'බටහිර වෙරළ නිදහස්', 'නැගෙන හිරු', 'මරාගෙන මැරෙන කොටි', 'භූතයාට මැදි වූ කෘෂි කර්මාන්තය' වැනි ග්රන්ථ රචනා කළ චමින්ද සේනාරත්න කලක සිට මාධ්‍ය ක්ෂේත්රය තුළ කටයුතු කරන්නෙකි. ඔහුගේ නවතම ග්‍රන්ථය වන 'ප්‍රවාහනයේ මග' යන ග්‍රන්ථය හෙට (22දා) පැවැත්වෙන ලංකා වාහන හිමිකරුවන්ගේ සංගමයේ වාර්ෂික සම්මේලනයේදී එළිදැක්වීමට නියමිතය. මේ කතාබහ ඔහු සමගය.
Q 'ප්‍රවාහනයේ මග' නමින් ග්රන්ථයක් සමාජගත කරන්න හිතුවේ ඇයි?
මෙවැනි ග්රන්ථයක් රචනා කරන්න මට ආරාධනා කළේ ලංකාවේ වාහන හිමිකරුවන්ගේ සංගමය. එහි හිටපු ලේකම් ආසිරි ගයාන් මෙරිංචිගේ කළ ඉල්ලීමට තමයි මේ පොත රචනා කරන්න මම යොමු වෙන්නේ. මේ වනවිටත් ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්රය ආරම්භ වුණේ කොහොමද කියලා ලිඛිත සාක්ෂි නැහැ.
එහෙත් මොරටුව විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන පාඨමාලාවක විෂයයක් ලෙසත් මෙය තිබෙනවා. එය හදාරන අයටත් ලිඛිත කරුණු අඩුයි. පහ වසරේ ශිෂ්‍යත්වයට පෙනී ඉන්න ශිෂ්‍යයන්ට වුණත් ප්‍රවාහනය ගැන ඉගෙනගන්න තියෙනවා. එහෙම ඉගෙනගන්න යොමු වුණාට මේ ගැන තිබෙන පොත්පත් අඩුයි. ඒ හේතු නිසාම තමයි මෙවැනි ග්රන්ථයක් රචනා වෙන්නේ.
Q එවන් තත්ත්වයකදී මෙවැනි ග්රන්ථයක් රචනා කිරීමට මූලාශ්‍ර සොයාගන්නේ කෙලෙසකද?
මම මේ වැඩේ බාරගත්තට පස්සෙ තමයි මෙය කොතරම් අසීරු කටයුත්තක්ද කියන එක හොඳින්ම තේරුණේ. මම මුලින් කිව්වා වගේ මේ ගැන හදාරන්න මූලාශ්‍ර නෑ. පෘතුගීසි ලන්දේසි කාලයේ අපේ ප්‍රවාහනය අඩි පාරවල් ලෙස තමයි පැවතුණේ. ඒ කාලෙ දෝලාව භාවිත කර තිබෙනවා.
ඉංග්‍රීසි යුගයේ තෝමස් ස්කිනර් යන නිලධාරියා යටතේ බ්රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ කාලයේදී තමයි මාර්ගවල විකාශය වීම ආරම්භ වුණේ. ආණ්ඩුකාරවරුන් වගේම ඔවුන් යටතේ හිටපු සමීප නිලධාරීන් ලියූ ග්‍රන්ථවල පරිවර්තන පමණක් ලිඛිත සාක්ෂි ලෙස තියෙනවා. එහිත් දෝලාවෙන් ගමන් කළා, අශ්වයා පිට ගියා වැනි දේවල්වල සඳහනක් පමණයි තියෙන්නේ. ඒ පරිසරය තුළ සිදුවීම් පමණයි තියෙන්නේ.
උදාහරණයක් විදිහට උඩරට ගිවිසුම ගහන්න යද්දි මහවැලි ගඟෙන් එගොඩ විය නොහැකිව දින කිහිපයක් ඉංග්‍රීසි හමුදාවට ඉන්න සිදුව තිබෙනවා. පසුව උණ බට උපයෝගි කරගෙන පාරුවක් නිර්මාණය කර එගොඩ වෙනවා. පසුව මාර්ග නිර්මාණයේදී මහනුවර කටුගස්තොට පාලම නිර්මාණය කරන්නේ බුරුත ලීයෙන් බව. එවැනි සිමිත තොරතුරු කිහිපයක් පමණයි තිබිලා තියෙන්නේ.
එකල අශ්ව කෝච්චිය තිබිලා තියෙනවා. අශ්වයෙක් බැඳ යන කරත්තයට තමයි ඔවුන් ඒ නම සඳහන් කරලා තියෙන්නේ. එසේ නම් ආසියාවේ ප්‍රථමයෙන්ම අශ්ව කෝච්චිය ආරම්භ වී තිබෙන්නේ ලංකාව තුළ. ටැන්ක්, රික්ෂෝ පසුව තමයි කෝච්චිය දක්වා එය විකාශය වෙන්නේ. මෙයට අදාළ තොරතුරු සොයන්න බොහෝ වෙහෙස මහන්සි වෙන්න සිදුවුණා. පරිවර්තන විශාල සංඛ්‍යාවක් කියවන්න සිද්ධ වුණා. නොකඩවා හය මසකට වැඩි කාලයක් මට මේ සඳහා වෙහෙස වෙන්න සිද්ධ වුණා.
Q එලෙස වෙහෙස මහන්සි වී ඔබ රචනා කළ ග්‍රන්ථයේ අන්තර්ගතය ගැන කතා කළොත්?
මෙම ග්‍රන්ථය තුළ ලංකාවේ මුල්ම රේල් පාර ඇති වීමේ සිට වර්තමානයේ හයිවේ මාර්ග ඇති වීම දක්වා ලියැවී තිබෙනවා. ඒ වගේම වාහන ගැන කතා කළොත් 1902 දී තමයි ලංකාවට මුලින්ම වාහනයක් ගෙනැවිත් තිබෙන්නේ. ඒ වාහන ලියාපදිංචි කර තිබෙන්නේ කෙලෙසකද යන කාරණාව පවා මම මෙහි සඳහන් කර තිබෙනවා. ඒ වගේම වාහන කාණ්ඩ අනුවත් බෙදා දක්වා සඳහන් කර තිබෙනවා.
ලංකාවට කාර්, බස්, වෑන් කොතරම් ගෙනත් තිබෙනවාද කියන දේ සඳහන්ව තිබෙනවා. ඒ සිට අද පවතින ඉලෙක්ට්‍රික් වාහනය දක්වාම සඳහන් වෙනවා. ඉදරියේදී වායුවෙන්, ඔක්සිජන්වලින් ධාවනය වන වාහන ගැන පවා සඳහන්ව තිබෙනවා. ඒ වගේම තවත් රසවත් සිදුවීම් මම මේ ග්‍රන්ථය තුළින් ගෙන එනවා. ඉන් එකක් තමයි එංගලන්තයේ සිට රටවල් ගණනාවකට වාහන පැදවූ මිනිසෙක් මට හමුවුණා.
ඔහු ව්‍යාපාරිකයෙක්. දින 28 ක් තිස්සේ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ඉරාකය, පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව හරහා ලංකාවට එනවා කිලෝමීටර් දහඅටදහස් දෙසීයක පමණ දුරක් ගෙවා. එය හොඳ අත්දැකීමක්. ඒ අත්දැකීම ගැන රචනා කර තිබෙනවා. ඒ වගේම 1906 දී කරත්තය තමයි ප්‍රවාහනය සඳහා යොදාගත්තේ.
කරත්ත ප්‍රවාහනයේදී බෝන්ලීය තුළ ඉඳගෙන යන්න එපා කියලා හිරිගුරේ කියන නගරාධිපතිවරයා තහංචියක් ගෙනාවා. එලෙස තහංචි කරන්න හේතුව බොරුවට බෝන් ලීයේ ඉඳගෙන නඩු දානවාට ශත 50 යි. නඩුවට නොගිහින් රුපියල් 02 ක අල්ලස් දීලා බේරෙනවා.
හේතුව කුලී කරත්තකරුවෙක් ශත 85 යි දවසකට උපයන්නේ. මුළු පවුල වෙනුවෙන්ම ශත 85 තියාගෙන, එකතු කළ රුපියල් 02 ක් දෙනවා. අවසානයේ ඔවුන් වර්ජනයක් කරනවා. කරත්ත මුළු කොළඹටම පැමිණෙනවා. පසුව සත්‍ය කතාව මම දැනගන්නවා. ඒ දේවල් මෙම ග්‍රන්ථය තුළ සඳහන් වෙනවා. හරවත් මෙන්ම රසවත් සිදුවීම් මෙම ග්‍රන්ථයේ අන්තර්ගත වෙනවා.
Q ඒ වගේම මාර්ග ඉදිකිරීම නිසා සිදුවන පාරිසරික විනාශයන් ගැන අපි අද කතා කරනවා?
ඒ කාලෙත් මාර්ග පද්ධතිය ඉදි කිරීමේදී පරිසරය විනාශ වුණා. ඒ දිනවල ත්‍රිකුණාමලයට දෝලාවෙන් යන්න දින 21ක් ගතව තිබෙනවා. එහෙත් අද පැය හතරක ගමනක්. විනාශය අවම කරගෙන යාම තමයි බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ යුතුකම.
උදාහරණයක් සඳහන් කරන්නම්, තෝමස් ස්කිනර් සඳහන් කරනවා කම්කරුවන් 200ක් සමග වරකාපොළින් පාර කපාගෙන කඳු අහුවුණාම සඳහන් කරනවා නැවත පැමිණෙන බව. මට ඉගෙනගන්න සිදුවුණේ වැඩ කරන ගමන් කියලා. එහිදී මට අතපසු වීම් වුණා කියනවා. එදාට වඩා අද තාක්ෂණය දියුණුයි. ඒ අතපසු වීම් අවම කළ හැකියි.
0718 573 815
ඡායාරූප - ඉසුරු පෙරේරා