Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා
මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ සහ නිර්මාණකරණයේ ප්රබලයෙකු වන කැලුම් පාලිත මහීරත්න යනු සියත නාළිකාවේ වත්මන් අධ්‍යක්ෂවරයාය. කලක් නිහඬව සිටි සියත නාළිකාව කැලුම් පාලිත යටතේ සුවිශේෂී ප්රබෝධයකින් යළි නැගී සිටීම ආරම්භ (රී ලෝන්ච්) පෙරේදා (15දා) සිදුකෙරුණු පසුබිමක එහි ඉදිරි සැලසුම් පිළිබඳ ඔහු සමගින් කතාබස් කරනට 'අද'ට ඔහු කැඳවාගතිමු.
Q සියතට වුනු අලුත් වෙනස මොකද්ද?
මාස ගණනක් තිස්සෙ සැලසුම් කරලා අපි උත්සාහ කරනවා 'සියත' ලංකාවේ පවතින හිඩැස පුරවන්න පුළුවන් නාළිකාවක් විදියට අරන් එන්න. වටිනාකමින් පිරි ටෙලිවිෂන් නාළිකාවකට මේ වෙලාවෙ ඉඩකඩ තියෙනවා. වටිනාකමින් පිරි යන්නෙන් මම අදහස් කරන්නෙ වැලිව්ස්වලින් පරිණත වුණු රූපවාහිනියක් යන්නයි. එවැන්නක් ලංකාවට අවශ්‍යයි. මේ වනවිට අපි දකින්නේ එක විදියේ රූපවාහිනී කලාවක්. එය බිඳදමා ප්‍රේක්ෂකයාට සාධාරණයක් ඉෂ්ට කරන්න අපි ප්‍රබල උත්සාහයක් ගන්නවා.
තාක්ෂණික වශයෙන් විශාලතම ඉදිරි පිම්මක් තබා මේ නාළිකාව 4K තාක්ෂණයෙන් සන්නද්ධ කරනවා. නමුත් ලංකාවේ තවම එම තාක්ෂණයෙන් රූපවාහිනී බලන්න බෑ. හැබැයි මෙය ඩිජිටල් වෙලා එනකොට ඒ මොහොතේ සිට 4K තාක්ෂණයෙන් ජනතාවට රූපවාහිනිය ගෙන එන්න පුළුවන් තත්ත්වයට අපි පත් කරගෙන යනවා සහ අපි බලාපොරොත්තු වෙන දේ තමයි ප්‍රේක්ෂකාගාරය රූපවාහිනිය හරහා පෝෂණය කිරීම.
Q ඔය කියන ප්රේක්ෂකාගාර පෝෂණය වෙන්නෙ කොයි විදියටද? හැමෝම එන්නෙ ඔහොම කියාගෙන. හැබැයි ආපහු කරන්නෙ තියෙන දේ කරකවන එක නේද?
ඔව්. අපි උදාහරණයක් විදියට ටෙලි නාට්‍යයක් ගනිමු. ටෙලි නාට්‍යයක අන්තර්ගතය ගැන අපි සෑහෙන්න වද වෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් අපි එක්තරා කාලෙක 'දූ දරුවෝ' බැලුවා, දඬුබස්නාමානය බැලුවා, ඒවායින් අපි යමක් උකහා ගත්තා. වෙදහාමිනේ අපි ඇතුළෙ තවම ජීවත් වෙනවා. මේ මිනිස්සු ඇතුළෙ ජීවත් වෙන මිනිස්සුන්ට යම් වටිනාකමක් හදල දෙන්න පුළුවන්, මිනිස්සුන්ට යම් පණිවුඩයක් අරගෙන යන්න පුළුවන් ටෙලි නාට්‍යයක් තමයි අපි කළොත් කරන්නෙ.
අපි මේ දවස්වල ජනාධිපති ලේකම් කාර්යාලයේ අවශ්‍යතාවක් මත මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ටෙලි නාට්‍යයක් නිර්මාණය කරනවා අපේ පළමුවෙනි ටෙලි නාට්‍යය විදියට. 'විහාරා' යනුවෙන් නම්කර තිබෙන මේ ටෙලි නාට්‍යයට තේමා වන්නේ මත්ද්‍රව්‍ය භාවිතය හරහා සිදුවන ව්‍යසනයයි. මේ නිර්මාණයේ ඇතුළාන්තයෙන් දුවන දේශපාලනය තමයි මත්ද්‍රව්‍ය භාවිතය තුළ මේ රටේ තිබෙන ව්‍යසනය. එය අපි ආකර්ෂණීය සහ වශීකෘත ලෙස කරන ලද ටෙලි නාට්‍යයක් විදියට තමයි පිටපතේ සිට සකස් කර තිබෙන්නෙ.
අපිත් ටෙලිනාට්‍ය තමයි හදන්නෙ. මේ හදන ටෙලිනාට්‍ය ඇතුළෙ කොයිතරම් මහ ජනතාවට යමක් කියනවද? හැම තැනම දකින ටෙලිනාට්‍යවල අපි දකින්නෙ ක්‍රෝධය වෛරය ගැටුම් ආදියයි. මාකට් එක අල්ලාගැනීමට අවශ්‍ය දේවල්නෙ කරල තිබෙන්නෙ. ඒවා යම් ප්‍රමාණයකට අවශ්‍යයි. ඒවා නැතුව අපට මාකට් එක දිනාගන්න බෑ. නමුත් එයම ප්රමුඛ කර නොගෙන, ඉන් ඔබ්බට ගිය වටිනාකම් තමයි අපි ඉස්මතු කරන්නෙ.
සංගීත වැඩසටහන් ගත්තොත්, අපේ බොහෝ වටිනා සම්පත් මේ රටේ තිබෙනවා. ගායක ගායිකාවන් ඉන්නවා. නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ඔවුන් කොහොමද නැවතත් රූපවාහිනී මාධ්‍යයට එකතු කරගන්නෙ. ලංකාවෙ ඉඳපු හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරුන්ට වැඩ නෑ. ඔවුන්ට එක්ලක්ෂ විසිපන්දහසට ටෙලිනාට්‍ය කරන්න බෑ. එවැනි මිලක් නියම වුණාට පස්සෙ ඔවුන් මේ මාධ්‍යයෙන් ඉවත් වුණා. ඒ නිසා රූපවාහිනී මාධ්‍ය ඇතුළෙ කොහොමද ඔවුන් එකතු කරන්නෙ කියා සොයා බැලිය යුතුයි. මතුපිටින් හැමෝම කරන දේ තමයි අපිත් කරන්නෙ. නමුත් එහි අන්තර්ගතය සපුරා වෙනස්.
Q ආකෘතිය ගත්තොත් මොන විදියටද එය පෙළගස්වන්නෙ?
ආකෘතිමය වශයෙන් අපි බරපතළ උත්සාහයක යෙදෙනවා දේශීය දේවල් නවීකරණය කර ඉදිරිපත් කරන්න. ඉන් අදහස් වෙන්නෙ ගතානුගතික ටෙලිනාට්‍යයක් කරනවා කියන එක නෙවෙයි. දේශීයත්වයට ගරු කරමින්, දේශීයත්වය නවීන තාක්ෂණය සහ නවීන තලයේ ටෙලිවිෂන් හැඩතල එක්කර නිර්මාණ කරන්නයි අපේ මූලික උත්සාහය.
අපි ලංකාවෙ තියෙන සමීක්ෂණ ආයතන තුනකින් විශාල පිරිවැයක් දරා සුවිශේෂී සමීක්ෂණ වාර්තාවක් ලබාගත්තා මොන විදියේ රූපවාහිනියක අවශ්‍යතාවක්ද රට ඇතුළෙ තිබෙන්නෙ, මොන විදියෙ ඉල්ලුමක්ද ප්‍රේක්ෂකාගාරයේ තිබෙන්නෙ, ඇයි මේ ප්‍රේක්ෂකාගාරය ඉල්ලන දේ සපයන ප්රේක්ෂකාගාරයක්ද නැතිනම්, අපට ඕන දේ දීලා ප්‍රේක්ෂකාගාරය වල්මත් කරවන ක්‍රියාවලියක්ද තිබෙන්නෙ කියන දේ බලන්න.
මෙන්න මේ බරපතළ සමීක්ෂණය පසුගිය කාලය පුරාම අපි සිදු කළා. මේ සමීක්ෂණ වාර්තා මත සිටගෙනයි අපි වැඩසටහන් හැදුවෙ. එනිසා තමයි අපි කිව්වෙ අපට විද්‍යාත්මක පසුබිමක් සහ සාධනීය කාරණා කිහිපයක් එක්ක තමයි මේ වැඩසටහන් සැලැස්ම හදන්නෙ කියලා. හරි අඩිතාලමක් දාගත්තොත් එහි පිපිරීම් ඇතිවෙන එකක් නෑ. එතන ඉඳගෙනයි අපි සියලුම ආකෘතීන් නිර්මාණය කළේ.
Q ප්රේක්ෂකයො ඉල්ලන දේවල්, හින්දි/ඉංග්‍රීසි චිත්‍රපට, රියලිටි වැඩසටහන් ආදියත් එහි තියෙන්න ඕනනේ?
රියලිටි අපි කරන එකක් නෑ. නමුත් බ්ලොක්බස්ටර් වර්ගයේ හොඳ හින්දි හා ඉංග්‍රීසි චිත්‍රපට අපි පෙන්වනවා. එය ලෝකයේ ඉතාම වේගයෙන් මිනිස්සු වැලඳගන්න නිර්මාණ. එතනින් අපි ගැලවෙන්නෙ නැහැ.
Q කලින් කිව්ව දේශීය කතාවත් එක්ක ඕක ගැළපෙන්නේ නැහැ නේද?
දේශීයකරණය කරනවා කියල නෙවෙයි මම කිව්වෙ. දේශීය වශයෙන් අපි කරන දේවල් හරහා මිනිස්සුන්ගේ සිතුම් පැතුම් කොහොමද පෝෂණය කරන්නෙ යන්නයි මගේ උත්සාහය. එහෙම නැතුව සියල්ලෙන්ම ගැලවිලා උඩුගං බලා යන්න තරම් මේ රට ඇතුළෙ අපි පොහොසත් නෑ. නමුත් අපි 75%ක්වත් සමාජ මෙහෙවරක් අපි කරනවා. විදේශීය බ්ලොක්බස්ටර් වර්ගයේ චිත්‍රපටවල ගත යුතු දේවල් නෑ කියල කාටවත් තර්ක කරන්න බෑ. විදේශීය චිත්‍රපට හා විදේශීය නිර්මාණවල අපට ගත යුතු බොහෝ දේ තිබෙනවා. අඩුම තරමේ අපට ඉහළ රසවින්දනය, ඉහළ තාක්ෂණය තිබෙනවා. අපි උත්සාහ කරන්නෙත් මේ ඉහළ තාක්ෂණය සහ ඉහළ වපසරියෙන් යුත් ජාත්‍යන්තර දේ නාළිකාව තුළට ගෙන ඒමටයි.
Q ලංකාවේ මේ වෙලාවෙ ජනප්‍රිය වෙලා තිබෙන හින්දි සහ කොරියානු ටෙලිනාට්‍ය හඬ කවා විකාශය කිරීමක් සිදු වේවිද?
අවංකවම මට සතුටක් තිබෙනවා අපේ පාලනාධිකාරිය තරයේ විරුද්ධයි පටන්ගන්න තැන ඉඳලම හඬකැවීම්වලට. මේවට විරුද්ධව හන්දි ගානේ පහුගිය කාලෙ යකා නටපු මිනිහෙක් මං. විදෙස් ටෙලිනාට්‍යවලට බද්දත් වැඩි කරගෙන බැරියර් ටිකක් දාගෙන තිබෙනවා. නමුත් එය යම් ප්‍රමාණයකට ප්‍රමාද වෙලා. යම් තැනකට අපි මේක තල්ලු කරලා. අපි 99.9%ක්ම එතනින් ගිලිහිලා කියලා හිතාගන්නකො.
Q සියත ගලාගෙන ආව විදියක් තිබෙනවා. ඒ තිබුණු වැඩසටහන් ආපහු මේකෙ පේනවාද?
සියත පටන්ගෙන මාස හතරක් ඇතුළත සියත ඇවිත් තිබුණා හතරයි දශම ගණනක රේටින්ග් එකකට. එහෙම රේටින් එකකට එනවා කියන්නෙ එම ආකෘතිවල ප්‍රබල හේතු සාධක තියෙන්න ඇති. ඒවා පරිශීලනය කරද්දි ඒවයෙත් තිබුණ හොඳ වැඩසටහන් කිහිපයක් යළි ප්‍රතිනිර්මාණය කරන්න සූදානම්. ඒවා වටිනා සහ යහගුණයෙන් පිරි වැඩසටහන්. ඒවා එලෙසම යළි ප්‍රතිනිර්මාණය කරනවා.
Q වෙනත් නාළිකාවල ඉඳපු අය ඇදලා ගත්ත තැනක් විදියට පහුගිය කාලෙ 'සියත' ප්‍රසිද්ධ වුණානෙ. ඒ අය අරගෙන මොකද කරන්නෙ?
ඇදල ගත්තෙ නෑ. ඔවුන් ඇදිල ආවා. එයට හේතුව තමයි මේ හැම නාළිකාවකම බොහෝ නිර්මාණකරුවන්ට බරපතළ නිර්මාණ තෙරපීමක් තිබුණා. ඔවුන්ගේ දේවල් එළියට දාගන්න බැරි, ආයතන ප්‍රධානීන් කියන දේ පමණක් කරන, ඔවුන්ගේ නිර්මාණවලින් හෙම්බත් වෙච්ච පරිසරයකයි ඔවුන් ජීවත් වුණේ. එහෙම ඉන්න වෙලාවක තමයි මම මේ ආයතනය ගොඩනැගුවේ.
එහෙම ඉඳපු අයට අපිත් එක්ක කතා කළාම යම් උද්දීපනයක් ඇති වෙන්න ඇති. මූ යමක් කරන්න හදනවා. ඒකට ඉඩකඩ තිබෙනවා. මෙතනත් එක්ක පෙළගැසෙනවා කියලා. ඒවා හැමෝම ගත්ත අවදානම්. හැබැයි මේ වෙනකොට ඔවුන්ට දැනිල තිබෙනවා ඔවුන් ගත්තෙ අවදානමක් නෙවෙයි ඔවුන් ගත්තෙ හරි තීරණයක් කියා. එනිසා ආපු හැමෝටම විශාල ඉඩකඩක් දීල තිබෙනවා ඔවුන්ගේ නිර්මාණ හැකියාව කොතෙක්ද යන්න අපට ඉදිරිපත් කරන්න. ඒ තුළ තිබෙන හොඳ දේවල් ටික අපි නාළිකාව තුළට ගෙන එනවා.
අපි ජීවිතේ ඇතුළෙ වෙනස්කම් හොයනවා. ඒ වෙනස්කම කොයිතරම් සුබවාදීවද හොයන්නෙ කියනෙකයි ප්‍රශ්නෙ. මේ ආපු පිරිස එවැනි පිරිසක්. එයින් සමහරුන්ට රිදිලත් ඇති. කල්පනා කරන්න ඕන ඒ ගොල්ලොත් කරපු දේවල්වල සමහර විට දිට්ඨධම්මවේදනීය කර්මත් බලපාන්න ඇති කියල.
Q ඔබ කිව්ව දෙයක්නෙ මිනිස්සුන්ගෙන් අදහස් ගත්ත කියල ඇත්තටම මිනිස්සු කැමති කොයිවගේ රූපවාහිනියකටද?
ලංකාවෙ මිනිස්සු බලාපොරොත්තු වන රූපවාහිනිය ඉතා පැහැදිලියි. ඔවුන් බලාපොරොත්තු වෙන්නෙ ඔවුන්ට වටිනාකමක් දෙන ඔවුන්ට යමක් ඉගෙනගන්න පුළුවන් රූපවාහිනියකටයි. 'දූ දරුවො', 'දඬුබස්නාමානය', 'වෙද හාමිනේ' ආදි අවුරුදු 25කට කලින් පෙන්නපු ටෙලි නාට්‍යයක් ගැන මිනිස්සු තාම කතා කරනවා. මේ අවුරුදු 25 තුළ අපි මොනවද කරල තියෙන්නෙ.
අලුතින් කරපු දෙයක් ගැන මිනිස්සුන්ගේ මතකය කෝ. තාම රියලිටි ෂෝ එකක සින්දු කියන්නෙ මිල්ටන් මල්ලවාරචිචිගෙ, ජෝතිපාලගෙ, ඇන්ජලින්ගෙ, ලතා වල්පොළගෙ ගීත. කෝ නවකයන්ට කියන්න අලුත් පරම්පරාවෙ ගීතයක්. අන්න හොයන ටෙලිවිෂන් එක. ටෙලිවිෂන් එක හොයනවා කියල දූ දරුවො කරනවා කියනෙක නෙවෙයි.
ඒක කොහොමද වර්තමානයට ගෙනැල්ලා ඔවුන්ව සංතෘප්ත කරන රූපවාහිනියක් හදන්නෙ යන්නයි මින් අපි අදහස් කරන්නෙ. එයින් කියන්න බැහැ තාම පරණ ගතානුගතික ප්රේක්ෂකාගාරයකයි ඉන්නෙ කියල. හැබැයි ඔවුන්ට තාම ලැබුණෙ නෑ එතනින් ඔබ්බට ගිය රූපවාහිනියක්. ඒකයි මේ ප්රශ්නය.
හින්දි සිනමාවෙ ආරාධනා වගේ පැරණි චිත්‍රපට මේ කාලෙ ඉල්ලන්නෙ නෑනෙ. හින්දි නිර්මාණකරුවො අද වනවිට නිර්මාණකරණය හොඳ තැනකට රැගෙන ගොස් තිබෙනවා. ඔවුන් අද කරන දේවල් දැක්කාම විස්මිතයි. අපි තාම එහෙම විස්මිත දේ කරලා නැහැනෙ. තාම අපි නිධානය බලන්න ආසයිනෙ. ගම්පෙරළිය බලන්න ආසයිනෙ. ඇයි ආස? තාම අපට එතනින් ගැලවෙන්න බැරිවෙලා.
Q ඒකද? නැත්නම් මිනිස්සු අතීත කාමයත් එක්ක ජීවත්වෙන මානසික මට්ටමේ ඉන්න නිසාද?
ප්‍රේක්ෂකාගාරයේ වැරැද්ද නෙවෙයි. ප්‍රේක්ෂකාගාරය අපි නිසි පරිදි අරන් ආවෙ නෑ වර්තමානයට. ඔවුන් නිසි තැන තිබ්බෙ නෑ. ඔවුන් ආස දේ නෙවෙයි අපි දුන්නෙ. හරවත් දේවල් නොදීම තුළ තාමත් පරණ දේට කැමතියි. අලුතෙන් ආපු කිසිම දේක වටිනාකමක් දැනුණෙ නෑ. ඔවුන්ව කීද්දුවෙ නෑ. එදිනෙදා ජොලියට බලලා ඉවත දැම්මා. එක නමක් කියන්නකො මෑත කාලෙ වෙච්ච සුවිශේෂී නිර්මාණයක.
Q ඔබ නැහැ කිව්වට ටෙලි සම්මාන උලෙළවල සම්මාන දහය පහළොව ලැබෙන ටෙලි නාට්‍ය තිබෙනවානෙ. එහෙම කොහොමද සිදුවෙන්නෙ?
ඒක මාෆියාවක්නෙ. ටෙලිනාට්‍ය දානකොටම දන්නවනෙ කාටද දෙන්නෙ කියා. උදාහරණයක් හැටියට කියන්නම් සමහර සම්මාන උලෙළවල් තිබෙනවා සමහර නාළිකාවලට සම්මාන දෙන්නෙම නෑ. සමහර සම්මාන උලෙළවල ඒ නාළිකාවෙ නමවත් නෑ. ඒ නාළිකාව නාට්‍ය පෙන්නල නෑ, ප්රවෘත්ති විකාශය කරලා නැහැ, මුකුත් කරලා නැහැ. ඒ සම්මාන උලෙළවල් හරිද? සම්මාන උලෙළවල් කියන්නෙ වාණිජ පරමාර්ථ උදෙසා කරන දෙයක්නෙ.
ඔය නිසයි අපි සටන් කළේ චිත්‍රපට වෙනුවෙන් සරසවිය සම්මාන උලෙළ, ජනාධිපති සම්මාන උලෙළ කරන්න ඕනි කියලා. ඒවා රාජතාන්ත්රිකයි. සම්මාන උලෙළවල් පෞද්ගලික ආයතනවලට ගියාම ඔය සූදුව සිද්ධ වෙනවා. මේක සූදුවක් වෙලා තියෙනවා. මේ සූදුවෙන් ලැබෙන සම්මානය අරගෙන අපිත් නාළිකා ප්‍රධානීන් විදියට සම්මානය උඩ දාගෙන අපට සම්මාන විස්සක් ලැබුණා කියා පම්පෝරි ගහනවා. මෙය තනිකර පුස්සක්නෙ. සම්මානයක් ගත්තාම සමහරු බණිනවා. නමුත් ඒ සම්මානය හරි නම් 75%ක්වත් හොඳ කියන්න ඕන. සමහර සම්මානවලට 10%ක්වත් හොඳ කියන්නෙ නෑ. සියයට අනූවක්ම බණිනවා.
සම්මාන උලෙළ කියන්නෙ බංකොළොත්ම ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරකරුවන්ට ඒක ඉල්ලමක්. මොකද අවුරුද්ද පුරාම ආකර්ෂණය කරගන්නවා. ඔවුන්ගේ වෙළෙඳ නාමය නාළිකාව පුරාම වපුරනවා. අනියම් විදියට සන්නාමය මිනිසුන් අතරට රැගෙන යනවා. ලබන අවුරුද්දේ සියත නාළිකාවෙන් තමයි ඔවුන්ගේ නම කියවගන්න ඕනි කියලා ඔවුන් හිතුවොත් එවිට ඔවුන් අපට සම්මාන විස්සක් විතර දෙයි. දීලා අපට කියල නම කියවගනියි.
Q ඔය විදියට ගත්තාම රේටින් කියන්නෙත් සූදුවක් නෙ?
ඔව්. නමුත් ප්රශ්නය තිබෙන්නෙ වෙළෙඳ ආයතන ඒ මත තීරණය වීමයි. එය කඩාගෙන බිඳගෙන යන්න කාටවත් බෑ. ලංකාවෙ වෙච්ච හැමදේම සිද්ධ වෙන්නෙ ප්‍රමිතියේ ප්‍රශ්නයක් මතයි. ඒ නිසා මේවාට හරි ක්‍රමවේද හදලයි කරන්න ඕන. හැමදේම ආර්ථිකය මත ජීවත්වෙන අපට සහ මේ කයිවාරු ගහන මටත් සිද්ධ වෙයි යම් මොහොතක එතෙන්ට නැමෙන්න. ඒක වෙන කාරණාවක්. නමුත් අපි උත්සාහ කරනවා මේ කාරණාවත් බේරගෙන ප්‍රේක්ෂකාගාරයට යම් සාධාරණයක් ඉෂ්ට කරන්න.
Q රේටින්වල මේ වෙලාවේ සියත ටීවී එක ඉන්න අංකය මොකද්ද?
මෙය 100%ක් කියන්න බැරි වුණත් කොළවලින් දැක්කා එක්තරා නාළිකාවකට උඩින් ඉන්නවා.
Q මං අහන්නෙ දැන් කොතනද ඉන්නෙ ?
අපි ඒ රේටින් එක බලන්නෙ මේ එළිදැක්වීමෙන් පසුවයි.
Q හරි, පහුගිය අවුරුදු ගණනකදී ප්‍රමෝෂන් එකකටවත් සත පහක්වත් වියදම් නොකරපු නාළිකාව එකපාරට කොහොමද මහා ලොකු වැඩ කරන්නෙ? මහා ලොකු එළිදැක්වීම් කරන්නෙ? මහා ලොකු සෙනග ගන්නෙ? මොකද්ද මේ සිද්ධ වුණේ?
මහ ලොකු වැඩ කරන්නැතුව මහ ලොකු ව්‍යාපාර කරන්න බෑ.
Q හීනෙන් අවදි වෙලා වගේ එකපාරට මෙහෙම දේවල් කරන්නෙ කොහොමද ? මින්ස්සු කියන කතා එක්ක යටින් ගැළපිල්ලක් තියෙනවා නේද?
ඔබ කියන්නෙ බැඳුම්කර කට්ටිය අපට සල්ලි දාල කියලනෙ. එය තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපට එහෙම සල්ලි දාල නෑ. ව්‍යාපාරිකයෙක් අත සල්ලි තියෙන්නෙ කොහොමද යන්න ව්‍යාපාරිකයා සතු කාරණාවක්. ඔවුන් යම් කාලයක දැඩි දේශපාලන හස්තයකට යටත් වෙලයි හිටියෙ. ඔවුන් ඒ කාලෙ ගත කරන්න ඇත්තෙ, කොහොමද ජාමේ බේරගෙන මේ දවස් ගත කරන්නෙ කියලයි. මාධ්‍යකරුවො විදියට අපිත් යම් කාලවල කට පියන් හිටියනෙ.
කටපියන් හිටියෙ තාඩන පීඩනවලට බයේ සහ සුදු වෑන් එකකට ගොඩවෙන්න බයේ. පසුකාලීනව නාළිකාව තුළ ඕලාරික බව තියෙන්න ඇත්තෙ මේ පීඩනය නිසයි. දැන් නව රජයත් එක්ක මිනිසුන්, මාධ්‍ය නිදහස් වුණා. දැන් ඔවුන් ව්‍යාපාරය වෙනුවෙන් ඔවුන් ආයෝජනය කරනවා. එලෙස ආයෝජනය කරන්න මුදල් ඔවුන් ළඟ තියෙන්න ඇති. නිශ්විත වෙලාව එනතුරු ඔවුන් බලා ඉන්න ඇති. දැන් අහස පැහැදිලියි. ගුවන් තරංග අහසේ යවන්න කාලය කියා ඔවුන් හිතන්න ඇති, එච්චරයි. මේවා වංචනික මුදල් නෙවෙයි කියල නම් මම පැහැදිලිව කියනවා.
ඡයාරූප - ක්‍රිෂාන් රණසිංහ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd