සංවේදී තනුවකට ලියැවුණු අසංවේදී ගීතය හෙවත් 'රූපාන්තරණ' මේ දිනවල රීගල් ඇතුළු දිවයින පුරා සිනමාහල්වල සාර්ථකව තිරගත වේ. ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු නිෂ්පාදනය කරන 'රූපාන්තරණ' හි තිර රචනය සහ අධ්‍යක්ෂණය යොවුන් අධ්යක්ෂ නාලක විතානගේ ගෙනි. 'අනිත්‍යා' සිනමා නිර්මාණයෙන් අධ්යක්ෂණයට පිවිසි ඔහුගේ දෙවන නිර්මාණය 'රූපාන්තරණ'යි. අද අපගේ කතාබහ නාලක විතානගේ සමගයි.
-
ඔබගේ දෙවන සිනමා අධ්‍යක්ෂණය 'රූපාන්තරණ' පිළිබඳව මුලින්ම කතාකරමු
"රූපාන්තරණ' කියන්නේ තුන්කොන් ආදරයක් සමග ගැඹුරු යටිපෙළ අරුතක් සහිතව දිගහැරෙන චිත්‍රපටයක්. මතුපිටින් සරල ආදර සංකල්පයක් මත ගොඩනැගුණු චිත්‍රපටයක් වුවත් මෙය තුළ ගැඹුරු කතාවක් තිබෙනවා. මගේ පළමු නිර්මාණය වන 'අනිත්‍යා' ට වඩා 'රෑපාන්තරණ' වෙනස් වෙන්නෙත් මෙම කාරණාව නිසාමයි.
-
චිත්‍රපටයේ ප්‍රධාන චරිත වගේම තාක්ෂණය සම්බන්ධ අනිකුත් කාරණාවලදීත් ඔබ නවකයන්ට මුල්තැන දී තිබෙනවා. ඇයි එසේ කළේ ?
ඒ මොකද මම විශ්වාස කරන දෙයක් තමයි චිත්‍රපට නිර්මාණය ඉදිරියට යාමට නම් අනිවාර්යයෙන් නවකයන්ට අවස්ථාව ලබාදිය යුතුයි. නිරන්තරයෙන් ක්ෂේත්රය තුළට නවකයන් පැමිණිය යුතුයි කියන දේ මම තරයේ විශ්වාස කරනවා.නමුත් 'රෑපාන්තරණ' චිත්‍රපටයේ ප්‍රධාන චරිත සඳහා තෝරාගත් තිදෙනාම මම සම්පූර්ණයෙන්ම මාස හයක් පමණ පුහුණුවීම් වල යෙදෙව්වා. චිත්‍රපටයට අමතරව රංගනය, හඬපාලනය, ආදී සියල්ල කෙරෙහිම අවධානය යොමු කළා. ඒ නිසාම මේ අය අතුරින් කවුරුන් හෝ ඉදිරියට යනවා නම් ඔවුන් යන්නේ දැනුම සහිතවයි. එය තමයි මගේ එකම අරමුණ වුණෙත්.
-
ප්‍රවීණ චරිත ප්‍රධාන චරිත කරගත්තා නම් චිත්‍රපටය ජනප්‍රිය නොවේවි කියා ඔබ සිතුවාද ?
නැහැ, එහෙම දෙයක් නැහැ. ලංකාවේ සිනමා ක්ෂේත්රය තුළ ප්‍රවීණයන් කිහිප දෙනෙක්ම මේ නිර්මාණය තුළ සිටිනවා. නමුත් ප්‍රවීණයන් එකම රාමුවකට කොටු වී චරිත නිරූපණය කිරීමක් මම දකිනවා. එය වෙනස් කිරීමට අවශ්‍ය වූ නිසයි මම මෙවැනි දෙයක් කළේ. ඒ වගේම රූපාන්තරණ තුළ ප්රවීණයන්ගේ චරිතත් වෙනස්ම චරිත බවට පත්කර තිබෙනවා.
-
කලාකරුවන් තුළින් වෙනස් චරිත මතුකරන්නට නිර්මාණකරුවන් අසමත්ද ?
රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් වෙනස් කුසලතා මතුකරගන්නට අපගේ නිර්මාණකරුවෝ උත්සාහ කරන්නේ නැහැ. යම් රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් එක් චරිතයක් ඔස්සේ ජනප්‍රිය වූවා නම් දිගින් දිගටම එම චරිතයට ඔවුන්ව කොටුකරන්නට හදනවා. එවිට ඔවුන්ටත් ඒ දේම සිදුකරන්න වෙනවා. ඒ වගේම ප්‍රවීණයන් හා කරට කර රංගනයේ යෙදීමට පුළුවන් තරුණ තරුණියෝ ඉන්නවා කියල පෙන්නන්නත් අවශ්‍ය වූ නිසයි මම නවකයන් යොදාගත්තේ.
-
ඔබ යොදාගත් නවකයන් චිත්‍රපටයට සාධාරණය ඉටු කළා කියා ඔබ විශ්වාස කරනවද ?
අනිවාර්යයෙන්ම. සියයට සියයක්ම නැති වුණත්, සියයට අසූවක් පමණ ඔවුන් සාර්ථකයි. මොකද ඔවුන්ගේ අත්දැකීම් සමග බලන විට ඔවුන් ඉතා සාර්ථකයි. තමන්ගේ කටයුත්ත උපරිමයෙන් කර තිබෙන බව චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට කියන්න පුළුවන්.
-
'රූපාන්තරණ' තිරගත වී සති කිහිපයක් ගතවෙනවා. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කෙසේද ?
අති විශිෂ්ට ප්‍රතිචාර ලැබෙනවා. ඒ මොකද පසුගිය සතිය පුරාවටම මම ලංකාවේ 'රූපාන්තරණ' ප්‍රදර්ශනය වන සෑම සිනමා ශාලාවකටම ගියා. ඒ හැමතැනකින්ම මට දැනගන්නට ලැබුණේ කාලෙකින් තිරගත වුණු ඉතා හොඳ චිත්‍රපටයක් කියලා. වෙනස් ගණයේ චිත්‍රපටයක් නිසාවෙන් රසික ආකර්ෂණයද ඉහළයි කියා ඔවුන් පැවසුවා.
වර්තමානයේ සිනමාව තුළ චිත්‍රපට නිර්මාණය කිරීමේ රැල්ලක් තිබෙනවා. ඉන් බැහැරව තමයි ඔබ රූපාන්තරණ නිර්මාණය කර තිබෙන්නේ.
-
ලංකාවේ තිබෙන තත්ත්වය සමග මෙවැනි නිර්මාණ හරහා ඉදිරියට යාමට පුළුවන් කියා ඔබ සිතනවාද ?
අනිවාර්යයෙන්ම පුළුවන්. ඒ මොකද අපි නියම නිර්මාණයක් නොකරන නිසා තමයි අද මෙවැනි තත්ත්වයක් ඇතිවෙලා තියෙන්නේ. හොඳ සිනමා නිර්මාණ කිහිපයක් බිහිවුණොත් ඔය රැලි කුඩුවෙලා, සුණු විසුණු වෙලා යනවා. හෙට අනිද්දා වෙනකොට ඔය රජකතා, ඉතිහාස කතා රැල්ලට වෙන්නෙත් ඒ දේම තමයි.
ඒ මොකද ඉතිහාස කතා රැල්ල ආරම්භයේදී ඉතා හොඳ නිර්මාණ බිහිවුණත් එය එන්න එන්නම අනුකරණය කරන්නට යාමෙන් අපි දකින්නේ බාල ගණයේ නිර්මාණ. ඉදිරියට තිරගතවීමට නියමිත ඉතිහාස කතා, චිත්‍රපට සලකා බැලුවහොත් එය ඉතා හොඳින්ම පැහැදිලි වෙනවා. දැන් ඉතිහාස කතා, රජකතා රැල්ල ව්‍යාපාරයක් කරගෙන තියෙන්නේ. නමුත් චිත්‍රපට කියන්නේ ඒ දේ නෙමෙයි. ජනතාව අතරට ගෙන යා හැකි සම්භාව්‍ය, කලා සහ වාණිජ මේ සියල්ල සමබර වූ සිනමා නිර්මාණ ලංකාව තුළ නිර්මාණය විය යුතුයි. එතකොට තමයි සිනමා කර්මාන්තයක් ලෙස තවදුරටත් ඉදිරියට යාමට පුළුවන් වෙන්නේ.
-
සිනමාව යථාර්ථවාදී විය යුතුයි කියා තිබෙනවා. නමුත් රූපාන්තරණ සිනමා නිර්මාණය තුළ අතාත්වික අහඹු සිදුවීම් රැසක්ම තිබෙනවා නේද ?
සිනමාව යථාර්ථවාදී විය යුතුයි කියන කතාව මම විශ්වාස කරන්නෙ නැහැ. සිනමාව කියන්නේ ෆැන්ටසියක්. නමුත් යථාර්ථවාදී දේවල් අපට කතාකරන්න පුළුවන්. මගේ ශෛලිය තුළ මම යථාර්ථවාදී දේවල් කතා කරන අතරතුර මම දකින ෆැන්ටසියත් ප්‍රේක්ෂකයාට දනවන්නට උත්සාහ කරනවා. ඒ නිසා තමයි ඔබ ඔය කියූ දේ සිදුවී තිබෙන්නේ. අහඹු සිදුවීම් වෙන්න බැහැ කියල හිතන දේවල් මා තුළ තිබෙනවා. නමුත් චිත්‍රපටය මුල සිට අගට නැරඹීමේදී කතාව තුළ මේ සියල්ල විශ්වාස කරන්නට ප්‍රේක්ෂකයා පෙළඹෙනවා. නිර්මාණයේ සාර්ථකත්වය කියා මා විශ්වාස කරන්නේ එයයි.
-
ඩිජිටල් තාක්ෂණය ලාංකීය සිනමා ක්ෂේත්රයට හඳුන්වා දීම තරුණ අධ්‍යක්ෂකවරුන්ට කුමන ආකාරයෙන් බලපායි කියා ඔබ සිතනවාද ?
මේ වනවිට රූපගත කිරීම් ආදී සියල්ල ඩිජිටල් තාක්ෂණයෙන් සිදුකළත් සිනමාහල් තවමත් ඩිජිටල්කරණය වී නැත්තේ. මෙම පිටපත් ක්‍රමය නිසා ලංකාවේ මුදල් විදේශයට ඇදෙනවා. මෙයින් එම තත්ත්වය වළක්වා 50% ක් පමණ වියදම අඩුවනවා. එබැවින් නව නිර්මාණකරුවන්ට එය විශේෂ වාසියක් වේවි සිය නිර්මාණ ඉදිරියට ගෙනඒමට.
-
ඔබගේ ඉදිරි නිර්මාණ කෙබඳු වේවිද ?
ඉදිරියේදී වාණිජ අංශයට බර ෆැන්ටසි චිත්‍රපටයක් කරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම සිනමාව තුළ හොඳ නිර්මාණ හරහා තවත් ඉදිරියට යාමයි මගේ අරමුණ.
අවසාන වශයෙන් කියන්න ඕන රූපාන්තරණ චිත්‍රපටය නිර්මාණය කිරීමේදී ප්‍රවීණයන් සෑමදෙනෙක්ම මට විශාල සහයෝගයක් ලබාදුන්නා. නවකයන් පුහුණු කිරීමට පවා ඔවුන් එක් වූවා. එලෙස උදව් කරමින් මේ නිර්මාණය මේ මට්ටමින් නිමකර ගැනීමට සහයෝගය දුන් සැමට මම මගේ ස්තූතිය පුදකර සිටිනවා. ඒ වගේම රූපාන්තරණ සිනමා නිර්මාණය නරඹා රසවිඳින ලෙසත් සියල්ලන්ටම ආරාධනා කර සිටිනවා.