වසර 35 ක කාලයක් කලා ක්ෂේත්රයේ නියැළෙමින්, මේරියන්ස් සංගීත කණ්ඩායම හරහා වසර 25 ක කණ්ඩායම් සංගීතයේ අත්දැකීම් ඇති ප්‍රසන්න රෝසා නවතම කටයුත්තකට අතගසා තිබේ. ඒ ආධුනික කලාකරුවන් වෙනුවෙන් singfony නම් වෙබ් නාලිකාවක් ආරම්භ කිරීමයි. මේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට 'අද' ඔහු සමග කළ කතාබහකි.
මූලික වැඩ කටයුත්ත
මේ දිනවල වැඩි වශයෙන් සංගීත කණ්ඩායමේ වැඩ කටයුතු සඳහා තමයි මූලික තැන දීලා තියෙන්නේ. ජීවන මාර්ගය තියෙන්නේ එතනනේ. ඒක නිසා ඒ දේ හොඳට කරන්නෙ ඕන සහ ඒ සඳහා අවධානයෙන් ඉන්න ඕන. මම ගෙදර ස්ටුඩියෝවක් පවත්වාගෙන යනවා. එහි කටයුතුත් කරනවා.
www.singfony.com ඊටපස්සෙ පටන්ගත්ත ලොකුම දේ තමයි 'Singfony' කියන එක. අපි මේ දේ පටන්ගත්තෙ ඉතාමත් කැමැත්තෙන්. මමයි, ඉතාලියේ ජූඩ් එර්ඩ්ලි කියන සහෝදරයයි, යෂ්මිත සම්පත් කියන මල්ලියි එක්ව තමයි මෙම වැඩ කටයුතු කරන්නේ. මේක ඇත්තටම පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හැම දෙනාටම අපි කරන සේවයක්. විශේෂයෙන් අලුත් අය වෙනුවෙන් මියුසික් වෙඩ් අඩවියක් නිර්මාණය කළා. මේ සඳහා ඔවුන්ගේ නව නිර්මාණ ඇතුළත් කරන්න පුළුවන්. අපේ වෙබ් අඩවියට අවුරුද්දක් ගත වනවිට ගායක ගායිකාවන් 200කට ආසන්න පිරිසක් ඇතුළත් වී තිබෙන අතර, ඒ අයගේ ගීත 350කට ආසන්න සංඛ්‍යාවක් අපේ 'Singfony' වෙබ් අඩවිය තුළ සවන්දීමට හැකියාවක් තිබෙනවා.
Singfony තරුවක් බිහි කිරීම
'Singfony' වෙබ් අඩවිය මගින් අාධුනික ගායක ගායිකාවන් 200 ක් අතරින් අපි 'Singfony' තරුවක් ලොවට බිහි කිරීමට කටයුතු යොදා අවසන්. මේ වනවිට 'Singfony' වෙබ් අඩවිය තුළින් අවසන් වටය සඳහා ගායක ගායිකාවන් 50 ක් තෝරාගෙන තිබෙනවා. ඒ අතරින් එක් ජයග්‍රාහකයෙකුට හෝ ජයග්‍රාහිකාවට ලක්ෂ 05 ක මුදල් ත්‍යාගයක්ද සමගින් සම්මානයක්ද ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. මේ දේ තමයි අපි නිර්මාණය කළ 'Singfony' වෙබ් අඩවිය තුළින් මූලික අදියර වශයෙන් කරන්නා වූ දේ හැටියට හඳුන්වන්න පුළුවන්. 'Singfony' පළමු අදියර මෙම මස අවසන් කරන අතර, මෙහි සම්මාන උෙලළ ජුනි මාසයේ පැවැත්වීමට නියමිතය.
වාරණයක් සහිත ගීත නිර්මාණය
පරමාර්ථය තිබුණේ සම්මානයක් දීමට සහ තරගයක් ඇති කිරීම සඳහා නොවෙයි. නමුත් අපි මෙවැනි තරගයක් නිර්මාණය කළේ %Singfony^ සමග ඉන්න රසිකයන් සහ තරගකරුවන් දිරිමත් කිරීම සඳහායි. මෙහි වැදගත්ම කාරණාව වන්නේ මම දන්න හැටියට ලෝකයේ ස්වත්‍රන්ත නිර්මාණයකින් තරුවක් බිහිවන ප්‍රථම අවස්ථාව මෙය බවයි. මොකද මෙපමණ කල් ලොව තුළ ගායන තරුවක් බිහිවුණේ අනුන්ගේ ගීත තුළින්. අපි මෙම වෙබ් අඩවිය සඳහා ඇතුළත් කරන්නේ තමන්ගේම ගීතයක් පමණක් නම් විතරයි. මෙම කටයුත්ත සිදුවන්නේ ලොකු වාරණයක් ඇතුළත්වයි. මේ සඳහා රීමික්ස් ගීත, මැෂප් ගීත, තව කෙනෙකුගේ ගීතයක කොපියක් ගන්නේ නැහැ.
ආධුනික කලාකරුවන්ගේ සුරක්ෂිතභාවය
මෙහි අපි ආධුනික කලාකරුවාගේ සුරක්ෂිතභාවය ආරක්ෂා කරනවා. ඔහුගේ අනන්‍යතාවට සහ ඔහුගේ නිර්මාණවලට හානියක් සිදු කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මෙහි ගීත දැමීම සඳහා තමන් විසින් ගිණුමක් (Account) විවෘත කළ යුතු වෙනවා. ඒ සඳහා තමන්ගේම මුරපදයක් (Password) එක්කළ යුතුයි. කෙටියෙන්ම කිව්වොත් තමුන් සඳහාම වෙන්වූ Profile එකක් මෙම වෙබ් අඩවිය තුළ නිර්මාණය වෙනවා. මෙම සියලු කාරණා සඳහා කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ. මම හිතන්නේ සංගීතමය වෙබ් අඩවියකින් ලබාදෙන ලොකුම සම්මානය සහ ලොකුම මුදල් ත්‍යාගයත් මෙය වෙයි කියලා මම හිතනවා. අපේ ඊළඟ ඉලක්කය තමා වසරක් ගත නොකර මාස 04කට වරක් මනාප ක්‍රමයෙන් තරුවක් බිහි කරලා, සම්මානයක් සහ මුදල් ත්‍යාගයක් ලබාදෙන්න. මෙහි මූලික අඩිතාලම වෙන්නේ කෙනෙක් ජයග්‍රාහකයෙකු කිරීමටවත්, සම්මානයක් ලබාදීමවත් නොවෙයි. අපි කරන්නෙ ආධුනිකයන්ගේ ගීත පුස්තකාලයක් හැටියට තැබිම සහ ලොවට ගෙනයාමට දෙන අත්වැලක් සැපයීමයි.
සංකල්පය සහ රාජකාරිය
මෙහි අදහස් එන්නේ මගේ පාසල් මිත්‍රයා වන ජූඩ් එර්ඩ්ලිගෙන්. එයා දැන් ඉතාලියේ මිලාන් නගරයෙයි ජීවත්වෙන්නේ. මාව මේ සඳහා සම්බන්ධ කරගත්තේ සංගීත කටයුතුවල නියැළෙන නිසයි. ලංකාවේ ඉඳගෙන මෙම ගීතවල ගුණාත්මකභාවය, වීඩියෝවක තියෙන ගුණාත්මකභාවය සහ එහි තිබෙන ප්‍රමිතිය බැලීම තමා මගේ කටයුත්ත වන්නේ. එයට හේතුව වන්නේ ලංකාවේ රසිකයන් මේ දේවල් බැලීමේදී සහ ඇසීමේඳී කිසිදු අපහසුතාවකින් තොරව රසවිඳිමට හැකියාව තිබිය යුතු නිසයි. මෙය අපි මුල්ම වශයෙන් හඳුන්වාදුන්නේ පිටරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට. නමුත්, අපි මාස 04 – 05 ක් මේ කාර්යය දියත් කරමින් සිටින විට, අපට ඊමේල් සහ කෙටි පණිවුඩ මගින් ඉල්ලීම් ලැබෙන්න ගත්තා. ඉතිං අපි තීරණය කළා ශ්‍රී ලංකාවේ වෙසෙන අයටත් මෙම අවස්ථාව ලබාදෙන්න. දැන් ලෝකෙ ඕනෑම තැනක වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට 'Singfony' දොරටුව විවෘතයි.
ගීත වාරණයක් යෙදීමේ අවශ්‍යතාව
විශේෂයෙන්ම වෙබ් නාලිකාවක් කියන්නෙ ලෝකයේ ඕනෑම තැනක සිට කෙටිකලක් තුළ නරඹා ඒ සඳහා හානියක් කිරීමට හැකියාව තිබෙන පසුබිමක් සහිත දෙයක්. මෙහි තදින්ම ක්‍රියාත්මක කරනවා ගීත සඳහා යොදා ඇති වාරණය. කවුරුහරි කෙනෙක් වෙන ගායකයෙකුගේ ගීතයක් අනුකරණය කර හෝ පිටපතක් කර 'Singfony' සඳහා ලබා දී තිබුණොත් එහි චෝදනාව එන්නේ %Singfony^ වෙබ් අඩවියටයි. මෙහි 100෴ක්ම ගීතයක සහ වීඩියෝවක ගුණාත්මකභාවය බලන්නේ නැහැ. නමුත් ඒ සඳහා ප්‍රමිතියක් තිබිය යුතුයි. මෙහි සංගීතයේ ගුණාත්මකභාවයට වඩා වැඩියෙන් ගීතයක තිබිය යුතු විනයක් අත්‍යවශ්‍යයි.
ජනාධිපතිවරණයේ තේමා ගීතය
මම කවදාකවත් පක්ෂයක් මත, පුද්ගලයෙකු මත රැඳුණු කෙනෙක් නොවෙයි. මම කලාකරුවෙකු හැටියට සේවය කරනවා ඕනෑම තැනකට. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ ගීතයක් ගැන ගායනා කරන්න කිව්වා නම් මම ගායනා කරනවා. නමුත් මම දන්නවා ජීවිතයටම ඒක මට ලැබෙන්නේ නැහැ කියලා. අපට වඩා එතුමන් වටා රොක්වෙච්ච කලාකරුවෝ පිරිසක් ඉන්නවා. මොකද අපි පක්ෂග්රාහී වෙලා එතනට වෙලා ඉඳලා නැහැ. මහින්ද රාපක්ෂ මහතා වෙනුවෙන් ගීත ගායනා කරන්න ලක්ෂ ගාණක් කලාකරුවෝ හිටියා. නමුත් මෛත්‍රීපාල මහතාට ගීතයක් ගායනා කරන්න කවුරුත් හිටියේ නැහැ. අපි හිතමුකෝ තවත් පක්ෂයක කෙනෙක් ඇවිත් කිව්වොත් මට ගීතයක් ගායනා කරන්න කියලා මම ඔහු වෙනුවෙනුත් ගායනා කරනවා. ඒක මගේ රස්සාව. මෛත්‍රීපාල මහතාගේ ගීත කළේ ඉල්ලීමකට. මොකද මම ගායකයෙක් නෙමෙයිනේ. මම ගිටාර් වාදකයෙක්. මට මේ යෝජනාව ගෙනාවේ තේජා ඉද්දමල්ගොඩ මහත්මයයි. අදටත් කවුරුවත් දන්නෙ නැහැනේ මම ඒ තේමා ගීතය ගායනා කළා කියලා. අද එතුමා ජයග්‍රහණයත් කළානේ. ඉතිං මම එහි වාසි ලබාගත්තෙත් නැහැ. නමුත් මට ලොකු ආඩම්බරයක් තියෙනවා.
එළිමහන් සංගීතයෙන් ඔබ්බට ගිය ගෘහස්ථ සංගීතය
අපි එළිමහන් ප්‍රසංග කලාවෙන් ඉවත්වෙන්න පළමු කාරණය වන්නේ කලකිරීමයි. ප්‍රසංග වේදිකාව විෂබීජයක් බවට පත්වීගෙන ආවා. මම එතනදි පොඩි දොසක් කියන්නෙ ප්‍රේක්ෂකයන්ට. මොකද සමහර අයගේ වේදිකාව ඉදිරිපිට හැසිරීම ඉතාමත් දුර්වලයි. ඒ කාලෙ වගේ පවුල් පිටින් ආපු එළිමහන් සංගීතයක් අද දකින්න පුළුවන්ද? ඉතිං මේ කාරණා නිසයි මේරියන්ස් සංගීත කණ්ඩායම ගෘහස්ථ ප්‍රසංග සඳහා යොමුවුණේ.