ලෝකය අලුත් වීම, නව තාක්ෂණය සමාජයට එක්වීම සේම තරුණ පරපුර ඒ වටා රොක් වීමත් ඊයේ, අද මෙන්ම හෙටටත් පොදු කාරණාවකි. ඇතැමුන් මේ පිළිබඳ මැසිවිලි නැගුවද මෙය කිසිසේත්ම වළකාලනු හැක්කක් නොවේ. කළ යුත්තේ ඒ වෙනස හඳුනාගෙන යහපත් අයුරින් ඊට අනුගත වීමය.
අසූව දශකයේ සිනමාව සහ ගුවන්විදුලියට පවා තර්ජනයක් වෙමින් රූපවාහිනිය මේ රටේ ප්‍රබලම මාධ්‍යය බවට පත්වෙද්දී එකල සිටි තරුණ පිරිස් ඒ වටා එක්රොක් වූහ. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී තිබේ. නිරතුරුව ජංගම දුරකථනය සමග ගනුදෙනු කරමින් සිටින වර්තමාන තරුණ පිරිස මේ වන විට රූපවාහිනියෙන් දුරස් වී හමාරය. කාර්යබහුල ජීවන රටාවත් සමග තරුණ පරපුරට පමණක් නොව වැඩිහිටියන්ට පවා නිරතුරුව රූපවාහිනිය හා එක්වීමට කාලයක් නොමැති තත්ත්වයක් මේ වනවිට ගොඩනැගී තිබේ.
ජංගම දුරකථනය වටා සිටින පිරිස ඉන් මුදවා ආලින්දයේ රූපපෙට්ටිය අසල වාඩි කරවීමට ඇතැමුන් තැත් කරද්දී කාලයේ වෙනස වටහාගෙන නිරතුරුව ඊට අනුගත වන ‘Wide Angle’ ආයතනය ‘Dialog TV’ හා එක්වෙමින් රූපවාහිනිය ජංගම දුරකථනයට ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබේ. ඒ ‘රස TV’ ඉදිරිපත් කිරීම මගිනි.
‘රස TV’ තම ජංගම දුරකථනය හරහා නැරඹිය හැකි නාළිකාවකි. පසුගිය 6 වැනිදා එළිදැක්වූ ‘රස TV’ සතියේ දින 7ම පැය 24 පුරා විකාශය වන නාළිකාවක් වීමද විශේෂත්වයකි. ඕනෑම අයෙකුට තමන්ගේ ජංගම දුරකථනය හරහා රස TV නැරඹිය හැකි අතර ඔබ කළ යුත්තේ ‘DIALOG MY TV’ නමැති ඇප් එක තම ජංගම දුරකථනයට බාගත (Download) කොට ඒ හරහා රස TV Search කිරීමය. ඉන්පසු නාළිකාවේ ඕනෑම වැඩසටහනක් Search කර නැරඹීමේ හැකියාව ලැබේ.
මෙය සම්පූර්ණයෙන්ම විනෝදාස්වාදය මුල්කරගෙන බිහි වූ නාළිකාවක් වන අතර නළු නිළි Gossip, නිරූපණ ශිලිපීන් සම්බන්ධ වැඩසටහන්, සංගීතමය වැඩසටහන් මෙහි විකාශය කෙරේ. ටෙලිනාට්‍යය චිත්‍රපට මුහුරත් උළෙල, මංගල දර්ශන, ජනප්‍රිය පුද්ගලයන්ගේ විවිධ උත්සව අවස්ථා ආවරණය කිරීමද මෙමගින් සිදුවේ.
ඊට අමතරව යම් ආන්දෝලනාත්මක වැඩසටහන් සඳහාත් ‘රස TV’ වෙන් වී තිබේ. ‘හෘද සාක්ෂිය’ ඉන් එකකි. කලාව, දේශපාලනය ඇතුළුව සමාජයේ විවිධ ඉසව් තුළින් කතාබහට ලක් වූ, සමාජයට යම් බලපෑම් කළ ආන්දෝලනාත්මක චරිත සම්බන්ධ කරගන්නා ‘හෘද සාක්ෂිය’ උසාවියක පසුතලයෙන් යුතු දර්ශන තලයක ඉදිරිපත් කෙරේ. සුදු හැඳගත් ආරාධිතයා සාක්ෂි කූඩුවක සිටියදී වැඩසටහන ඉදිරිපත් කරන කළු කෝට් හැඳි නිවේදකයා ප්‍රශ්න කරන්නේ නීතිඥයෙකුගේ ස්වරූපයෙනි.
එසේම අංක එකේ නිරූපණ ශිල්පිනියන් සහභාගි කරගන්නා ‘Hot Chat’ තවත් එවැනි සුවිශේෂ වැඩසටහනක් ලෙස හැඳින්විය හැකිය. එහිදී ආරාධිතයාගෙන් අතිශය පෞද්ගලික ප්‍රශ්න පවා අසනු ලබන අතර මේ වන විට මෙම වැඩසටහන් සඳහා ජනප්‍රිය චරිත කිහිපයක්ම සහභාගි වී ඇති අතර, ඉදිරියේදීද එබඳු සුවිශේෂී පුද්ගලයන් ඊට එක්වීමට නියමිතය.
රූපවාහිනිය පොදු මාධ්‍යයක් වුවද සිය පෞද්ගලික ජංගම දුරකථනයෙන් නරඹන හෙයින් ‘රස TV’ පෞද්ගලික මාධ්‍යයක් නිසා මෙවැනි වැඩසටහන්වලදී නිවේදක නිවේදිකාවන් ආරාධිතයාගෙන් සෘජුව සහ විවෘතව ප්‍රශ්න ඇසීමක් සිදු කෙරේ.
සාමාන්‍යයෙන් රූපවාහිනී වැඩසටහනක කාලය පැය භාගය හෝ ඊට වැඩි වුවද ‘රස TV’ වැඩසටහන් විනාඩි 10කට සීමාවේ. ‘හෘද සාක්ෂිය’ ‘Hot Chat’ වැනි වැඩසටහන් විනාඩි 10 කොටස් තුනකින් යුක්තය.
නරඹන්නන්ට නැවුම් අත්දැකීමක් ලබාදෙන්නට ප්‍රසංග ගුණසිංහ සහ තුසිත විමලසිරි ඇතුළු ‘රස TV’ කාර්යමණ්ඩලය නිබඳවම කැප වී සිටිති. සෑම දිනකම විකාශය වන සියලුම වැඩසටහන් ඊට පෙරදින උඩුගත (Upload) කරනු ලබන අතර දැනට ජංගම දුරකථනයට සීමා වී ඇති ‘රස TV’ ඉදිරියේදී රූපවාහිනී නාළිකාවක් ලෙස රැගෙන එන්නටද මේ දිනවල කටයුතු සැකසෙමින් පවතී.