ශිල්පයක් කලාවක් බවට පත්වන්නේ ඒ ශිල්පය මගින් මිනිස් අධ්‍යාත්මය ස්පර්ශ කිරීමේ සියුම් බව හඳුනාගත් ඇසිල්ලේය. එලෙස කැමරා කාචයකින් මිනිස් අධ්‍යාත්මයේ ගැඹුරු තැන් ස්පර්ශ කළ සොඳුරු මිනිසෙකු ලෙස ලාල් හෑගොඩ මහතා හැඳින්විය හැකිය.
ඔහු මිනිස් ආධ්‍යාත්මය ස්පර්ශ කිරීමට යොදාගත්තේ ඡායාරූපය පමණක් නොවේ. ඔහුගේ කවීත්වය පවා මිනිස් ආධ්‍යාත්මයේ ගැඹුරු තැන් සොයා ගිය අතර, ඔහු ඡායාරූපයට ගත නොහැකි දේ කවියෙන්ද, කවියට නොනැඟිය හැකි දේ ඡායාරූපයටද ගෙන ඒමට කටයුතු කළේය.
ලාල් හෑගොඩයන්ගේ සිවුවැනි ඡායාරූප ප්‍රදර්ශනය වන 'සොළොසක් රූ' ප්‍රදර්ශනය පවත්වන්නේ වසර 14කට පසු ඔහු සමාජයට දක්වන ප්‍රතික්‍රියාවක් වශයෙනි. ඔහුගේ එම සෑම ඡායාරූපයකටම යම් කිසි කතාන්දරයක් ඇතැයි ඔහු සමග සිදු කළ සාකච්ඡාවේදී අපට හැඟිණි. ඒ නිසා ඒ සංවාදය මෙලෙස ඔබ වෙත ගෙන එමු.
''මම මේ ප්‍රදර්ශනය සඳහා ඡායාරූප ගන්න වසර 08ක පමණ කාලයක සිට. සමහර පින්තූර ගිය මාසේ ගත්ත ඒවා. මේ ඡායාරූප ප්‍රදර්ශනයට මම ඉදිරිපත් කරල තියෙන්නේ පින්තූර 16ක් විතරයි. නමුත් ඊට පස්සෙත් මට අදහස් ගලාගෙන ආවා මේ මේ පින්තූර ගත්තා නම් හොඳයි කියලා. ඒවා නවත්වන්න පුළුවන්කමක් නැහැ. මොකද කලලය ආවට පස්සෙ එය ගබ්සා කරන්න බැහැ. ඒ නිසා ඒ පින්තූර ටික වෙන් කරල හරි පෙන්නනවා.
මම මේ ප්‍රදර්ශනයේ සමහර පින්තූර ගන්න එකම තැනට දහ පහළොස් වතාවක් ගියා මට අවශ්‍ය කරන පින්තූරය ලැබෙනකම්. ඡායාරූපකරණයේදී වඩාත් වැදගත් වන්නේ 'මොහොත' සටහන් කරගැනීමයි. ඒ නිසා මට ඒ අවශ්‍ය මොහොත ලැබෙන තෙක් එකම තැනට කීප වාරයක් යන්න සිද්ධ වුණා. ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වීමට කල් යන්න හේතුවත් එයයි.
සාමාන්‍ය‘යෙන් මම පින්තූරයක් ගන්න විදිය කෙනෙකුට කිව්වොත් මට පිස්සු කියලා හිතයි. නැත්නම් විශ්වාස කරන්නේ නැහැ. මගේ උවමනාව, මගේ කැපවීම තිබෙන නිසා මට ඕන කරන පින්තූරය ලැබෙනකම් මම ඒ උත්සාහය නවත්තන්නේ නැහැ. සමහර වෙලාවට මම කවුරුත් නොගන්න නිමිති පාවිච්චි කරනවා. ඉතිං ඒවාට ගොඩක් කල් ගත වෙනවා.
ඒ කාලාන්තරය ගැන කිව්වොත් මෙහෙමයි. මම අසනීප වෙන්න ඉස්සෙල්ලා මට පින්තූර ගන්න බැරි වෙනවා යම් තැනක. මම ඒ පින්තූරය ගන්නවා අවුරුදු 08කට පස්සේ ඒ තැනට ගිහින්. ඒ විදියේ පිස්සුවක් තමා මට තියෙන්නේ. මට අවශ්‍ය කරලා තිබුණා පින්තූරයක් ගන්න කුඩා දරුවන් ශිෂ්‍යත්වයට පෙනී සිටින අයුරු සහ ඒ ශිෂ්‍යත්වය නිසා ඔවුන් අත්හරින ළමා ලෝකය ගැන.
එය ඡායාරූපයට යොදාගන්න අදහසක් නෙමේ. නමුත් මම එය පින්තූරයට ගන්න උත්සාහ කළා. මම හිතනවා ඒ පින්තූරයට මම ඒ හැඟීම දුන්නා කියලා. අවුරුදු 08කට කලින් තිබුණ දේ දැන් නැහැ. නමුත් ඒ දේ ආසන්න වශයෙන් තිබෙනවා.
ඒ වගේම මෙන්න මේ දේත් ඔබට කියන්න කැමතියි. හිතට දැනෙන යමක් පින්තූරය තුළ අඩංගු වෙනවා නම් එය හොඳ ඡායාරූපයක් කියන්න පුළුවන්. එවැනි දේවල් කැමරාවට හසු කරගන්න හොඳ ඉවසීමක්, හොඳ නිරීක්ෂණයක් වගේම හොඳ සමාජ කියවීමක් අවශ්‍ය වෙනවා. ඉන් වඩා වැදගත්ම දේ ඉවසීම කියන කාරණයයි.
කවියෙක් කවියක් ලියනකොට කී පාරක් ලියන්න ඇතිද? කප කපා හදන්න ඇතිද? එයාගේ කුණු කූඩේ තමා දන්නේ විසිකරපු කොළ ගුලි ගණන. නමුත් අද සිටින ඡායාරූප ශිල්පීන් බොහෝ දෙනෙකුට ඒ වගේ කැපවීමක් සහ ඉවසීමක් නැහැ. එක පාරින් ගොඩදාගන්න හදනවා. ඒකට එක හේතුවක් තමා අද තිබෙන සමාජ ආර්ථික පසුබිම.''
මේ කතාබහ අතරතුර ඔහු මීට පෙර පැවැත්වූ ඡායාරූප ප්‍රදර්ශනයන් පිළිබඳ තොරතුරු විමසීමට මා අමතක නොකළේ, ඡායාරූප ශිල්පියෙකු ලෙස වසර 51ක ඔහුගේ ගමන් මඟෙන් ඡායාරූපයට පෙම් බඳින ඔබටත්, මටත් ගත හැකි දේ බොහෝ ඇති නිසාවෙනි.
'ෆ්‍රොයිඩ් දියණිය' (1971) මගේ පළමුවෙනි ඡායාරූප ප්‍රදර්ශනයයි. එහිදී ඇත්ත වශයෙන්ම මම ආධුනිකයෙක් විදියට වැඩ කරලා ප්‍රථම වතාවට ප්‍රදර්ශනයක් සඳහා පින්තූර හදනවා. එතනදි ආධුනික ඡායාරූප ශිල්පියෙකුගේ සියලුම ගුණ වගේම අගුණ එහි තිබුණා. නමුත් මම යම් වෙනසක් ඇති කරන්න උත්සාහ ගත්තා.
බොහෝ දෙනා එයට කැමති වුණා ඒ කාලේ හැටියට. නමුත් ඒ ප්‍රදර්ශනයේ පින්තූර එල්ලුවට පස්සෙ මට හිතුණා සමහර පින්තූර හොඳ නැහැ කියලා. නමුත් ගලවන්න විදියක් නැහැ හවස 5.00ට කට්ටිය එනවා ප්‍රදර්ශනය නරඹන්න. එහෙම අතෘප්තිමත් වූ අවස්ථා තිබුණා.
ඊට පසුව 1993 අවුරුද්දේ ප්‍රදර්ශනය 'ජනේලය තුළින්'. ජනේලය තුළින් කියන්නෙ අත්හදා බැලීමක්. ඒ මගේ කාර්යාලයේ කාමරයේ එකම ජනේලයකින් පෙනෙන පින්තූර. මේ ප්‍රදර්ශනයේ පින්තූර 20 ක් පමණ තිබුණා. එය ප්‍රදර්ශනය ඒ තරම් ප්‍රසිද්ධ ප්‍රදර්ශනයක් නෙමේ.
ඊට පසුව 'රූප ඡායා' ප්‍රදර්ශනය 2005 වසරේ පැවැත්වුවා. 'ෆ්‍රොයිඩ් දියණිය' සහ 'ජනේලය තුළින්' යන ප්‍රදර්ශන දෙකම කළේ කළු සුදු රූප කාලේ. 'රූප ඡායා' කරන කාලයේ වර්ණ ඇවිල්ලා තිබුණා. සොළොසක් රූ වෙද්දි ඩිජිටල් යුගයට ඇවිල්ලා. ඒ වගේම මම මෙය අවස්ථාවක් කරගන්නවා මට උදව් කරපු සියලු දෙනාට ස්තුති කරන්න.
පින්තූර ගන්න විවිධ ස්ථානවලට මා කැඳවාගෙන ගිය, මට වාරු දුන්න, ඒ වගේම විටෙක ඔසවාගෙන වඩාගෙන ගිය නයනහාරි අබේනායක, ශිරෝමි තෝරදෙණිය, රේඛා නිලුක්ෂි හේරත්, අකලංක කඳනආරච්චි, සහන් ජයසිංහ, රසංග දිසානායක, ධර්මසේන හේමපාල, විදුරංග ප්‍රසාද්, අතුල පතිරණ හා පැතුම් තිලකරත්න යන මා ආදරණීය සිසු සිසුවියන් වගේම මිතුරන් මතක් කරන්න අවශ්‍යයි. ඒ වගේම අනෙක් සියලු දේට උපකාර කළ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා.
මම හිතනවා 'සොළොසක් රූ' ප්‍රදර්ශනයේදී ඔබ අපි දෙගොල්ලොම එකට මුණගැහෙයි කියලා. ජුනි 23, 24 සහ 25 ලයනල් වෙන්ඩ්ට් එකට මගේ ජීවිතයේ මට ලැබුණු අත්දැකීම් බලන්න එන්න කියලා තමයි මට ඔබට කියන්න තියෙන්නේ.''