ඔබ යළිත් සිනමා නිර්මාණයක් හරහා මේ දිනවල අපි දකිනවා?
ඔව්. ඒ ජයනාත් ගුණවර්ධනයන්ගේ 'පරාවර්තන' චිත්‍රපටයේ සිරිපාලගේ චරිතය තුළින්. මේ චිත්‍රපටය කළේ මීට අවුරුදු 2කට කලින්. නමුත් ප්‍රදර්ශනය කරන්න ටික කාලයක් ගියා. ඇත්තටම මේ චරිතය මට විශේෂයි. මොකද, 'හිරිපොද වැස්ස' චිත්‍රපටයේ ඉඳලා මේ දක්වා චිත්‍රපට බොහෝ ප්‍රමාණයක මම විවිධ අන්දමේ චරිත නිරූපණය කරලා තියෙනවා. නමුත්, ඒ චරිත අතරින් සිරිපාල කියන්නේ මට වෙනස්ම අත්දැකීමක් ගෙන දුන් චරිතයක්.
කොහොමද සිරිපාල චරිතයට ලැබෙන ප්‍රතිචාර?
ඉතා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටය නරඹපු බොහෝ දෙනෙක් මා හොඳින් මේ චරිතය නිරූපණය කළා කියලා පවසනවා. ඇත්තටම සිරිපාල චරිතයට අවතීර්ණ වෙන්න මට ලොකු කැපවීමක් කරන්න සිදු වුණා. මොකද සිරිපාල කියන චරිතය වෙනස්ම එකක්. සාමාන්‍ය පෙම්වතාගෙන් ඔබ්බට ගිය චරිතයක්. සිරිපාල වගේම නිහඬ එක්තරා පුද්ගල චරිතයක් මට මුණ ගැසුණා මගේ ඥාතීන් පිරිසක් ඉන්න හෝමාගම ප්‍රදේශයෙන්. මා ඔහුව අනුකරණය කළා. ඔහුගේ හැම ඉරියව්වක්ම, අංග ලක්ෂණයක්ම මම හොඳින් අධ්‍යයනය කළා. ඒ නිසා යම් පහසුවක් වුණා සිරිපාලගේ චරිතය මේ තරම් හොඳින් නිරූපණය කරන්න.
'පරාවර්තන' චිත්‍රපටයෙන් පස්සෙ ඉදිරියට ප්‍රදර්ශනය වෙන්න තියෙන චිත්‍රපට මොනවාද?
දැනට මම චිත්‍රපට 13ක විතර වැඩ ඉවර කරලා තියෙනවා. නමුත්, මොන චිත්‍රපටය ප්‍රදර්ශනය වෙයිද කියන එක ගැටලුවක්. පසුගිය දෙසැම්බර් මාසයේදී 'මායා' කියල අලුත් චිත්‍රපටයක රූපගත කිරීම් වලට දායක වුණා. මේ චිත්‍රපටය ඉන්දියාව හා ශ්‍රී ලංකාව එකතුවෙන් නිර්මාණය කරනු ලැබූ චිත්‍රපටයක්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ඉන්දියාවේ අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදනය කරන්නේ 'සුපර් සික්ස්' චිත්‍රපටය නිෂ්පාදනය කළ සුදේශ් වසන්ත කුමාර්. මේ චිත්‍රපටය ඉන්දියාවේ ඉහළ තාක්ෂණික උපකරණ යොදා නිර්මාණය කරන අති දැවැන්ත සිනමා නිර්මාණයක්. ඒ නිසා මේ චිත්‍රපටය පිළිබඳව මා ලොකු උනන්දුවකින් පසුවෙනවා.
'හිරිපොද වැස්ස' හරහා සිනමාවට පිවිස ඔබ අද ඉන්න තත්ත්වය ගැන සතුටුද?
අනිවාර්යයෙන්ම සතුටුයි. 'හිරිපොද වැස්ස' චිත්‍රපටයෙන් පස්සෙ මම බොහෝ චිත්‍රපට ප්‍රමාණයකට දායක වුණා. විවිධ චරිත වලට දායක වුණා. ඒ හැම චරිතයක් හරහාම මට මගේ ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම කළ හැම චරිතයකටම මට පුළුවන් උපරිම සාධාරණය ඉටු කළා. විදෙස් සිනමා අධ්යක්ෂවරු යටතේ 'මචං', 'මායා' චිත්‍රපට වලට දායක වුණා. 'චැලෙන්ජර්ස්' චිත්‍රපටය හරහා වසරේ හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තා. මගේ සිනමා ජීවිතය තුළ මේ ගෙවුණ අතීතය ගැන මම ගොඩක් තෘප්තිමත්.
දැන් සිනමාවේ රැල්ල වෙලා තියෙන්නෙ ඓතිහාසික කතා ඇතුළත් චිත්‍රපට. නමුත්, ඔබ මේ රුල්ලේ තවමත් නැහැ?
ඇත්තටම, මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඓතිහාසික චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න. නමුත්, තවමත් මට ඒ සඳහා ආරාධනයක් ලැබුණෙ නැහැ. ඇත්තටම, ආරාධනයක් ලැබුණොත් මම ඒක ගොඩක් ආසාවෙන් භාරගන්නවා.
ඔබ මේ දක්වා විවිධ චරිත වල රඟපෑ නළුවෙක්. ඒ අතරින් කැමති චරිතයක් තියෙනවාද?
තියෙනවා. ඇත්තටම, මා මෙතක් දායක වුණ හැම චිත්‍රපට චරිතයකටම කැමතියි. නමුත්, ඒ අතරින් ගත්තොත් මම පසුගිය දෙසැම්බර් කාලයේදී රූපගත කිරීම් වලට දායක වුණ 'මායා' කියන චිත්‍රපටයේ මා රංගනයෙන් දායක වුණ චරිතයට කැමතියි. 'මායා' චිත්‍රපටයේ මා චරිත 4ක් නිරූපණය කරනවා. මන්ද බුද්ධික චරිතයක්, ද්‍රවිඩ පුද්ගලයෙකුගේ චරිතයක්, කාන්තාවකගේ චරිතයක් සහ සාමාන්‍ය පෙම්වතෙක්ගේ චරිතයක්. ඒ වගේම මම කැමතියි මා මුලින් සඳහන් කළ ඓතිහාසික චරිතයකටත්. 'සුපර් හීරෝ' චරිතයකටත් ඉදිරි කාලයේදී රංගනයෙන් එකතු වෙන්න අසාවන් වෙන් ඉන්නවා.
එදා සහ අද සිංහල සිනමාව ගැන ඔබට හිතෙන්නේ කුමක්ද?
එදාට වඩා අද සිංහල සිනමාවේ යම් ප්‍රගතියක් දකිනවා. හොඳ නිර්මාණ බිහිවෙනවා. එදාට වඩා අද බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසක් සිංහල චිත්‍රපට නරඹන්න පෙළඹිලා තියෙනවා. 'ගරිල්ලා මාකටිං', 'බඹර වළල්ල', 'මචං', 'කුස පබා' හා මෑතකදී ප්‍රදර්ශනය වුණ 'සමනල සංධ්වනිය' ලංකාවේ සිනමාවේ බිහිවුණ හොඳ නිර්මාණ බවට පත්වුණා. 'සුපර් සික්ස්' වැනි විශාල වියදමක් දරා සිංහල සිනමාවේ වෙනසක් කරන්නට උත්සාහයක් ගත් චිත්‍රපටත් නිර්මාණය කෙරුණා. අද වන විට ප්‍රේක්ෂකයින් සිනමා ශාලා වලට ඇදී එන්න උනන්දුවක් මේ හොඳ නිර්මාණ නිසා මතු වෙලා තියෙනවා කියල මට හිතෙනවා.
විවිධ අධ්යක්ෂවරු යටතේ ඔබ වැඩ කරලා තියෙනවා. මේ අතරින් ඔබගේ රඟපෑමේ දක්ෂතා හඳුනාගත් අධ්යක්ෂවරු ඉන්නවාද?
ඉන්නවා. මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕනා උදයකාන්ත වර්ණසූරිය මහත්මයාව. ඔහුගේ 'හිරිපොද වැස්ස' චිත්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් නොලැබුණා නම් පුබුදු කියන නළුවෙක් අද මේ සිනමා ක්ෂේත්රය තුළ නැහැ. ඔහුගේ අධ්‍යක්ෂණය යටතේ මම චිත්‍රපට කිහිපයකම රඟපෑවා. 'චැලෙන්ජර්' චිත්‍රපටයේ කළ රඟපෑමට හොඳම නළුවා සම්මාන පවා ලැබුණා. උදයකාන්ත හැරෙන්නට ජයන්ත චන්ද්‍රසිරි, ප්‍රසන්න විතානගේ වැනි දක්ෂ සිනමා අධ්යක්ෂවරුන් යටතේත් මම වැඩ කළා. 'මචං' වගේම මෑතකදී දායක වුණ 'මායා' කියන චිත්‍රපටයේදී මට හමුවුණේ විදෙස් අධ්යක්ෂවරුන්. මේ හැම අධ්යක්ෂවරයෙක් මට මගේ සිනමා ජීවිතය තුළ හමුවන හොඳම අධ්යක්ෂවරුන් බවට පත් වුණා.