නිවේදිකාවක ලෙස අවුරුදු 04ක කාලයක් එම ක්ෂේත්රය තුළ සිටින ඇය සින්දුජා ශ්‍රී භාග්‍යා ය. ඇය ITN නාළිකාවේ වැඩසටහන් කිහිපයක් නිවේදිකාවක ලෙස කටයුතු කරනු ලබයි. සින්දුජා කටයුතු පිළිබඳව අපත් සමග මෙලෙස පිළිසඳරක නිරත වූවා.
Q ඔබ කවුද? මොකද කරන්නේ?
මම සින්දුජා ශ්‍රී භාග්‍යා. දැනට ITN නාළිකාවේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක ලෙස වැඩකටයුතු කරනවා. ඊට අමතරව ටෙලිකොම් ආයතනයේ Tele Communication උපාධිය හදාරනවා. ඒ වගේම නිරූපණ කටයුතුවලත් නිරත වෙනවා.
ඉගෙනීම සහ නිවේදනය අතර ගැලපීමක් නෑ නේද?
නිවේදන කටයුතු කළාට මම වැඩසටහන් නිෂ්පාදනය පිළිබඳවත් හදාරලා තියෙන්නේ. වැඩසටහන් නිෂ්පාදකවරියක වෙන්නත් මගේ අදහසක් තියෙනවා. මම උසස්පෙළ හැදෑරුවේ ජීව විද්‍යා අංශයෙන්. විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථාවක් ලැබුනේ නෑ. පසුව ITN අවුරුදු කුමරි තරගයට ඉදිරිපත් වුණා. එහිදී තමයි නිවේදන කටයුතුවලට අවස්ථාව ලැබුණේ. පසුව ඒ පැත්තට යොමුවුණා. ඒකයි නොගැලපීමක් වගේ පේන්නේ.
Q රංගනයටත් යොමුවෙලාද ඉන්නේ?
ගොඩක් ආරාධනා නම් ලැබී තියෙනවා. ඒ වුනාට රඟපානවාට පවුලේ අය එච්චර කැමති නැහැ. රඟපානවා කියන්නේ ලොකු කැපකිරීමක් කරන්න ඕන දෙයක්. පිටපළාත්වලට යන්න තියෙනවා. ඒ කැපවීම කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා රඟපාන්න එච්චර ලොකු කැමැත්තක් නැහැ.
Q ඔබේ නිවේදන කටයුතු පිළිබඳවත් කියමු නේද?
ITN නාළිකාවේ 'ITN MUSIC.COM', 'bollywood Hit mix', 'අරුත්බර ජීවිතය', 'සූරිය විමන' කියන වැඩසටහන් කළා. ඒ වගේම දැනට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිවේදිකාවක ලෙස කටයුතු කරනවා.
Q මේ වැඩසටහන් සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද?
2013 දී මම ITN අවුරුදු කුමරියට හිටියා. එතැනදී තිබුණු සම්මුඛ පරීක්ෂණයකදී මාව විතරයි නිවේදන කටයුතු සඳහා තේරුණේ. 2013 තමයි මගේ නිවේදන කටයුතු ආරම්භ වෙන්නේ.
Q නිවේදනයට එක්වෙන්න ඉගෙනගත් දේවල් හේතු වුණාද?
මුලින්ම නම් තිබුණේ ටැලන්ට් එක විතරයි. ඉස්කෝලෙදි, දහම් පාසලේදී නිවේදන කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව මම ජාතික රූපවාහිනියේ හඬකැවීම් (ඩබින්) කටයුතු කරලා තියෙනවා. ඒ අත්දැකීම් තමයි මුලින්ම තිබුණේ. නිවේදන කටයුතුවලට එකතු වුණාට පස්සේ ශ්‍රී ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ (SLTTI) TV Production සහ Announcing කියන පාඨමාලා දෙක කළා.
ඊට අමතරව වැඩකටයුතු කරන ගමන් නිෂ්පාදකවරුන්ගෙන්, ප්‍රවීණයන්ගෙන් ඉගෙනගත් දේවලුත් තියෙනවා. ඉදිරියේදී තවත් ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා.
Q අද කාලේ නිරූපණය, නිවේදනය කියන දේවල්වලට බොහෝ පිරිස් පැමිණෙනවා. එහෙම වෙනකොට ක්ෂේත්රය තුළ තියෙන පැවැත්ම මොනවගේද?
මේ වගේ දේවල් කොච්චර කළත්, වෘත්තිය ලෙස තෝරාගන්න හොඳ නෑ. රැකියාවක් කරන්න ඕන. ඒ අතරතුර තමන්ගේ හැකියාවෙන් ප්‍ර‘යෝජනයක් ගන්න මේ වගේ දේවල් කළාට කමක් නෑ. නිවේදනය කියන්නේ වයසට යනකම් කරන්න පුළුවන් දෙයක්. නමුත් නිරූපණය කියන්නේ වයසට යනකම් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අපේ ලස්සන තියෙනකම් විතරයි කරන්න පුළුවන්.
Q වෘත්තියක් ලෙස කරන්න හොඳ නෑ කියන්නේ, මෙය මත්තේ යැපෙන්න පුළුවන් කාලය අඩු නිසාද?
ඒක එක එක්කෙනාගේ පැවැත්ම තමයි. නිවේදිකාවක ලෙස ඇවිල්ලා නිෂ්පාදකවරු වෙලා, ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරු වෙලා ඉන්න අය සමහරු අපි දකිනවා. එහෙම අය ගොඩක් ඉන්නවා. ITN එකේ වුණත් එහෙම අය ඉන්නවා. කෙනෙක්ට බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ මාර්ගය ඔස්සේ යන එක හොඳයි.
මම කියන්නේ ඒ ගැන ඉගෙන ගෙන. එහෙම නැතිව මගේ අදහස නම් නිවේදන වෘත්තිය අමතර දෙයක් විදියට තියාගෙන මම ඉගෙන ගන්න පැත්තෙන් රැකියාවක් කරන්න තමයි බලාපොරොත්තුව. හැමෝටම එහෙම වෙන්න ඕන කියලා මම කියන්නේ නැහැ. මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්න කෙනෙකුට බලපොරොත්තුවක් තියෙනවා නම් යන්න පුළුවන්.
Q ඔබ කාලයකදී මේ කටයුතුවලින් ඉවත් වෙනවා කියලා තීරණය කරලා තියෙනවාද?
නෑ, එහෙම ඉවත්වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම හිතන්නේ ඉවත්වෙන්න තරම් කරන්න අමාරු නෑ. නිවේදනය කියන්නේ අපට ලැබෙන කාලවේලාවත් එක්ක බැලන්ස් කරගෙන කරන්න පුළුවන් දෙයක්. දැනට ක්ෂේත්රයේ ඉන්න නිවේදකයන්, ප්රවෘත්ති නිවේදනය කරන අයත් ඇවිත් තමන්ගේ කටයුත්ත කරලා රැකියාවට යන අය ඉන්නවා. එහෙම ඉවත් වෙන්න කියලා අදහසක් නෑ. පුළුවන්තාක්කල් මේ ක්ෂේත්‍ර‘යේ ඉන්නවා.
Q ඉදිරි බලාපොරොත්තු මොනවාද?
මම තවම නිවේදනයෙන් පුංචි තැනක ඉන්නේ. ඉදිරියට ඒ හැකියාව දියුණුකරගන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව කාටවත් කරදරයක් නොවී ජීවත්වෙන එක තමයි බලාපොරොත්තුව.
Q මතක් කළ යුතු අතහිතදුන් පිරිසක් ඉන්නවාද?
මගේ අම්මා, තාත්තා මට ලොකු සහයෝගයක් ලබාදෙනවා. මාව මුලින්ම ITN එකේ වැඩසටහනකට ගත්තේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදිකා චන්දිමා ප්‍රේමරත්න අක්කා. 'සූරිය විමන' සජීවී වැඩසටහනට බය නැතිව මාව ඉදිරිපත් කළේ එයා. ඒවගේම ITN කාර්ය මණ්ඩලයත් මතක් කළ යුතුයි. ඊට අමතරව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ කාර්ය මණ්ඩලයෙනුත් හෙඳ සහයෝගයක් ලැබී තිබෙනවා.
ඡායාරූප - කවීත් මිලින්ද