‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ හත්වැනි අදියරේ අවසාන මහා තරගය සඳහා තේරීපත්වූ සිහින තරුවක වන සුනීර සුමංග පැමිණි ගමන්මග කටුකය. අවසාන තරගකරුවන් තිදෙනා අතරට පැමිණීමෙන් ලද ජයග්රහණයද ඔහුගේ සතුටට කරුණක් වී ඇත. ඩ්‍රීම් ස්ටාර් අවසාන මහා තරගය හෙට (09දා) පැවැත්වෙන අතර, ඒ පිළිබඳ කතාබහ කිරීමට සුනීර සුමංග මෙලෙස ‘අද’ට සම්බන්ධ විය.
Q ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මම සුනීර සුමංග. මගේ පවුලේ ඉන්නේ මමයි, නංගියි, අම්මයි, තාත්තයි. මගේ තාත්තා විදේශගත වෙලා ඉන්නේ. නංගි තවම පාසල් යනවා. ‘ඩ්‍රීම් ස්ටාර්’ සීසන් 07ට එන්නෙත් මගේ අම්මායි, තාත්තයි නිසා. අපි දැනට නැවතිලා ඉන්නේ අපේ අම්මගේ අක්කගේ ගෙදර.
මේ දවස්වල ‘ඩ්‍රීම් ස්ටාර්’ තරගය වෙනුවෙන් මහන්සි වෙනවා.
Q අධ්‍යාපනය ලැබුවෙ?
මම කඳාන ‘ද මැසිනොද්’ විද්‍යාලයේ ඉගෙන ගත්තේ. 03 වසරේ ඉඳන්ම පාසලේ පවත්වන සාහිත්‍ය තරග, කවි ගායනා තරග, ගීත තරග සඳහා සහභාගි වුණා. ඒ හැම තරගයකින්ම 03 වසරේදී මම 02 වැනි ස්ථානය ලබා ගත්තා. 04 වසරේ ඉඳන් 13 වසර වනතෙක් ඒ හැම තරගයකින්ම මම ප්‍රථම ස්ථානය ලබාගත්තා. මම සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනවා. ඒ කාලයේ ඉඳන්ම ගුරුවරු කියනවා මට හැකියාවක් තියෙනවා, මේ පැත්තෙන් ඉදිරියට යන්න කියලා. ඒ දේවල් තමයි මට ශක්තිය වුණේ.
Q ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ රියැලිටි තරගයේ අත්දැකීම කොහොමද?
ඇත්තටම ඒක කියන්න ඕන. අපි එතැනට එන්නේ ක්ෂේත්රයට අඩිය තියන්න පන්නරය ගන්න සහ ජනප්‍රියත්වය ලබාගන්නයි. ඇත්තටම හොඳ අත්දැකීමක් ‘ඩ්‍රීම් ස්ටාර්’ කියන්නේ. ජ්‍යෙෂ්ඨ විනිශ්චය මණ්ඩලයකගේ අදහස් ලැබෙනවා. විශාල වේදිකාවක ගීත ගායනා කරන්න ලැබීම ලොකු අත්දැකීමක්. ‘ඩ්‍රීම් ස්ටාර්’ සංගීත කණ්ඩායම එක්ක අපි හඬ මුසුකරන්නේ කොහොමද?, අපේ භාවයන් සමග ගීත ගායනා කරන්නේ කොහොමද වගේ දේවල් ගැන ‘ඩ්‍රීම් ස්ටාර්’වලින් ලොකු අත්දැකීමක් ලැබුණා. ‘වර්ක් ෂොප්’වලදී ලැබෙන දේවල් අපේ සංගීත ජීවිතයට ගොඩක් වැදගත්. ඒ දේ මේ තරගයෙන් පස්සේ තමයි වඩාත් ප්‍රයෝජන වන්නේ කියන දේ හිතනවා. යම්කිසි නිර්මාණයක්, ගුණාත්මක විදියට එළියට දාන්න ‘ඩ්‍රීම් ස්ටාර්’ වේදිකාව ඉවහල් වුණා කියලා කියන්න පුළුවන්.
Q ‘ඩ්‍රීම් ස්ටාර්’වලින් පස්සේ මොකද වෙන්නේ?
ඇත්තටම එතැනින් පස්සේ තමයි ජීවිතය සහ සංගීත ගමන පටන් ගන්නේ. ‘ඩ්‍රීම් ස්ටාර්’ කියන්නේ තරගයක්. ඒ තරගයෙන් දින්නා හෝ පැරදුණා කියලා නිකන් ඉන්න බැහැ. සංගීතය පැත්තෙන් යන්න ලොකු ආසාවක් සහ බලාපොරොත්තුවක් තිබුණා. මගේ අම්මයි, තාත්තයි ඒ පැත්තට මාව යොමුකරන්න ගොඩක් මහන්සි වුණා. මම ඇත්තටම ගොඩක් දුක්වින්දා. මේ වෙනකන් ඒවා කාටවත් කියලා නැහැ. අම්මයි, තාත්තයි මම වෙනුවෙන් විඳින දුක ඉක්මනට නිදහස් කරන්න ඕන. අනිත් එක අද ගුණාත්මක සංගීතය හරි අඩුවෙලා. සංගීතයේ ගුණාත්මක පැත්ත පුරවන්න ලොකු ආසාවක් සහ බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපට තිබුණු හොඳ සංගීතය අද වෙද්දි ක්‍රමයෙන් නැතිවෙලා තියෙනවා. ඒ වෙනුවෙන් හොඳ නිර්මාණ බිහිකරන්න බලාපොරොත්තුවක් තියෙනවා.
Q රියැලිටි මාවතෙන් ලැබෙන ජනප්‍රියත්වය රඳවා ගැනීමට මහන්සි වෙන්න සිදුවෙනවා නේද?
ඔව්. අද එක දවසකට එළියට එන ගීතගොන්න එක්ක ජනප්‍රියත්වය කියන දේ පවත්වා ගන්න අමාරුයි. අද කලාකරුවන් දිනපතා බිහිවෙනවා. ඒ අය අතරත් තරගකාරීත්වයක් තියෙනවා. මොකද අද එන ගීත හෙට ජනප්‍රියයි. නමුත් ඊට පස්සේ ඒ ගීත ගැන කවුරුත් දන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඒ ගීත මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ කියන එක. ජනප්‍රියත්වය තියාගන්න ඕන නම්, මිනිස්සුන්ට දැනෙන දෙයක කරන්න ඕන.
අද විතරක් නොවෙයි තව අවුරුදු 10ක්, 20ක් ගියත් ඒ ගීතය ඇහෙද්දි මිනිස්සුන්ට මතක් වෙන්න ඕන. ඒකට රසිකයන්ට දැනෙන නිර්මාණ කරන්න ඕන. එවැනි නිර්මාණ කළොත් තමයි හැමෝමගේම මතකයේ රැඳෙන්න පුළුවන් වෙන්නේ.
Q උදව් කරපු පිරිසක් ඇතිනේ මේ ගමනේදි, අවසාන වශයෙන් කතා කළොත් ඒ අය ගැන?
ඔව්. මේක තනියම ආපු ගමනක් නෙවෙයි. ගොඩක් කරදර මැද්දෙ ආපු ගමනක්. විශේෂයෙන් මතක් කරන්න ඕන මගේ දෙමවුපියන්, පවුලේ අය, මගේ ගමේ අය, රාගම හැමෝම.
අද වෙද්දි මට ලංකාවේ හැම තැනින්ම කතා කරනවා. සුබපතලා ලියුම් එනවා.
මට ‘එස්.එම්.එස්.’ කරන අය මතක් කරන්න ඕන. මොකද එස්.එම්.එස්.වලින් තමයි අපි ඉදිරියට යන්නේ. ඒ අයට ස්තුතියි. විදේශ රටවලින් පවා මට කතා කරලා මාව දිරිමත් කරනවා. එතකොට ‘දෙරණ’ ආයතනය මතක් කරන්න ඕන. ‘ඩ්‍රීම් ස්ටාර්’ ටීම් එක, මගේ සංගීත ගුරුවරු අකිල සර්, උදිත සර්, රජිව් සර්, උපුල් සර්, රුක්ෂාන් සර්. එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕන ‘ෆ්ලෑෂ්බෑක්’ රෝස් අලගියවන්න අයියාව. ඔහු තමයි මගේ හඬ පාලන දේවල්වලට බෙහෙවින් උදව් කරන්නේ. ඔහු අපේ ගමේ කලාකරුවෙක්. ඒ හැමෝටම ස්තුතියි.