රාජ්‍ය සේවකයාගේ නිර්මාණශීලී චින්තනය පෝෂණය කර ඒ හරහා ඔවුන් තුළින් කාර්යක්ෂම සේවාවක් මහජනයා වෙත ලබාදීම උදෙසා රාජ්‍ය සේවකයන් බලගන්වන සුවිශේෂී වැඩසටහනක් බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත් සභාව විසින් ආරම්භ කොට තිබේ.
'රාජ්‍ය සේවකයාගේ මානසික ආතතිය රසවින්දනයෙන් දුරලමු' මැයෙන් නම් කොට ඇති මෙම රසවින්දන වැඩසටහන් මාලාවේ පළමු වැන්න පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ක්ෂේත්‍ර නිලධාරීන් 200 ක පමණ පිරිසක් වෙනුවෙන් ගම්පහ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
මෙම වින්දනාත්මක වැඩසටහන සම්බන්ධව අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ පැවසීය.
"ලිපිගොනු හා සංඛ්‍යා ලේඛනවලට යටවී සිටීමෙන් ඇතිවන මානසික ආතතිය නිසා බිඳ වැටී ඇති රාජ්‍ය සේවකයාගේ නිර්මාණශීලී චින්තනය අවදිකිරීම උදෙසා තමයි මෙවැනි රසවින්දනාත්මක වැඩසටහන් පවත්වන්න අදහස් කළේ.
කාර්යාලයේ කටයුතුවලින් වගේම නිවසේ තිබෙන විවිධ ගැටලුවලිනුත් හෙම්බත් වී සිටීම තුළ රාජ්‍ය සේවකයාට අලුතින් යමක් සිතීමට, කටයුතු කිරීමට දුෂ්කර වෙනවා. අතීතයේ රාජ්‍ය සේවකයා තමයි විවිධ සංකල්ප රටට හඳුන්වා දුන්නේ.
නමුත් වර්තමානයේ ඒ තත්ත්වය හීන වී යන ආකාරයක් දක්නට ලැබෙනවා. මේවගේ පසුබිමක තමයි රසවින්දනය තුළින් රාජ්‍ය සේවයේ ආතතිය දුරලීමට අපි උත්සාහ කරන්නේ. ලිපිගොනුවලට යටවෙලා ඉන්න රාජ්‍ය සේවකයන්ගෙන් ජනතාව අපේක්ෂා කරන නිර්මාණශීලීත්වය එළියට එන්නෙ නැහැ.
මේ නිසා කාර්යාලයේ ගැටලු කාර්යාලය තුළ තබා නිවසට ගිය පසු නිවස තුළ ජීවිතය විඳින්න කියන්න සඳහායි අපි මෙය රාජ්‍ය සේවකයාට ලබාදෙන්නේ."
බස්නාහිර පළාත් සභාව තුළ රාජ්‍ය සේවකයන් 80,000 ක පිරිසක් අතර මෙන්ම මෙම රසවින්දනාත්මක වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සේම පාසල් මට්ටමින්ද පවත්වන්නට පියවර ගෙන තිබේ. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 40 ක් හා පාසල් 1269 ක මෙම රසවින්දනාත්මක වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම රසවින්දනාත්මක වැඩසටහන සඳහා සම්පත් දායකයන් ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් මහතා සහ ප්‍රවීණ ගේය පද රචක ශාන්ත ජයලත් තිසේරා යන මහතා කටයුතු කරති.
පාසල් මට්ටමින් පැවැත්වෙන රසවින්දනාත්මක වැඩසටහන සඳහා 8 ශ්‍රේණියෙන් ඉහළ ඉගැන්වීම් සිදුකරන ගුරුවර ගුරුවරියන් සම්බන්ධ කර ගැනීමට නියමිත අතර, මීළඟ රසවින්දනාත්මක වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රා‘දේශීය ලේකම් කොට්ඨාසයේ පැවැත්වීමට සූදානම් කොට තිබේ.