කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල හත්වැනි වරට මෙවරත් කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වීමට නියමිත අතර, මීට මූලිකත්වය ගෙන කටයුතු කරනුයේ Inter Act Art නාට්‍යය කණ්ඩායමේ ප්‍රධානී එම්. සෆීර් මහතාය. ජර්මනිය, ආජන්ටිනාව, කොසෝවෝ, ඔස්ට්‍රේලියාව, ඉතාලිය, ඉන්දියාව ආදී විදේශීය නාට්‍යකරුවන් 13 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර නාට්‍ය උළෙල නම් කර ඇත්තේ ධර්මසිරි බණ්ඩාරනායක අභිනන්දන කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල යනුවෙනි. මැයි මස 24 වැනිදා සිට මැයි මස 30 වැනිදා දක්වා සෑම දිනකම සවස හතට පැවැත්වෙන මෙම නාට්‍ය උළෙල පිළිබඳ මෙම නාට්‍ය උළෙලේ අධ්යක්ෂ එම්. සෆීර් සමගින් අප කතාබහක යෙදීමට සිතුවේ එබැවිනි.
නාට්‍ය උළෙල ගැන කතා කළොත්?
මෙතෙක් පැවැත්වූ නාට්‍ය උළෙල සියල්ලටම රටවල් 60කින් අපට අයදුම්පත් 350-400 පමණ ඇවිත් තියෙනවා. ඒක අතිවිශාල ජයග්‍රහණයක්. අනික ඔවුන් ලාංකේය නාට්‍ය කලා ක්ෂේත්රය කෙරෙහි එවැනි උනන්දුවක් දක්වා තිබීමත් රටක් හැටියට අප ලබාගෙන තිබෙන ජයග්‍රහණයක්. මොකද මෙවැන්නක් සිදු විය යුත්තේ රාජ්‍ය මට්ටමෙන් මිසක් අපෙන් නෙමෙයි. හැබැයි අවාසනාවට අපටම තමයි මෙවැන්නක් සංවිධානය කරන්න සිදු වෙලා තියෙන්නේ. අනික මෙවැන්නකට අනුග්‍රාහකත්වය සෙවීම ගැන කතා කරන්න ගියොත් එතැන තියෙන්නේ බරපතළ ඛේදවාචකයක්. නැත්නම් මටත් හීනයක් තියෙනවා මේ නාට්‍ය උළෙල කොළඹින් එපිටට ගිහින් නුවර, යාපනය වගේ තැන්වල පෙන්වන්න. කොහොම වුණත් අපි මේ උළෙල පවත්වන්නේ අදියර කිහිපයක් යටතේ. එහි පළමු අදියර තමයි මේ ආකාරයෙන් විදේශීය වේදිකා නාට්‍ය ලංකාවේ රඟ දැක්වීම. දෙවැන්න තමයි ඔවුන් විසින් මෙහි නාට්‍ය වැඩමුළු පවත්වමින් තමන්ගේ දැනුම බෙදාහදා ගැනීම. ඒ වගේම අපට තියෙනවා ලාංකේය නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සම්මේලනයක්. ඒ සඳහා අපි විදේශීය අධ්යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් දින තුනක සම්මේලනයක් පැවැත්වීමත් මීට සමගාමීව සිදු වෙනවා. එය තමයි මෙහි තෙවැනි අදියර.
මෙවර ජාත්‍යන්තර නාට්‍ය උළෙලේ පවතින විශේෂත්වය මොකක්ද?
ජාත්‍යන්තර නාට්‍ය ආයතනයේ 70 වැනි සංවත්සරය යෙදී තිබෙන්නේ මේ වසරට. ඒ නිසා ඔවුන් මෙය සලකන්නේ ඒ සැමරුම් වෙනුවෙන් සිදු කරන්නක් විදියට. ඔවුන් ඒ සඳහා අපට උපදෙස් දෙනවා. මොකද නාට්‍ය කලාව උදෙසා ජාත්‍යන්තර වශයෙන් පවතින විශාලතම ආයතනය තමයි ජාත්‍යන්තර නාට්‍ය ආයතනය. ඒක පවතින්නේ යුනෙස්කෝ සංවිධානය යටතේ.
කෙසේ නමුත් වේදිකා රංගනය වැනි සජීවී මාධ්‍යයකදී වින්දනය උදෙසා භාෂාව හරස් වෙන්න පුළුවන් නේද?
මෙහි රඟ දැක්වෙන බොහෝ නාට්‍ය දෙබස් අවම නාට්‍ය. දෙබස් රහිත නාට්‍යයත් තියෙනවා. අනික නාට්‍ය කලාව කෙරෙහි ඇල්මක් පවතින ඊට ආසක්ත ප්රේක්ෂකාගාරයකට එවැනි දේවල් ගැටලු නෙමෙයි. මොකද අපිත් දැන් නාට්‍ය කලාවට අයිති සිතියමේ කොටසක්. ඒ බව තේරුම්ගත යුතුයි. ඒ නිසා මෙවැනි ජාත්‍යන්තර නාට්‍ය බලද්දි තමයි තේරෙන්නේ අපේ නාට්‍ය කොතැනද කියලා.
මෙවැනි නාට්‍ය උළෙලකට නාට්‍යයක් තෝරා ගැනෙන්නේ මොනවගේ නිර්ණායක මතද?
ඊට අපි මෙවැනි නාට්‍ය උළෙලකට පවතින ගැළපුම පළමුව සලකා බලනවා. එහිදී අන්තර්ගතය සුවිශේෂයි. අනික මම නෙමෙයි මේ නාට්‍ය තෝරන්නේ. ඒ සඳහා ලූෂන් බුලත්සිංහල, පරාක්‍රම නිරිඇල්ල වැනි ප්‍රවීණ නාට්‍යකරුවන් විශාල ප්‍රමාණයක් දායක වුණා. ඒ වගේම මෙම නාට්‍ය කණ්ඩායම් වෙනුවෙන් අපි කිසිම මුදලක් ගෙව්වේ නැහැ. නාට්‍ය කෘති වේදිකාගත කිරීමේදී ලංකාවට සාපේක්ෂව ප්‍රායෝගික තත්ත්වයත් අපි සලකා බැලුවා. ඒ වගේම අපි විවිධත්වයක් පවතින ආකාරයෙන් තමයි මෙම නාට්‍ය උළෙල සංවිධානය කරල තියෙන්නේ. බොහෝ දෙනෙකුට නැරඹිය හැකි ආකාරයේ නාට්‍ය කෘති තමයි මෙහි වේදිකාගත වෙන්නේ.
ජාත්‍යන්තර වශයෙන් ගත්තාම රංග කලාව අද කොතැනද පවතින්නේ?
අද ලෝකය ලංකාවට සාපේක්ෂව ඉතා දියුණු මට්ටමකට ගිහින් තියෙන්නේ. මොකද අපි තාමත් ඉන්නේ ප්‍රොසීනියම් රඟහල්වල නාට්‍ය පෙන්වන සාම්ප්‍රදායික අවධියක. තාමත් වෘත්තීය නාට්‍ය කලා සංස්කෘතියක් අපට නැහැ. බොහෝ දෙනෙක් නාට්‍යකරණයේ යෙදෙන්නේ විනෝදාස්වාදය උදෙසා. හැබැයි උදාහරණයක් හැටියට ජර්මනිය ගැන කතා කළොත් එහි නාට්‍ය ප්‍රේක්ෂකාගාරය මිලියන 16ක් වෙනවා. ඒ කියන්නේ ලංකාවේ ජනගහනයට ඉතා ආසන්නයි. ඒ තරම් දියුණු නාට්‍ය සංස්කෘතියක් ඔවුන්ට තියෙනවා. ඒ වගේම ලෝකයේ නාට්‍ය කලාව ගත්තෙත් එය සෑම අතින්ම නිතරම යාවත්කාලීන වෙනවා. නාට්‍ය ප්‍රභේද ගොඩ නැගෙනවා. ඒත් ලංකාවේ නාට්‍ය කලාව මේ සම්බන්ධව ඉන්නේ හුඟක් දුරින්. %කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල^ වැනි සංස්කෘතිකාංග තුළින් තමයි ඒ නිසා මෙවැනි යාවත්කාලීන වීම් ගැන ලංකාවට දැනගන්න ලැබෙන්නේ. අනික ලංකාවේ පවතින නොදියුණු නාට්‍ය සංස්කෘතිය නිසාම තමයි අපට පොදු ප්‍රේක්ෂකයා සඳහා මෙම නාට්‍ය උළෙලට ආරාධනා කරන්න සිදු වෙලා තියෙන්නේ. ඒත් සෙසු රටවල මේ සඳහා සහභාගි වෙන්නේ ජාත්‍යන්තර නාට්‍යකරුවන් පමණයි.
මෙම යාවත්කාලීන වීම් කොහොමද පසුගිය කාලයේ ලාංකේය නාට්‍යකරුවන් තමන්ගේ භාවිතාවන්ට යොදා ගත්තේ?
එවැනි නව භාවිතාවන් යොදා ගැනීම සුලබ නැහැ. භාවිත කළ යුතු පිරිස ඒ ඔස්සේ පර්යේෂණයේ යෙදෙනවා. භාවිත කරනවා. ගැටලුව තියෙන්නේ එවැනි අත්හදාබැලීම් පිළිබඳ දැනුවත් බවක් හෝ යාවත්කාලීන වීමක් බොහෝ විනිශ්චය මණ්ඩවලට නොමැති වීම. ලාංකේය රාමුවල සිට මෙවැනි නාට්‍ය කෘති විනිශ්චය කරන්න බැහැ. ඒ නිසා එවැනි නාට්‍යයවලට අදාළ පසුබිම සකස් කර දෙන්නේ නැති වුණාම එවැනි නාට්‍ය නිර්මාණය කරන්න නාට්‍යකරුවන් මැළිවෙනවා.