රොක් සංගීතයට පෙම් බැඳි තරුණයන් අතර මෑත කාලයේදී අතිශයින් ජනප්‍රිය වූ රොක් ගීතයක් වන 'Broken Wings' හි ගායකයා වන ජනප්‍රිය රොක් ගායකයකු, සංගීතවේදියෙකු, ගිටාර් වාදකයකු වන රෙවෝන් ක්වින්සේ, ලංකාවේ ප්‍රකට සංගීත කණ්ඩායම් කිහිපයකම ලීඩ් ගිටාර් වාදකයෙකු ලෙස කටයුත් කරන්නෙකි. රෙවෝන් සමග කතාබහක යෙදීමට අපි අදහස් කළේ එබැවිනි.
Q අපි මුලින්ම 'Broken Wings' ගීතය ගැන කතා කරමු?
මේ ගීතය තමයි මම නිර්මාණය කළ මුලින් ගිටාර් සෝලෝ ගීතය. ශ්‍රී ලංකාවේදී රූගත කළ පළමු ගිටාර් සෝලෝ ගීතය හැටියටත් මෙය සඳහන් කරන්න පුළුවන්. මට මේ සඳහා තවමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. රොක් සංගීතයට කැමති හොඳ රසික පිරිසක් මේ ගීතය වටා එක්රොක් වුණා. සංගීතඥයොත් මේ ගැන හුඟක් පැහැදීමෙන් කතා කළා. ඒත් මම කැමැති නැහැ මෙහි රූප රචනාව ගැන කතා කරන්න. මොකද ඒක පිටිපස්සෙ තියෙන්නේ කතා කරන්න බැරි තරම් අසුන්දර පසුබිම් කතාවක්.
Q සංගීත ජීවිතය ආරම්භ කළේ කොතැනින්ද කියලා ඇහුවොත්?
මම පොඩි කාලෙ ඉඳන්ම සංගීතයත් සමග හැදුණුවැඩුණු කෙනෙක්. මොකද මම සංගීත පවුලකින් පැමිණි කෙනෙක්. මගේ පවුලේ හුඟක් අය සංගීතයට සම්බන්ධයි. ඒ නිසා මමත් ගිටාර් වාදනය ආරම්භ කළේ මට යන්තම් අවුරුදු අටක් වෙද්දි. මොකද මම කැමතියි සංගීතයට. මම කැමතියි වෙනස් යමක් කරන්න. මම කැමතියි අලුත් යමක් කරන්න. ඒ නිසා මගේ තාත්තා තමයි ගිටාර් වාදනය කරා පෙළඹෙන්න මුල් වුණේ. මොකද තාත්තා දක්ෂ ගිටාර් වාදකයෙක්.
Q මුලින්ම වාදනය කරන්න පෙළඹුණු ගීතය මතකද?
මම මුලින්ම වාදනය කරන්න උත්සාහ කළේ Labamba ගීතයේ මුල් කොටස. ඉන්පස්සෙ Hotel California ගීතයේ රිදම් ගිටාර් වාදන කොටස් ටික මම වාදනය කරද්දි මම ඉගෙන ගත්තේ තුන්වැනි ශ්‍රේණියේ.
Q ඔබ පාසලේදිත් සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා නේද?
මම පාසලේදිත් ගිටාර් වාදනය විෂයක් විදිහට හැදෑරුවා. ඒත් මම ශාස්ත්‍රීය සංගීතයටත් හුඟක් කැමතියි. කොහොම වුණත් සංගීතයට තියෙන ඇල්ම නිසාම මගේ යාළුවො කීපදෙනෙක් එක්ක පාසලේදීම සංගීත කණ්ඩායමක් පටන් ගත්තා. අපි එය නම් කළේ 'DEBTORS' කියලා. 2009 වසරේදි තමයි මට මතක විදිහට අපි ඒ නමින් සංගීත කණ්ඩායමක් විදිහට පාසලේ ඉදිරිපත් කිරීම් කළේ. එය තමයි මගේ මුල්ම රොක් සංගීත කණ්ඩායම.
අපි ඒ කාලෙ Guns and Roses S.O.A.D සංගීත කණ්ඩායමේ ගීත තමයි අපේ සංගීත කණ්ඩායමෙන් ගායනා කළේ. ඒත් පස්සෙසේ මම ඒ සංගීත කණ්ඩායමේත් ලීඩ් ගිටාර් වාදකයකු විදිහට කටයුතු කළා. එතැනින් තමයි මම නිවැරදිව සංගීතයට අවතීර්ණ වුණේ. එතැන තමයි මගේ තෝතැන්න වුණේ. ඒ කාලය මට ඉතා වටිනා, සුන්දර කාලයක් වුණා. මොකද මම ඒ කාලෙදි Rock and Roll සංගීත කණ්ඩායමක් වුණු 'Magicians Toolbox' සංගීත කණ්ඩායමෙත් ගිටාර් වාදකයෙක් ලෙස කටයුතු කළා. මම දැනටත් එහි ගිටාර් වාදකයකු ලෙස කටයුතු කරනවා. මොකද 2012 වසරේදී TNL Onstage Winning Band සම්මානය ගත්තේ අපි.
Q ඒ කියන්නේ ඔබ දැන් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කරගෙන අවසානයි?
නැහැ. අනික මට කියන්න බෑ මම ඉෂ්ට කර ගත්තද කියලවත්. මොකද අපට හෙමින් හෙමින් තමයි ගොඩනැගෙන්න සිදුවෙන්නේ. අනික මේ ක්ෂේත්රයේ නැගීම් බැසීම් තියෙනවා. ඒ නිසා මම හිතන්නේ විශේෂ හේතුවක් තුළින් සංගීතයේ නියැළෙමින් අපේ තත්ත්වය ගොඩනගා ගැනීමයි වැදගත් වෙන්නේ. ඒක තමයි ශක්තිමත්ම අනාගත ආයෝජනය වන්නේ.
Q මුලින්ම නිකුත් කළ ගීතය ගැන මතක් කළොත්?
මම මුලින්ම නිර්මාණය කළ සිංහල රොක් ගීතය නම් කළේ 'කෙසේ පවසම්දෝ' කියලා. මම ඒ ගීතය රචනා කළේ 2009දි. මම මීට රූප රචනාවකුත් නිර්මාණය කළා. ඉන්පස්සෙසේ 'ඔබ නෙත ගැටුණු' යුගල ගීතයක් නිර්මාණය කළා. ඒක Rock Ballad ගීතයක්. ෂෙවන්ති රෙබෙකා තමයි මං එක්ක ඒ ගීතය ගායනා කළේ. මමත් ඒ ගීතයට පෞද්ගලිකව කැමතියි. මොකද ඒ ගීතයේ තනුව යෙදුවේ මගේ සහෝදරිය. රංග ලක්මාල් තමයි ගීතය රචනා කළේ. ඔහු මගේ මස්සිනා.
Q ලංකාවේ සංගීතය ගැනත් ඔබට යම් අදහසක් ඇති?
ලංකාවේ හුඟක් සංගීතඥයෝ සංගීතය නැති කරනවා. ඒ නිසා ලංකාවේ රසිකයන්ට හොඳ රසිකත්වයක් තියෙනවා කියල මම විශ්වාස කරන්නෙ නෑ. ඔවුන්ට ඕන සංගීතයට නටන්න විතරයි. ඔවුන් දන්නෙ නෑ කොහොමද සංගීතය විඳින්න ඕන කියලවත්. ඇත්තටම ඒක සංගීතඥයන්ගේ පැත්තෙන් ලැජ්ජා විය යුතු කාරණයක්.
Q ඒත් කර්කෂ ඉලෙක්ට්‍රොනික් සංගීතයට හැම රසිකයාම කැමති නැහැ?
මම කැමතිත් නැහැ. මමත් කැමතියි සම්භාව්‍ය සංගීතයට. ඒත් මටත් ඕන රොක් සංගීතය ශ්‍රී ලාංකේය රසිකයන්ට දනවන්න. ඒ නිසා සජීවී සංගීතය තමයි මම විශ්වාස කරන්නේ. ඒක තමයි නියම සංගීතය. ඒකයි නියම දක්ෂතාවය. අපි සංගීතය භාවිත කරන්න ඕන ජනතාව අභිප්‍රේරණය කරන්න. එහෙම නැතුව මානසිකත්වය වට්ටන්න නෙමෙයි. ඒ නිසා හොඳ සංගීතමය නිෂ්පාදන හරහා තමයි මේ පෙළඹවීම සිදුකරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි මට මගේ සංගීතය හරහා ජනතාවට කතා කරන්න ඕනවෙලා තියෙන්නේ.