පසුගියදා ලින්ටන් සේමගේ අධ්‍යක්ෂණය කරන ලද නිල් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, ඒ පිළිබඳ සංවාදයක්ද මෙහිදී පැවැත්විණ. ප්‍රවීණ විචාරක ගාමිණී වියන්ගොඩ, ප්‍රවීණ මාධ්‍යවේදී කේ. ඩබ්ලිව්. ජනරංජන ඇතුළු පිරිසක් මෙහෙය වූ මෙම සංවාද මණ්ඩපය, පවතින දේශපාලනික පසුබිම මත ඇතැම් ප්‍රේක්ෂකයන්ගේ අපේක්ෂා බිඳ වැට්ටවීමට තරම් සමත් වූ බැවින් ඒ පිළිබඳව යම් සටහනක් තැබීමට අපි කල්පනා කළෙමු.
නිල් චිත්‍රපටය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයට ප්‍රවේශ වූයේ මිනීමරුවෙකු හඹා ඒම නිසාවෙන් ඇමෙරිකාවට පැන යන මාධ්‍යවේදියෙකු ගත කරනා ජීවිතයක් පාදක කර ගනිමිනි. එම චරිතය නිරූපණය කළේද ලින්ටන් සේමගේ විසිනි.ඒ අනුව ඇතැමුන් බලාපොරොත්තු වූයේ පසුගිය ආණ්ඩු පාලන සමයේදී දැඩි ලෙස මාධ්‍ය නිදහස වාරණයකට ලක්වූ බැවින් ඒ පිළිබඳව වූ කතා පුවතක් මේ හරහා දිග හැරේවි වැනි අදහසකි. ඒ මෙම චිත්‍රපටය 2012 වසරේදී තහනම් වීමත්, එවන් කාල පරිච්ඡේදයක් එකල දේශපාලන පසුබිම තුළත් පැවැති බැවිනි.
එහෙත් සිදුවූයේ අනෙකකි. තමන් පිළිබඳව වූ ස්වයං කථනයක යෙදෙන සේයාවකින් විතැන් වූ මෙම සිනමා නිර්මාණය, තමන් පිළිබඳව වූ යම් පෞද්ගලික චෝදනා විභාගයක් තමන් විසින්ම සමථයකට පත්කර ගැනීමට තිර රචිත ආකාරයකට මෙහි ඇතුළත් හරය සකස් වී තිබිණ. එබැවින් ප්‍රේක්ෂකාගාරයේ සිටි ඇතැමුන්ගේ සිත් දෙගිඩියාවෙන් කල් මරන්නට විය. අවසාන තත්පරය වන තෙක්ම කුතුහලයෙන් කල් මරන්නට විය. ඒ මෙහි සිටින රැඩිකල් මාධ්‍යවේදියාගේ චරිතයේ චරිතායනය කෙසේදැයි හඳුනාගත නොහැකිවමය.
එහෙත් දේශපාලන රැකවරණ පතා ශ්‍රී ලංකාවෙන් පිටවීමට සිදුවූ මාධ්‍යවේදීන් පිළිබඳව මෙහි පදනම සකස්ව නොතිබුණත්, යුරෝපීය ජීවිතයේ වූ කටුකත්වය සිනමා මාධ්‍යයට ගැනීමට උත්සාහ කර තිබූ මෙම චිත්‍රපටයේදී බොහෝ දෙනෙකුට මතු වූ ප්‍රධානතම ගැටලුව වන්නේ සිනමා මාධ්‍යයේදී භාවිතයට ගත යුතු කාල අවකාශය සහ චලන අවකාශය එහි ප්‍රේක්ෂකාගාරයේ සන්නිවේදනය උදෙසා නිසි පරිදි කළමනාකරණය කර නොතිබීමයි.
වෙසෙසින්ම එහි සිනමාත්මක බව රැක ගැනීමට කළයුතු රූප රාමු අතර අන්තර් ඡේදනය නිසි පරිදි සිදු නොවීමෙන් බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දුන් ප්‍රේක්ෂකයා, එහිදී අධ්යක්ෂවරයා භාවිත කළ ඇතැම් අනවරත සමීප රූප සහ දුර රූප කෙසේ අරුත් ගන්වන්නේදැයි සොයා ගැනීමට නොහැකිව ළතැවිණ.
චිත්‍රපටයක් තුළ නිශ්චිත කතාවක් ගලා යාමක් අනිවාර්ය නොවන බව අපි පිළිගන්නෙමු. සිදුවීම් සමුදායක් වුවද ගලා යා හැකි බැව්ද අපි පිළිගන්නෙමු. එසේ නමුත් එහි පදනම සකස් වූ සංස්ථාපනික කේන්ද්‍රස්ථානයක් තිබිය යුතු බව අපගේ අදහසයි. එහෙත් එවන් වූ නිශ්චිත රාමුවකට සමස්ත චිත්‍රපටයම ගැනීමට අපොහොසත් වී ඇති අධ්යක්ෂ සේමගේ, ශ්‍රී ලාංකේය දේශපාලනය තුළ පැවැති රෙජිම පාලනයක් හා බැඳි සංකල්පයක් අපූරුවට සිනමාවට නැගීමට තිබුණු විශිෂ්ට අවස්ථාවක් පටලවාගෙන ඇති බැව් මෙම චිත්‍රපටය පුරාවටම අපට දැක ගන්නට ලැබිණ.
විශේෂයෙන්ම මෙහි වූ මාධ්‍යවේදී චරිතය පිළිබඳ වූ කිසිදු තොරතුරක් ආරම්භයේදී හැර යළි එළිපිටට නොපැමිණෙන නිල් චිත්‍රපටයේදී මාධ්‍යවේදී පැති පෙනුම් විභේදනය කොට, එයින් විතැන් වී ඉදිරියට විකසනය වන ලාංකික සරණාගත චරිතය හෝ නිසි පරිදි ගොඩනැංවීමට අපොහොසත් වීම සැබැවින්ම කනගාටුවට කරුණකි. එබැවින් එය අධ්යක්ෂවරයා විසින් අඩුම පිරිවැයක් ඔස්සේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්නේ කෙසේදැයි යන්න ඔප්පු කළ මොහොතක් සේ අපට අරුත් ගැන්විය හැකිය.
කුඩා කුඩා අර්ධකාලීන රැකියා කරමින් කටුක ඇමෙරිකානු ජීවිතයක් ගත කරන මෙම ප්‍රධාන චරිතය හරහා මතුවන ප්‍රශංසනීය රූප රාමු කිහිපයක් ලෙස හසුකර ගැනීමටද අපට ලැබුණේ අතළොස්සක් වූ අවස්ථා කිහිපයකි. එනම් ඔහු මල් විකුණන්නෙකු ලෙස යුවළක් සමග සෘජුව යෙදෙනා සිත් ඇදගන්නා සුලු සංවාදය, තරුණියක් දැකීමෙන් ඔහුගේ සිත තුළ ඇතිවන අභ්‍යන්තර කාමාශාව සිනමා කාචයට හසුකර ගැනීම, ස්වාමීන් වහන්සේනමක් ලෙස ඇමෙරිකාවේ පෙනී සිටින තරුණයෙකු සමග ඔහු චිත්‍රපටය පුරාම සිදුවන අන්තර් සන්නිවේදනය වැනි ධනාත්මක අවස්ථා කිහිපයක් පමණි.
මෙහිදී වඩාත්ම බරපතළ ලෙස අපට වැටහුණු කාරණා කීපයක් වූයේද මෙහි වූ තිර පිටපතෙහි සංවර්ධන නොවූ බව සහ චරිත ගොඩනැංවීමේ දුර්වලතාවයි. මෙහි අධ්‍යක්ෂණයේ වූ දුර්වලතාද බොහෝ අවස්ථාවන්හිදී මතු විය. නමුත් ඔහු දක්ෂ චිත්‍රපට රූපණ ශිල්පියෙකු ලෙස මෙහි වූ ස්වකීය සංකල්පය ඔස්සේ වෙනත් අධ්‍යක්ෂකවරයෙකු හරහා නිල් චිත්‍රපටය නිර්මාණය කළේ නම් එය සාර්ථක වන්නට ඉඩකඩ තිබිණ.
එනම් මෙහි පූර්ව නිෂ්පාදන අවධියේදී සිදුකරනු ලබන සංවිධානාත්මක තිර පිටපත, මනාව සිදුවූයේ නම් ඒ තුළින් මෙම චිත්‍රපටය රූප රාමු අතර සහසම්බන්ධය තුළින් ඉතා විශිෂ්ට දේශපාලනික සන්දර්භයකින් යුක්ත සමාජ සංස්කෘතික වශයෙන් පෝෂිත සිනමා නිර්මාණයක් කර ගැන්මට තිබූ බැව් අපේ අදහසයි.