සිරස සුපර් ස්ටාර් හයවැනි අදියරේ අවසන් තරගකරුවන් 12 දෙනා අතරට පැමිණි ශිරෝමි රත්නායක වර්තමානය වනවිට ගායිකාවකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙසද කටයුතු කරමින් සිටියි. එමෙන්ම ඉදිරියේදී ගීත කිහිපයක් එළිදැක්වීමේ සූදානමකින් සිටින ශිරෝමි දැනට කොළඹ විශ්වවිද්‍යාලයේ සිවුවැනි වසරේ ශිෂ්‍යාවක්ද වේ. මෙවර 'අද' තරු කතාබහ අපි ඇය වෙනුවෙන් වෙන්කළෙමු.
Q මේ දිනවල ඔබ බොහෝ පිරිසක් අතර ජනප්‍රිය චරිතයක් නේද?
මම හිතන්නෙ සිරස රූපවාහිනී නාලිකාවේ විකාශය වන සුජාතා ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කරන නිසා. මෙම ටෙලි නාට්‍යයේ විශේෂත්වය වන්නේ මෙම ටෙලි නාට්‍යයට තේමා ගීත 03 ක් නිර්මාණය වුණා. සුජාතා ටෙලි නාට්‍යයේ එන නොකීවාට කවදාවත්, අත්තටුම වෙලා හා විඳින්න හිමි වූ ජීවිතේ යන ගීත තුනම ගායනා කරන්නේ මම. මේ ගීතවලට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. ප්‍රසංග වේදිකාවලදී පවා සංගීතලෝලීන් මේ ගීත ගායනා කරන්න ඉල්ලීම් කරනවා.
Q ඉදිරියේදී එළිදක්වන්න සූදානමින් තියෙන ගීත මොනවද?
මේ දිනවල තවත් ගීත කිහිපයක්ම පටිගත කරලා තියෙනවා. තවත් දින කිහිපයකින් චතුර වනිගසේකරගේ ගී පද රචනයෙන් හා ඔහුගේම ගී තනුවකට නිර්මාණය වුණ වෙනස් වෙලා ගීතය එළිදක්වන්න නියමිතයි. මෙම ගීතයට රූප රචනාවකුත් නිර්මාණය කරලා තියෙනවා. ගීත රචනාව කළේ ලයාල් එදිරිසිංහ. මේ නිර්මාණ එළිදැක්වූවාට පස්සෙ බොහෝ දුරට තීක්ෂණ අනුරාධ හා මා ගායනා කරන ගීතයක් එළිදක්වන්න සැලසුම් කරලා ඉන්නවා. මේ ගීතය විවාහ උත්සව සඳහා යොදාගන්නා ගීතයක්. චමින්ද සමරනායක ගී පද හා ගී තනු නිර්මාණය කළ තවත් ඉතින් කියලා ගීතයකුත් එළිදක්වන්න සූදානම් කරලා තියෙනවා. රුක්ෂාන් සුභසිංහ ඇරබික්ස් ශෛලියට නිර්මාණය කළ සඳ මායාවි කියලා ගීතයකුත් දැනට නිර්මාණය කරලා තියෙනවා.
Q සුපිරි තරුවක් වුණ ඔබට තවමත් එදා ලැබුණ ප්‍රතිචාර අදත් ලැබෙනවාද?
එදා රසික, රසිකාවියන්ගෙන් ලැබුණ ප්‍රතිචාර අදත් ඒ අයුරින්ම ලැබෙනවා. බොහෝවිට ඉදිරියේදී එළිදැක්වීමට සූදානමින් සිටින ගීත හරහා මේ ජනප්‍රියත්වය, රසික ප්‍රතිචාර තව තවත් වැඩි වේවි කියලා හිතනවා. ඊට අමතරව මම දැනට ගායිකාවකට අමතරව වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙසත් ප්‍රේක්ෂකයන් හමුවෙනවා. පසුගිය මාස කිහිපයේදී බොහෝ ප්‍රසංග සඳහා සම්බන්ධ වෙන්න ආරාධනා මට ලැබුණා. එහිදී සංගීත ලෝලීන්ගේ පිළිගැනීම ඉතා ඉහළ මට්ටමක තිබුණා. මම හිතනවා සුපර් ස්ටාර් තරගයට සම්බන්ධ වූ කාලයේදී ලැබුණ රසික ප්‍රතිචාර අද ඊටත් වඩා වැඩියෙන් ලැබෙනවා කියලා.
Q පුංචි කාලෙ ගායිකාවක් වෙන හීනයක් තිබුණද?
පුංචිම කාලෙ නම් වෛද්‍යවරියක්, ගුරුවරියක් වෙන්න තමයි සිහින මැව්වෙ. ඒත්, මට යමක් තේරෙන කාලෙදි මගේ හීනෙ වෙලා තිබුණේ ගායිකාවක්, නිවේදිකාවක් වෙන්න. පාසල් කාලේදී නම් මම සංගීතය විෂයයක් විදිහට හැදෑරුවේ නැහැ. නමුත්, පාසලේ තිබුණ හැම කලා කටයුත්තකටම මම නිවේදිකාවක්, ගායිකාවක් ලෙස දායක වෙලා තියෙනවා.
Q ගායනයට, නිවේදනයට දක්ෂ වගේම ඔබ රංගනයටත් දක්ෂ ඇති?
රඟපාන්න නම් ආරාධනා බොහෝමයක් ආවා. ඒත්, හැම වැඩක්ම භාර අරගෙන අමාරුවේ වැටෙන්න මම කැමති නැහැ. මුලින්ම ගායිකාවක් විදිහට නමක් හදාගන්න ලොකු උවමනාවක්, අවශ්‍යතාවක් තියෙනවා. ඊට අමතරව දැනට මම වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස සිරස රූපවාහිනී නාලිකාවේ ඉරිදා උදෑසන 9.00 ට විකාශය වන වැඩසටහනට සම්බන්ධ වෙලා ඉන්නවා. රඟපාන්න ආසාවක් නැත්තෙමත් නැහැ මට. නමුත්, පෙර සඳහන් කළ ඉලක්කවලට මම යන්න ඕනා. ඊට අමතරව මගේ අධ්‍යාපන කටයුතු ඉවර කරලා ඊට සරිලන රුකියාවක නිරතවෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.
Q ගායිකාවක් විදිහට ඔබගේ ඉදිරි සැලසුම් මොනවද?
දැනට මම ගීත කිහිපයක් නිර්මාණය කරලා තියෙනවා. තවත් ගීත 10 – 12 ක් සම්පූර්ණ වුණාම මම මගේම කියලා ඇල්බමයක් නිකුත් කරන්න අදහස් කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රවීණ ගායක, ගායිකාවන් සමගින් එකතු වෙලා මගේම කියලා ගී ප්‍රසංගයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. බොහෝ දුරට මේ ප්‍රසංගය දෙසැම්බර් මාසයේදී පැවැත්වේවි කියලා මගේ ආදරණීය රසික, රසිකාවියන්ට කියනවා. ඒ වගේම සංගීතය ගැන වැඩිදුරටත් ඉගෙනගන්න ලොකු ආසාවක් මට තියෙනවා. ඉදිරි කාලයේදී ඒ දේවල්වලටත් යොමුවෙන්න අදහස් කරමින් ඉන්නවා.
Q ගෙදර අය කැමතිද ඔබ මේ විදිහට ජනප්‍රිය චරිතයක් වුණාට?
අම්මා, තාත්තා, අක්කලා දෙන්නා හා මල්ලි ගොඩක් සතුටුයි මම ගායිකාවක් විදිහට අද මේ ක්ෂේත්රය තුළ යම් තැනක ඉන්න එක ගැන. සිරස %සුපර් ස්ටාර්^ තරගයට ආවෙ මගේ අක්කලා දෙන්නාගෙ ඉල්ලීම මත. ඔවුන් තමයි මා වෙනුවෙන් මේ තරගයට අයදුම්පත පවා යවලා තියෙන්නේ. පොඩි අක්කා තමයි හැමදේකටම මාත් එක්ක ඇවිල්ලා මට උදව් කළේ. ඊට අමතරව ගෙදර හැමෝම මට පුළුවන් හැම විදිහටම උදව් උපකාර කළා. මේ අවස්ථාවේ සිරස නාලිකාවේ හැම දෙනාම මා මතක් කරන්න අවශ්‍යයි. ඇත්තම කියනවා නම් සිරස මාධ්‍ය ජාලය නැත්නම් අද ශිරෝමි කියලා කෙනෙක් මිනිස්සු දන්නේ නැහැ. සිරසට මගේ හෘදයාංගම ස්තුතිය මේ මොහොතේ පිරිනමන්න ඕන.