නාට්‍ය ක්ෂේත්රය තුළ සියල්ල විඳදරා ගනිමින් එහි දිගුකල් රැඳෙන්නෝ ඇත්තේ අතළොස්සකි. ඔවුහු සිය කලා ඥානයෙන් නිර්මාණකරණයේ විවිධ ඉසව් කරා ගමන් කරති. පුරා තිස් වසරක් නාට්‍යකරණයෙහි නියුතු සුසිල් වික්‍රමසිංහයන් සමගිනුයි 'අද' කතාබහ දිගහැරෙනුයේ.
ස්වතන්ත්‍ර "හයිවේ"
මුලින්ම මම රංගන ශිල්පියෙක් ලෙසිනුයි ක්ෂේත්රයට ආවේ. පසුව අංගරචනා ශිල්පියෙකු විදියටත් වේදිකා පසුතල නිර්මාණ ශිල්පියෙකු, සහාය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ප්‍රධාන සංවිධායකවරයෙකු ලෙස හා නාට්‍ය ක්ෂේත්රයේ කටයුතු කරමින් සිටිනවා. මගේ අලුත්ම උත්සාහය තමයි නාට්‍යයක් නිර්මාණය කරන කටයුත්ත. ඒ සඳහා මේ දිනවල සූදානම් වෙමින් සිටිනවා. කපිල කුමාර කාලිංගයන්ගේ පිටපතකට අනුව ස්වතන්ත්‍ර නාට්‍යයක් ලෑස්ති කරගෙන ඉන්නවා 'හයිවේ' නමින්. එයටත් මුදල් ආයෝජනය කරන්න තිබුණු අමාරුව නිසා කාලයක් පසුවුණත් දැන් ඒ කටයුත්ත සාර්ථක වී තිබෙනවා.
දශක තුනකට වැඩි කාලයක් නාට්‍ය ක්ෂේත්රය ගැන නිසි අවබෝධයක් තිබෙන අයෙක් හැටියට නාට්‍ය ක්ෂේත්රය මුහුණදීලා තිබෙන අර්බුද ගැන පැහැදිලි කර ගැනීමක් සිදුකළ යුතුයි. වේදිකා නාට්‍ය නම් සජීවී මාධ්‍යය, අපේ රටේ සංස්කෘතික සාමාජීය අනන්‍යතාවන් එක්ක හොඳින් අක්මුල් බැහැගත්ත මාධ්‍යයක් අද තිබෙන තත්ත්වය ගැන විශාල පසුතැවීමකුයි තිබෙන්නෙ. නාට්‍ය ක්ෂේත්රයේ නියැළෙන, කලාවක් විදියට ඉස්සරහට අරගෙන යන හැම ශිල්පියෙක්ම හැම පැත්තෙන්ම ඉතාම පීඩනයට පත්වෙලා ඉන්නවා කියලයි මම විශ්වාස කරන්නෙ.
මේ ක්ෂේත්රයේ යැපෙනවට වඩා දෙයක් කරන්න සහ නාට්‍ය ශිල්පියෙකු ලෙස සමාජයට මොකද්ද වෙන්නෝන කියා සහ සාමාජීය කාරණයක් වෙනුවෙන් පෙනී සිටින ශිල්පීන් හැම කෙනෙක්ම විශාල අපහසුතාවක තමයි අද ඉන්නේ. අද තිබෙන සමාජ ක්‍රමය ඇතුළේ ගනුදෙනුත් එක්ක හැසිරෙන අයට එතරම් ප්‍රශ්නයක් නෙවෙයි. මාධ්‍ය භාවිතාවන් සඳහා පාවිච්චි කරපු ඔවුන්ගේ ගමන යම්කිසි මට්ටමකින් කරගෙන යන්න පුළුවන්. විශ්වවිද්‍යාල මට්ටමේ සිට නාට්‍යකරණයට සම්බන්ධ අය විශාල අපහසුතාවකයි ඉන්නෙ. කොහොමද අපි මේ තුළ නිර්මාණාත්මක දේවල් කරලා ආධ්‍යාත්මික සුවයක් ලබනවා. කලාව ඇතුළෙ බලාපොරොත්තු වෙන්නෙ රස්සාවක් කරනවට වඩා යම්කිසි ආත්මීය තෘප්තියක් ලබනෙකනේ.
අවංක කලාකරුවා හා දේශපාලන ප්රවණතා
විශේෂයෙන්ම රැකියාවක් කරන කෙනෙක් වුණත් රැකියාව තුළින් ජීවනෝපාය රැකගන්නවා සේම අවංකවම රැකියාව කරන කෙනෙක් බලාපොරොත්තු වෙනවනේ සමාජයට යම් දෙයක් කරන්න සහ එමගින් තෘප්තියක් ලැබෙනවා කියනෙක. අවංකවම කරන කෙනෙකුට තමයි එම තෘප්තිය ලැබෙන්නේ. රැකියාව වුණත් අවංකව නොකරන තත්ත්වයක් ඇතුළෙ ප්‍රශ්නයක් නෑ. ඒකම තමයි කලාවටත් වෙලා තියෙන්නෙ. මේ තත්ත්වය හොඳට හොයා බලා මැදිහත්වීමක් කරන්නෙ කොහොමද කියලයි මම කල්පනා කරන්නේ.
රාජ්‍ය මට්ටමෙන් මැදිහත් වීමක් නැතුව කලාව ඉස්සරහට යන්නෙ නෑ. නමුත් මේ සමාජ ක්‍රමය පවත්වාගෙන යන ඕනම කෙනෙකුට සමාජයට නාට්‍ය කලාවෙන් යමක් වෙනවාය යන්න එච්චර වැදගත් නෑ. දේශපාලන වශයෙන් ගත්තාම අවංක කලාකරුවා පවතින සමාජ දේශපාලන ප්රවණතාවන් පිළිබඳව සාකච්ඡාවට ඔවුන්ගේ මතය දැඩි ලෙස භාවිත කරන අයයි.
බාල බොළඳ හාස්‍ය හා ප්‍රේක්ෂකාගාරය
මේ තිබෙන සමාජ ක්‍රමය පවත්වාගෙන යන අයට එය ඇඟට ගුණ නෑ. අවංකවම නාට්‍ය කලාව පවත්වාගෙන යන්න ඕන කියල රාජ්‍ය ආයතනයකින් හරි යම්කිසි ව්‍යාපාරික ආයතනයක් හරි මැදිහත් වෙන්නෙ නෑ. ඒ නිසා මෙය අභාවයට යාම සහ අසරණ වීම වළක්වන්න බෑ. අපිට යම්කිසි ප්‍රමාණයකින් හරි මෙහි රැඳිල ඉන්න ගමන් මේ තියෙන තත්ත්වයන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දවසක් බලාගෙන ඉන්න එක තමයි කරන්න වෙන්නෙ. නාට්‍යවලට නිර්මාණකරණයේ යෙදෙන්න ඕන වටපිටාව ඉස්සරට වඩා අඩුයි. ප්‍රේක්ෂකාගාරය දිහා බැලුවාමත් නාට්‍යවලට වඩා හාස්‍ය උපදවන වෙනත් කරණු කාරණා තමයි නාට්‍ය වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නෙ.
අපට අහිමි වූ විජය
පසුගිය කාලයේ අපට හිටපු දක්ෂම රංගන ශිල්පියෙක් නැති වුණා. ඒ විජය නන්දසිරි. මම දකින විදියට විජය අයියා තරම් දක්ෂ රංගන ශිල්පියෙක් මේ ආසියාකරේම ඉන්නවද කියලා හිතෙනවා. නමුත් ඔහුගේ අපේ රංගන කේෂ්ත්‍රයට හරි ප්‍රයෝජනයක් ගත්තද කියන ප්‍රශ්නයක් මට තියෙනවා. ඒ එක්කම තියෙන කනගාටුව තමයි ඔහු නැතිවීමත් සමගම අපේ නාට්‍ය කේෂ්ත්‍රයේ ඇතිවුණ අර්බුදය. විශේෂයෙන්ම ඔහු නිසා වේදිකා නාට්‍යවලට තිබුණ ඉල්ලුම විශාල වශයෙන් අද කඩා වැටීමකට ලක්වෙලා.
ඔහු පාවිච්චි කරලා නාට්‍ය කරපු ප්‍රධාන පෙළේ සංවිධායකවරු අද අතරමං වෙලා. ඒ නිසාම සමස්ත නාට්‍ය කලාවේම ජනප්‍රියත්වය අඩු වී නාට්‍ය රඟදැක්වීමේද අඩු වීමක් පෙනෙන්නට තිබෙනවා. මේක එක පැත්තකින් කනගාටුවක් වගේම හොඳකුත් තිබෙනවා. මොකද ඔහු පාවිච්චිකරලා හදපු බොහොමයක් නාට්‍ය, නාට්‍ය කලාව ගුණාත්මකව පෝෂණය කරන ප්‍රේක්ෂක මනසටද යම් ගුණාත්මක රසයක් ලබානොදුන් තත්ත්වයක් නිසා. ඉතිං බලන්න රටක්, සමාජයක් විදියට මොතරම් ඛේදවාචකයක්ද කියලා. එක රංගන ශිල්පියෙක් නැති වීමෙන් සමස්ත නාට්‍ය ක්ෂේත්රයම අර්බුදයකට යනවා කියන්නෙ මොන අවාසනාවක්ද ඇයි එහෙම වෙන්නෙ.
යම් ප්‍රමාණයකට හෝ කලාව සහ ප්‍රේක්ෂක සමාජය අතර දියුණුවක් ඇති වන්නේ නම් එහෙම විය නොහැකියි. කලාවක් සමස්ත සමාජ ව්‍යුහයේම එක අංශයක්. සමාජයම ගුණාත්මකව පිරිහීම නතර කළ නොහැකියි. ඒක තමයි මෙහි යථාර්ථය. තියෙන තත්ත්වය තුළ අපි කවුරුත් මොනයම් හෝ නිර්මාණ කටයුත්තක යෙදෙනවා. එහෙත් මෙවැනි සුළු සිදුවීමකින් පවා බලපෑමක් ඇතිවෙනවා නම් ඒක අවාසනාවක් නෙමෙයිද. මේ ධනය මුල් කරගත් පුද්ගලාර්ථ සමාජය තියෙන තාක්කල් නාට්‍ය කලාව වගේම සෑම ක්ෂේත්රයකම අර්බුද ඇතිවීම වළක්වන්න බෑ.