තම විනෝදාංශය ලෙස විවිධ පුද්ගලයෝ විවිධ දෑ තෝරාගනිති. ඒ අතර බොහෝ දේ පොදු කාරණා වන අතර, ඇතැම් කාරණා විරල ඒවාද වේ. කුරුණෑගල වැහැර පදිංචි ඩී.ඒ. දිමුතු ගයාන් විමලරත්නද එවන් වෙනස් කාරණයක් තම විනෝදාංශ ලෙස පවත්වාගෙන යන්නෙකි. සාමාන්‍යයෙන් අපි ලිපි ලියන්නේ යම් දෙයක් දැනගැනීමට හෝ පැවසීමටය. නමුත් දිමුතු විනෝදාංශයට ලිපි ලියන්නෙකි. එසේ ලියන්නේද එංගලන්තයේ මහ රැජිනට වීම විශේෂත්වයයි. දිමුතු සිය විනෝදාංශය පිළිබඳව අපට පැවසුවේ මෙසේය.
වාහනවලට ගොඩක් ආසයි
මට කුඩා කාලයේදී මෝටර් රථ පිළිබඳ ලොකු ආශාවක් තිබුණා. ඒ කාලෙදි වාහන කොම්පැණිවල ලිපිනයන් හොයාගෙන මම ඒවාට ලිපි ලිව්වා. මුල්ම ලිපිය ලිව්වේ ඉන්දියාවේ ටාටා කොම්පැනියට. ඊට පස්සෙ ගොඩක් දෙනෙක් මට කිව්වා ඔය වගේ ලියුම් දැම්මට ඕවට උත්තර එවන්නේ නැහැ කියලා. ඒ ලිපි අහකට යන දේ තමයි වෙන්නේ, ඕක බොරු වැඩක් කියලා කිව්වා. නමුත් මම ලිපි ලියලා බොහොම කෙටි කාලයකින් ඒ කොම්පැණියේ අලුත් වාහනවල පිංතූර තියෙන සඟරා වගයක් මට එව්වා. එදා මට පුදුම සතුටක් ඇතිවුණේ.
වාහන කොම්පැණි සියල්ලටම ලිපි ලිව්වා
ඒ ලිපිවලට පිළිතුරු ආවට පස්සෙ ජපානයේ වාහන කොම්පැණිවලට වගේම විවිධ රටවලට වාහන කොම්පැණිවලට ලිපි ලියන්න පටන් ගත්තා. ඒ වගේම ඒ සියලුම විශාල කොම්පැණිවලින් මට ඔවුන්ගේ අලුත් විස්තර, වාහනවල ආකෘති වගේ දේවල් එව්වා. ඒ දේවල් අදටත් මම එකතු කරගෙන තියෙනවා.
මේ වන විට මම ලෝකයේ මුල් පෙළේ තිබෙන ප්‍රසිද්ධ කොම්පැණි 400කට පමණ ලිපි ලියනවා. ඔවුන් මට පිළිතුරු ලිපි එවනවා.
විශේෂ තිළිණයක්
සාමාන්‍ය‘යෙන් ඒ වගේ කොම්පැණි අලුතින් වාහනයක් හදද්දී මුලින්ම ආකෘතියක් හදනවා. ඒ ආකෘතියෙයි සැබෑ වාහනයයි අතර වෙනස තියෙන්නේ ප්‍රමාණයෙන් විතරයි. වෙන කිසිම වෙනසක් නැහැ. මේ වගේ ආකෘති කිසිම හේතුවකින් පිට අයට දෙන්නේ නැහැ. ඒ සමාගම්වලට සමීපම පුද්ගලයන්ට පමණයි ඒවා සිහිවටන විදියට යවන්නේ. කොහොම උනත් ඒ ආකෘතිවලට මම කැමතියි කියලා ඒවා ඉල්ලලා මම ලිපි යැවුවාම ඔවුන් මට ඒවා තිළිණ වශයෙන් ලබාදුන්නා. ඒ දේවල් ගොඩක් මම එකතු කරලා තියෙනවා. පොඩි කාලේ ඉඳන් මේ වෙනකම් එකතු කළානම් තෑගි 2000 ක් විතර ඇති මම හිතන විදියට.
ලිපි ලියන්න සල්ලි තිබුණෙත් නැහැ
විදෙස් රටවලට ලිපි ලියද්දී ඒවට ලොකු මුදලක් යනවා. මට පොඩි කාලේ ලියුම් ලියන්න සල්ලි තිබුණෙ නැති නිසා ඒ ලැබුණු තෑගි ගොඩක් විකිණුවා. නමුත් පසු කාලයේදී මම ඒවා එකතු කරන්න පටන් ගත්තා. කොහොම උනත් මේ වෙද්දි ඒවා 200කට වැඩියෙන් මම ළඟ තියෙනවා.
ලංකාවට ආපු මහ රැජින
එංගලන්තයේ මහ රැජිනට මම ගොඩක් කැමතියි. මගේ මුල් ගම නුවර. මට අවුරුදු හතක් අටක් වගේ කාලයේදී මහ රැජින ලංකාවට ආවා. එතකොට මම පාසලේ දෙක වසරේ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ජනාධිපති විදියට හිටපු කාලයේදී තමයි රුජින ලංකාවට ආවේ.ලංකාවට ආපු මහ රැජින පේරාදෙණිය මල්වත්තට ආවා පැළයක් හිටවන්න. ඒ දවස්වල නුවර ඉස්කෝලවලට නිවාඩු දීලා තිබුණේ. මහරැජින පේරාදෙණියට එන පාර දෙපැත්තේ ඉස්කෝලෙ ළමුන්ට පේලියට ඉන්න කියල තිබුණා . මමත් ඒ අතර හිටියා. අපේ අතට කොඩියක් දිලා තිබුණේ. එතුමියගේ රිය පෙරහර යද්දී අපි කොඩි වැනුවා. අපි ළඟින්ම තමයි එතුමිය ගමන් කළේ. පේරාදෙණිය ටවුන් එකේ මම හිටියේ. මහ රැජින අපිට අත වනලා හිනාවෙලා ගියා. එදා මහ රැජින ළඟටම දැක්කා. එදා මට එතුමිය ගැන ආදරයක් ගෞරවයක් ඇති වුණා.
ආදරය වැඩිකමට ලිපි ලිව්වා
ඒ ආදරය ගෞරවය තත්ත්වය එන්න එන්නම වැඩිවෙලා 1996 දී මම එතුමියට පළමුවැනි ලියුම ලිව්වා. ඊට පස්සේ ගොඩක් යාළුවෝ මට ඕවා කරන්න එපා, බොරු වැඩ, ඕවට පිළිතුරු ලිපි එන්නෙ නැහැ, වගේ කතා කිව්වා. නමුත් මම ලිපි ලියන එක නැවැත්තුවේ නැහැ. සති තුනක් ඇතුළත එතුමිය මට පිළිතුරක් එවලා තිබුණා.මම මුලින්ම යැව්වේ එතුමියගේ 70 වැනි උපන් දිනයට සුබපැතුමක්. ඒ වගේම එතුමියගේ විස්තර දැනගන්න ආසයි කියලා තමයි මම ලියුම ලිව්වේ. මගේ උපන් දින සුබපැතුම ලැබුණා, එයට බොහොම ස්තුතියි කියලා එතුමිය මට පිළිතුරු ලිපියේ කියල තිබුණා. ඉතිං ඊට පස්සෙ මම මහ රැජිනට දිගටම ලිපි ලිව්වා. ඒක නැවතුණේ නැහැ. තවමත් ලිපි ලියනවා. විශේෂ අවස්ථාවල සුබපැතුම් යවනවා. තෑගි යවනවා. ඊට අමතරව මට දැනගන්න අවශ්‍ය විස්තර අහලා යවනවා. එතුමියගේ උපන් දිනයට, ජනවාරි පළමු වැනිදාට සහ නත්තලට සුබපතලා මම සුබපැතුම් යවනවා.
90 වැනි උපන් දිනයට යවපු සුබපැතුම
පසුගියදා එතුමියගේ 90 වැනි උපන් දිනය සැමරුම තිබුණා. මම හිතන විදිහට මම තමයි එතුමියට ලෝකෙන්ම මුල්ම සුබපැතුම යැව්වේ. මහ රැජිනගේ උපන් දිනයට සුබපතපු රාජ්‍ය නායකයන්ට යවපු ස්තුති කිරීමේ ලිපියක්ම තමයි මටත් එවලා තිබුණේ. මට ඒ ගැන ගොඩක් සතුටුයි.
ඒ වගේම මෙතෙක් මම යවපු සෑම ලිපියකටම පිළිතුරු ඇවිත් තියෙනවා. මේ වෙද්දි මහ රැජිනට විතරක් නොවෙයි රජ පවුලේ සෑම සාමාජිකයෙකුටම මම ලිපි ලියලා තියෙනවා. ඔවුනුත් මට පිළිතුරු එවනවා.
ලෝක නායකයන්ටත් ලියනවා
ඒ විතරක් නෙවෙයි බෙල්ජියම් රජ පවුලට, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය, ඇමරිකාව ආදී රාජකීය පවුල්වලට, ජී හත සමුළුවේ නායකයන්ට මම ලිපි ලියනවා.
මගේ බලාපොරොත්තු
මේ වනතෙක් ඒ රටවල්වලට එන්න කියලා ඔවුන් මට ආරාධනා කරල නැහැ. මම ඉල්ලීම් කරලත් නෑ. ඉදිරියේදී මහ රැජින බැහැදැකීමේ ආශාවක් නම් තිබෙනවා. මහ රැජින නම් වෛද්‍ය හේතූන් මත කිසිම රටක සංචාරය කරන්නේ නැහැ කියලා තිබුණා. නමුත් විලියම් කුමාරයා හෝ හැරී කුමාරයට ලංකාවට එන්න කියලා ආරාධනා කරන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. අලුතෙන් ඇමරිකාවේ පත්වන ජනාධිපතිතුමාට ලිපි ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. කොහොම උනත් ලංකාව වගේම කුරුණෑගල පිළිබඳවත් ලෝකයේම දැනුවත් කරන්න මට පුළුවන් වුණා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.
අපේ රටේ වත්මන් ජනාධිපතිතුමා, අගමැතිතුමාත් මට සුබපැතුම් එවලා තිබුණා. කොහොම උනත් මේ ලිපි ලියලා රටට යහපතක් කරන්න තමයි මගේ බලාපොරොත්තුව.