේශපාලනය ක්‍රියා කළ ආකාරය, මේ ආණ්ඩුවට විරුද්ධව බලපෑම් ඇති කිරීමට ක්‍රියා කළ ආකාරය, 78 සිට 89 දක්වා ඇතිවූ මේ දේශපාලන තත්ත්වයට ජවිපෙ නායකත්වය දුන් රෝහණ විජේවීර සහෝදයරාගේ ඝාතනය සිදුවූ තැන දක්වා මේ දේශපාලන ඉතිහාසයේ යම් යම් අවස්ථාවන් තමයි මෙහි නිරූපණය වන්නේ.
අධ්‍යක්ෂකවරයා ලෙස මගේ දෘෂ්ටිය මම හෙලළා තියෙන්නේ කැරැල්ලක් ඇතිවීමට හේතු වු කරුණු විමසා බැලීමට හා ඒ නායකයන් කොයි ආකාරයකටද මර්දනයට ලක්වුණේ සහ එයට මුහුණ දුන්නේ යන්න පිළිඹිබු කිරීමටයි.
'යහපත් කාලගුණයක් තියෙනකොට කුණාටුවක් ගැන කල්පනා නොකරන එක සාමාන්‍ය මිනිසුන්ගේ පොදු දුර්වලතාවයක්' මෙය චිත්‍රපටයේ අඩංගු පාඨයක්. රන්මිණිතැන්න දර්ශනතලයේ චිත්‍රපටය රූගත කිරීම් ඇරඹීමට සියල්ල සූදානම් කර තිබූ අවස්ථාවක අප මාධ්‍ය කණ්ඩායමද එම ස්ථානයට පැමිණියේ ඒ පිළිබඳ දැක බලා වාර්තා කිරීමටයි.
අතිරේක නළු නිළියන් ලෙස සහභාගි වූ පිරිස දහසක් එක්දහස් පන්සියයක් පමණ විය. ඒ 1980 දශකයේ රෝහණ විජේවීර, ගමනායක, සෝමවංශ ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් සහභාගී වූ පාගමනක් රූගත කිරීමේ අවස්ථාවක් සඳහාය.
රූගත කිරීම් ආරම්භ කිරීමත් සමග ඒතාක් පැහැදිලි අහස රළු වී ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලිණ. සහභාගි වූ ශිල්පීන් සියලුදෙනා නොතෙමෙන්නට තැන් තැන්වලට ගාල්වුවද එය ඉතාමත් සංයමයකින් සිදුවූ කටයුත්තක් වූයෙන් ඒ පිළිබඳ අපටද සැකයක් මතු විය. කොතෙක් වැසි බාධක ඇදහැලුනද රූගත කිරීම් අවසන් වනතුරු තරුණ, බාළ, මහලු, සියලුදෙනා එයට සහභාගි වූ ආකාරය පැසසිය යුතුය. ඔවුන් ඉතා සංයමකින්, විනයකින් දැඩි ආදරයකින් ඒ හැමට වඩා ගෞරවයකින් ඒ රූගත කිරීමේ අවස්ථාවට සහභාගි වීම අප සියලුදෙනාට පුදුමය දනවන කාරණයක් විය.
''ඇත්තටම මේ අවස්ථාවට පිරිස සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණේ බලමණ්ඩල මගින්. දින කිහිපයක් පුරා මේ අය අපත් සමග වැඩකටයුතු කළා. කන්න බොන්න වෙලාවක් නැති තරම් කාර්යබහුල වූ දවස් තිබුණා. ඒත් කවදාවත් කිසිම කෙනෙක් මැසිවිලි නැගුවේ නැහැ. පුදුම සහයෝගයක් අපට දුන්නේ. මේ ඉන්න අය අතර විජේවීර සහෝදරයා එක්ක දේශපාලනයේ නියැලුණු අය කිහිපදෙනෙක් ඉන්නවා. ඒ වගේම ඒ කාලේ මේ අරගලයට සක්‍රීයව මෙන්ම මොනම ආකාරයකින් හරි දායක වූ අයත් ඉන්නවා. ඔවුන් තම නායකයාට ආදරෙයි. කමල් අද්දරආරච්චි විජේවීර ලෙස වෙස්ගන්වා ඔවුන් අතරට ගිය පළමු දවසේ ඒ අයගේ ඇස්වල කඳුළු අපි දැක්කා''
මෙලෙස අපට අදහස් දැක්වූයේ එහි සහාය අධ්‍යක්ෂක සමීර හසුන්.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදිකා චමත්කා පීරිස්. ඇය අද වනවිට සිටින ළාබාලම චිත්‍රපට නිෂ්පාදිකාව ලෙස අපට හැඳින්විය හැකියි.
''රෝහණ විජේවීර කියන්නේ දේශපාලන ඉතිහාසයේ ප්‍රබල වෙනසක් කළ නොමැකෙන චරිතයක්. මෙවැනි චරිතයක් පිළිබඳ චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට අවස්ථාව ලැබීම ගැන ගොඩාක් සතුටු වෙනවා. මේ චිත්‍රපටයට සම්බන්ධ නළු නිළියන්, කාර්මික ශිල්පීන් පිළිබඳ අපි ගොඩාක් සොයා බලලා සම්මානනීය ශිල්පීන් ශිල්පිනියන් තමයි තෝරා ගත්තේ.
මෙවැනි දැවැන්ත චිත්‍රපටයක් කිරීමට ලැබීම ඉතාමත් ආත්ම තෘප්තියක් ගෙනදෙන කටයුත්තක්. මම සිනේප්‍රෝ ආයතනයේ මගේ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා මේ චිත්‍රපටයට දෙන සහයෝගය පිළිබඳව''
මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව එනම් විජේවීර සහෝදරයාගේ චරිතය නිරූපණය කරන්නේ අපට සිටින ප්‍රවීණ රංගධර කමල් අද්දරආරච්චිය. ඔහු මේ චිත්‍රපටය හා ඔහු නිරූපණය කරන චරිතය පිළිබඳ දක්වන්නේ මෙවැනි අදහසකි.
“මෙය ඉතාම සංවේදීව වාර්තා කළයුතු අවස්ථාවක්. මම මේ සියලු මාධ්‍ය හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ ඉතා වගකීමකින් හා සංයමයකින් වාර්තා කරන ලෙසයි. මොකද මෙහි දිග හැරෙන්නේ දේශපාලන කතාවක්. අද දේශපාලනය තමයි සියලු දේ තීරණය කරන්නේ. කොටින්ම මිනිසෙක් කොච්චර කාලයක් ජීවත් වෙනවාද කියන එකත් තීරණය කරන්නේ දේශපාලනය. ඒ නිසා මම මුලින්ම මේ චිත්‍රපටයට දිර්ඝායුෂ පතනවා.
අපට දේශපාලනය කතා කරන්න අවශ්‍ය නෑ. ඒත් අපට යම් වගකීමක් තියෙනවා දේශපාලන පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් භයානක අත්දැකීමක් පසුපස සිටින යුග පුරුෂයෙකු පිළිබඳ ජනතාවට යම් අවබෝධයක් ලබාදීමට. මොකද මේ පිළිබඳ විවිධ මතිමතාන්තර, ගොතපු කතා, නිර්මාණය වූ දේවල්, ජනතාව සිතා සිටින දේවල් එක්ක බලද්දී ඒ චරිතය සැබැවින්ම කොයිවගේද කියලා විවරණයක් කරන්න මේ චිත්‍රපටය තුළින් හැකි වී තිබෙනවා.
විජේවීරගේ ජීවිතය තුළ සැඟවී ගිය අප අසා නැති අපට දැක ගැනීමට නොහැකි වුණ, අපි නොසිතුව පැත්තක් මේ චිත්‍රපටය තුළින් අපට දැකගත හැකි වෙනවා.
මේ පිළිබඳ කතාකරද්දී මෙය දේශපාලන කතාවක් බවට පත්වෙනවා. මොකද ඔහු දේශපාලන චරිතයක් වීම නිසා. විජේවීර නම් වූ විප්ලවවාදියා නියෝජනය කළේ මේ රටේ නිර්ධන පංතිය. ගොවි, කම්කරු ඇතුළු පීඩිත ජනතාව ඇතුළු අපේ රටේ ජනකොට්ඨාසයක් වීම කොහොම උනත් ඔහුගේ දර්ශනය තුළ ඔහු ජීවත් වෙන්න ගත් උත්සාහයක්ත්, ඇතිවුණ බාධක, ඔහුට ඇති වූ යම් යම් අපහසුතාවල අප නොදුටු පැතිකඩයන් මේ චිත්‍රපටය තුළින් දැකගත හැකිවේවි.''
අධ්‍යක්ෂණය - අනුරුද්ධ ජයසිංහ
නිෂ්පාදනය - චමත්කා පීරිස්
රේඛීය නිෂ්පාදනය - ජූඩ් මුතුගල
විධායක නිෂ්පාදනය - චන්දන කුමාර සමරකෝන්
තිර රචනය - ආරියවංශ ධම්මගේ
කැමරා අධ්‍යක්ෂණය - ධනුෂ්ක ගුණතිලක
සහය අධ්‍යක්ෂණය - සමීර හසුන්
නිෂ්පාදන කළමනාකරණය - සුලෝචන අකලංක
කලා අධ්‍යක්ෂණය - උදේනි සුබෝධි කුමාර
ඇඳුම් නිර්මාණය - සංජීව කරුණාරත්න
වේෂ නිරූපණය - නාරද ධනන්ජි තොටගමුව
සංගීත අධ්‍යක්ෂණය - නදීක ගුරුගේ
සංස්කරණය - රවීන්ද්‍ර ගුරුගේ
නිශ්චල ඡායාරූප - ධම්මික පතිරණ
නිෂ්පාදනය ආයතනය - සිනෙප්‍රෝ
නළු නිළි කැළ
කමල් අද්දරආරච්චි, සුලෝචනා වීරසිංහ, අංජන ප්‍රේමරත්න, දිල්හානි අශෝකමාලා, චන්දසෝම බිංදුහේවා, මංජුල මොරගහ, ජගත් මනුවර්ණ, බුද්ධික ජයරත්න, චින්තක වාස්, සුජීව ප්‍රියාල්, ප්‍රසන්නජිත් අබේසූරිය, ක්‍රිශාන්ත ජයබාහු, දීපානි සිල්වා, සුරාජ් මාපා, චින්තක කුලතුංග, ප්‍රියන්ත සිරිකුමාර, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, විශ්වජිත් ගුණසේකර, ජේහාන් අප්පුහාමි, ජීවනී කාරියවසම්, සංජීව උපේන්ද්‍ර, සූසාන් නිරෝෂන්, ලසන්ත ෆ්‍රැන්සිස්, අමල් රත්නශාන්ත, ජානක නිලංග, පාලිත අබේරත්න, සමීර හසුන්, බුද්ධික අබේරත්න.