රුවන් එස්. ලියනගේ සංගීත ආචාර්යවරයෙකි. ඔහුගේ නවතම ගීත එළිදැක්වීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. මේ කතාබහ ඔහුගේ 'සාර දෙතොල්' නම් ගීත එළිදැක්වීම පමණක්ම ගැන නොවේ.
ඔහු ගුරුවරයන් අතර විශේෂ ගුරුවරයෙකි. වසර දෙකක් පුරා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වූ වකුගඩු හේතුවෙන් පීඩාවට පත්වුවද, ඔහු ගුරු සේවයෙන් විශ්‍රාම නොගෙන අදටත් සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ සඳහා දරුවන් පුහුණු කරමින් කටයුතු කරමින් සිටින අතර, ඔහු රටටම ආදර්ශයකි.
Q ගීත රචකයෙකු විදිහට ඔබතුමාගේ ආරම්භය ගැන කතා කළොත්?
ගීත රචනා කරන්න පටන් ගත්තෙ පාසල් කාලෙදිම හතේ පන්තියේදී වගේ. ඒ කලේ මගේ පද රචනා දැක්ක අය ඒක අගය කළා. ඒ ඇගයීමත් එක්කම දිගින් දිගට ගීත රචනයේ යෙදුණා. ප්‍රසිද්ධ ගායකයන් සඳහා ගීත රචනා කිරීමක් සිදුවුණේ නැහැ.
නමුත් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ නවක ගායකයන් කිහිපදෙනෙක් සඳහා ගීත රචනා කරලා දුන්නා. ඔවුන් ඒවා ගායනා කරලා ඒ ගීතවලට රූප රචනාත් කරලා තිබුණා.
මම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගනිද්දී පරිගණක ආශ්රිත ගීත ගැන අධ්‍යයනය කළා. රිචඩ් කියල සර් කෙනෙක් හිටියා. ඒ සර් මගේ ගීත රචනා අගය කළා. ඒ ගැම්මෙන් ගීත විසි ගණනක් රචනා කළා. දැනටමත් ඒ සර් මගේ ගීත එතුමාගේ දේශනා සඳහා භාවිත කරනවා.
Q තනු නිර්මාණයන් ගැන කතා කළොත්?
මට ක්ෂණිකව තනු නිර්මාණය කරන්න පුළුවන්. පොඩි වෙලාවක් ඇතුළත විවිධ තනු නිර්මාණය කරන්න පුළුවන්. මට ගායන හැකියාවත් තියෙනවා. ඒකත් එක්ක මම මගේම ගීත නිර්මාණයන්ට යොමුවුණා.
Q අසනීප තත්ත්වයත් එක්ක කරගෙන යන ගුරු වෘත්තියේ කටයුතු ගැන කතා කළොත්?
මම දැන් ගුරු වෘත්තියේ යෙදෙන්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ. මේ විද්‍යාලයේ වැඩ කරන කාලයේදී මට වකුගඩු ආබාධයක් ඇතිවුණා. මේ ආබාධයත් එක්ක මට වැඩ කිරීම අමාරු වුණා. මේ විද්‍යාලයට එන්න කලින් මම සේවය කළේ බළපිටිය රේවත විද්‍යාලයේ. ඒ විද්‍යාලයේ සේවය කරද්දී සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණ රාශියක් බිහි කරපු ශිෂ්‍යයන් රැසක් නිර්මාණය කළා.
මගේ වකුගඩු දෙකම සම්පූර්ණයෙන් අක්‍රිය වෙලා තිබුණේ. මට විවේක ගැනීම අනිවාර්යය වුණා. මම ඒත් පාසලට ඇවිත් වැඩ කළා. මම අසනීප තත්ත්වය ගැන හිතන්නේ නැතුව, මගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව මම පාසලේ සේවය කරනවා. මම ප්‍රායෝගිකව සංගීත අංශයෙන් ළමුන් පුහුණු කරන්න ආරම්භ කළා.
මේ වෙනකොට සමස්ත ලංකා තරගවලට ළමුන් 50ක් පමණ කණ්ඩායම් දෙකකින් මුහුණ දෙනවා. මේ ළමුන් පුහුණු කිරීම මම තනියම සිදුකරපු දෙයක් නෙමෙයි, ඒ සඳහා තවත් ගුරුවරුන්ගේ දායකත්වය තිබුණා. ඒකල ගායන තුනක් සඳහාත්, ළමුන් තේරී පත්වෙලා ඉන්නවා. තාමත් ඒ පුහුණුවීම් කටයුතු රාත්‍රිය වෙනකන් අපි සිදුකරනවා.
Q නවතම ගීත නිර්මාණය ගැන කතා කරමු?
මම උසස් පෙළ කරන කාලයේ ඉඳලම උපකාරක පන්ති කළා. මම ගොඩක් මුදල් ගන්නේ නැතුව තමයි උපකාරක පන්ති කළේ. සමහර අවස්ථාවල මම ළමයින්ට කෑම ටික පවා හදලා දීලා උගන්වලා තියෙනවා. මම ආර්ථික වශයෙන් සවිමත් නැහැ. ඒ ළමයි අද ලංකාව වටේ විසිරිලා ඉන්නවා. ඒ ළමයි තමයි අදටත් මාව බලන්නෙ, මම මේ අසනීප තත්ත්වයෙන් ඉන්න අවස්ථාවලදී.
දැන් මට ටියුෂන් කරන්න බැහැ. ඒ හින්දා තමයි මම නිර්මාණකරණයට යොමුවුණේ. වකුගඩු බද්ධයෙන් පස්සේ මට ටියුෂන් කරන්න බැරිවෙයි. ඉස්සරහට දිගටම ගීත නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මගේ නවතම ගීතය සම්පූර්ණයෙන් නිර්මාණය කරලා අවසන්. මේ වෙනකොට එහි රූප රචනයක් අවසන් කරලා තියෙනවා. ගීතයේ නම 'සාර දෙතොල්'
මම ජාතික සංගීත ඩිප්ලෝමාව අවසන් කරලා තියෙනවා. ගායන විශාරද ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව සමත් වෙලා තියෙනවා. සෑම සංගීත භාණ්ඩයක්ම ඒක විදිහට වාදනය කරන්න පුළුවන්. ඒ අතර තබ්ලාව විශේෂයි.
Q ඉදිරියටත් ළමයින්ට උගන්වන්න බලාපොරොත්තු වෙනවද?
මගේ ජීවිතේ ලබපු වාසනාවක් තමයි හොඳ ශිෂ්‍ය පරපුරක් බිහිකරන්න පුළුවන් වුණු එක. මට තිබුණු හැකියාවන් එක්ක මට ශිෂ්‍යයන්ට හොඳට උගන්වන්න පුළුවන් වුණා. මට ශිල්පයෙන් වගේම ආධ්‍යාත්මයෙන් සංගීත ගුරුවරයෙක් වෙන්න පුළුවන් වුණා.
හොඳ චරිතයක් වෙන්න පුළුවන් වුණා. සංගීත ගුරුවරයෙක් විදිහට මගේ දෑත් පිරිසුදුයි. වකුගඩු රෝගය හැදුණු කෙනෙක් විදිහට මම ඇඳ උඩ ඉන්න ඕනේ, නමුත් මම හොඳට කෙලින් ඉඳන් ළමයින්ට අදටත් උගන්වනවා. ඉදිරියටත් මම ඒ දේ කරනවා.
දුරකතන අංකය - 071 6 554 782