තමන්ට අහු නොවන - රූපමය චමත්කාර පමණක් දැක්විය හැකි පසුබිම් තෝරාගෙන තම ප්‍රථම චිත්‍රපටය කිරීම සිනමාකරුවෙකු ලෙසට හොඳ අත්හදාබැලීමක් විය හැක. මාධ්‍ය භාවිතය ගැන හුදු අධ්‍යයනයකට එය ප්‍රමාණත් වනු ඇත. නමුත් වස්තුවිෂය සිනමාත්මකව ගෙනහැර දැක්වීමට නම් මතුපිට සිල්ලර කාරණාවලට වඩා එහි යටි පෙළ ගැන සිතීම හුදු බයිස්කෝප් එකකින් එපිටට ගොස් සිනමාත්මක කාව්‍යයක් කිරීමට මූලබීජ සපයනු ඇත. වාසනාවකට සම්මානනීය චිත්‍රපටයක් ලෙස ශමීර නාඔටුන්නව පසුගිය කාලය තුළ ඉතා අවාසනාවන්ත ලෙස උත්කර්ෂයට නැංවුණේ ඔහුට ජීවිතය හෝ වස්තුවිෂය බාහිර ආටෝපවලින් එපිටට හසුකර ගැනීමට නොහැකි වූ හුදු රූප මාධ්‍ය උත්සාහයකටය. වඩා භයානක වන්නේ සිනමාකරුවකු ලෙස ශමීරගේ උත්සාහය නොව ඔහුව සිනමා සමාජයක්, අධිකාරියක් විසින් උස්සා තැබූ සඳළුතලයෙන් ඔහු කෙසේ පොළවට වැටේද යන්න ගැනයි.
ශමීර නාඔටුන්නගේ 'මෝටර් බයිසිකල්' සිනමා කෘතිය තිරගත වීම ආරම්භ වන්නේ කිසිදු විරෝධාකල්පයක් නැති සාමාන්‍ය සම්මත ධාරවක් ඔස්සේය. නමුත් චිත්‍රපටය සමාජගත වන්නේ නැතහොත් සමාජගත කරන්නට උත්සාහ කළේම විකල්ප ධාරාවේ සිනමා කෘතියක්- යම් වෑයමක ප්‍රතිඵලයක් ලෙස තිරගත කළ හැකි වූ ලෙසටයි.
ලංකාවේ චිත්‍රපට ප්‍රේක්ෂකයාව උසිගැන්වීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන පෙළඹවීම මාර්කටින් වැඩක් ලෙස පෙනෙන්නට තිබුණත්, ඉතා අනර්ථකාරී ලෙස සිනමා කෘතිය පිළිබඳ ප්‍රේක්ෂකයාගේ මසැසත්, මනැසත් දෙකම සංවිධානය කිරීම ප්රේක්ෂකයන්ගෙන් සිනමාව ගැන ඇතිකරන අව්‍යාජ වසඟය හකුලුවාලයි.අද (19දා) සිනමාහල්වලින් නික්මෙන මෝටර් සයිකල් ගැන මේ සටහන තබන්නේ සිනමාකරුවා ඇතුළු නිර්මාණ ශිල්පීන්ද සේම එය මෙහෙයවන වෙළෙඳ අධිකාරිය විසින්ද එකතුව සිනමා කෘතියක් ලෙස මෝටර් සයිකල් චිත්‍රපටය ප්රේෂ්කයාගෙන් දුරස්තීකරණයට ලක්වූ නරුම ක්‍රියාවලිය ගැන පසු සටහනක් ලෙසයි.
මංමුලා වූයේ - ප්රේක්ෂකයාද සිනමාකරුද?
මේ නිර්මාණය ගිය වසරේ කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම ශ්‍රී ලාංකීය චිත්‍රපටය ලෙස සහ 2015 සාර්ක් ජාත්‍යන්තර සිනමා උලෙළේ හොඳම චිත්‍රපටය ලෙස සම්මාන ලබමින් සිනමා කෘතියක් සේම අධ්‍යක්ෂවරයෙකු ලෙසත් ශ්‍රී ලංකාව තුළ ශමීර නාඔටුන්නව උත්කර්ෂයට හා අතිශයෝක්තියට නැංවෙන ලදී. එය කාලානුරූපීව සිද්ධවූ අකරතැබ්බයක් වුවත් ඒ තරම් පුද්ගලිකව ශමීරටත්, මෝටර් සයිකල් චිත්රපයටත් සිද්ධවූ අනර්ථයක් නොමැති තරම්ය.
චිත්‍රපටයට වස්තු විෂය වන නාගරික වතු සංස්කෘතිය නොහොත් මුඩුක්කු භූමිය හා එහි සමාජය සිනමාකරුවෙකු ලෙස අතැඹුලක් සේ ග්‍රහණය කරගැනීමට ශමීර අසමත් වේ.
රංගනගේ චරිතය කේන්ද්‍ර කරමින් ගොඩනඟන මුඩුක්කුව සිනමාව හෝ ටෙලිනාට්යවලින්ම ෆැන්ටසිකරණයට ලක්කරමින් ඉතා ව්‍යාජ ලෙස ප්‍රේක්ෂකයන්ගේ ඔළුවල මවන ලද චිත්‍ර ඒ අයුරින්ම ශමීරට ගෝචර වීම නවක සිනමාකරුවෙකු ලෙස ඇගයීමේදී දකින අවාසනාවකි. කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය මේ ආදී අනුශාංගික අංශ ඊට වගකිව යුතු මුත් සිනමාව අධ්‍යක්ෂකගේ මාධ්‍ය යැයි තවමත් විශ්වාස කරන හෙයින් මේ සියලු මැසිවිලි ඔහුටම නැගිය යුතු යැයි සිතමි.
අඳුරේ අතපත ගෑම
වේදිකාව හා සිනමාව ඇසුරේ ගොඩනැගෙන ප්‍රවීණ හා නවක රංගධරයන් සෑහෙන ප්‍රමාණයක් එක්කාසු කරගනිමින් රංගනය තුළින් මතු කරන්නට උත්සාහ දැරූ අපූර්වත්වය නිර්මාණයේ වස්තු විෂය සමග උත්ප්රාසජනකය. චණ්ඩින්, පාතාලය, කළුකඩකාරයන්, කුඩ්ඩෝ, සංක්‍රාන්තික ලිංගිකයෝ මේ බහුවිධ චරිත මවන්නේ හාස්‍යයක් පමණි. සරලව කීවොත් දෙරණ නාළිකාවේ විකාශය වූ 'ගිනි අවි සහ ගිනිකෙළි' ටෙලි නාට්‍ය‘යේ ඔක්කොම චණ්ඩින් ලෙස මැවූ උත්ප්රාසය හා හාස්‍යයට නොදෙවෙනි විකාරරූපී බවක් මෝටර් බසිසිකල් වැනි චිත්‍රපටයකට එක්කාසු වීම අධ්‍යක්ෂකගේ හැර වෙන කාගේ වරදක්ද?
වත්තේ උත්සවයක් තියෙනකොට නටන්නේ සංක්‍රාන්තික ලිංගිකයන් පමණයි. කොස් ගහක් අහලකවත් දකින්නට නැති කොළඹ වතු සංස්කෘතියේ දරිද්‍රතාවය පෙන්වන්නට රංගනගේ (අම්මා ගැන කියන සිංදුවත් සමග) අම්මාත් දවල්ට කන්න කොස්මදුලු ගලවයි. ශමීර උපදින්නේම බෝම්බ, තුවක්කු සුලබව දකින පරපුරක වුවත් ඔහුගේ චණ්ඩින්ටත් තුවක්කු මෑනෙන්නේ රම්බෝ හෝ කොමාන්ඩෝ චිත්‍රපටයක තරම් දුරස්ථ අතිශයෝක්තියකිනි.
කෙල්ලගෙයි කොල්ලගෙයි ආදරය පෙන්වන්න විධිමත් සිනමා වෑයමක සිටින සිනමා කණ්ඩායම කොළඹ නගරයේ තැන් තැන්වල මේ දෙන්නව ක්ලවුන්ලා ලෙස නටන්නට යෙදීම කෙතරම් නීරසද? නගරයේ හැමෝම බලන් ඉන්න තැනක කට්ටියක් වීදි නාට්‍යයක් කරනවා වගේ නටන එක මේ කෘතියට අවංකද? සංකල්පීයද? නමුත් සාපේක්ෂව රූපරාමු අතින් සමානකම් ඇති 'බහුබුතයෝ' චිත්‍රපටයේ කොන්ක්‍රීට් වනාන්තරේ ගීතය ඊට වඩා සංකල්පීයව හොල්මනක් නගරයට ඒම සමග සම්බන්ධයක් සාදාගත හැකි නොවේද?
මඟහැරීම සහ කුහකකම
සිනමාකරුවෙකු ලෙස තමාට නොතේරෙන මඩුක්කු සමාජයට, චණ්ඩින්ට, කළුකඩකාරයන්ට, කැමරාව මානන්නට ගොස් වල්මත් වන ශමීරට තමාට හොඳින් පෙනෙන තමා ඇසුරු කරන සමාජයේ 'තරුණ ගැහැනිය' හෙවත් ටානියා මඟහැරී යාම චිත්‍රපට‘යේ අවසානයේ සිදුවන අහම්බයන් සාධාරණීකරණය කළ හැකි තරම් සරල නොවේ. එය හිතාමතාම සිදුවූවක් ලෙසයි හැඟෙන්නේ
සිනමාත්මකව සැලකූවත් රංගන, රංගනගේ අම්මා, මංජු, ජිම්මා නැත්නම් අනෙක් සෑම පාත්‍ර වර්ගයාගේම ජීවිත හරිම පැහැදිලි අමු ස්වරූපයක් ගන්නා අතර, ඒ කිසිදු චරිතයකින් සිනමා ප්‍රේක්ෂකයාට මවන සිල්ලර කාරණා සම්බන්ධයෙන් මැවෙන පන්ච් එක හැරුණුකොට ජීවිතය ගැන යමක් ඔවුන්ගෙන් හැඟේද? නමුත් පාත්‍ර වර්ගයා අතරින් සිනමාත්මකව ට්විස්ට (Twist) එක මතුකරලිය හැකි වූ එකම චරිතය වූයේ ටානියාය. මධ්‍යම පාන්තික ගැහැනියක ලෙස භාවමය අපහැදිලි නමුත් විවිධ මානයන් පිළිඹිබු කරන චරිතය ඇයයි.
මුළු රාත්‍රියක් පුරා තමාගේ ප්‍රේමය අහවර කිරීමට තමාගේ හිතත්, ආදරේ මතක සැමරුමුත් එක්කාසු කරගෙන බෑග් එකේ දමාගෙන හිඳින ටානියා මේ ප්‍රේමයේ අවසන් දවසේ රංගනත් සමග ෆිල්ම් හෝල්, පාර්ක්වලට විතරක් නොවෙයි රූම් එකකටත් යයි. ඇයගෙන් තරම් ප්‍රේක්ෂකයාගේ මනස වංකගිරියක අතරමං කිරීමට තරම් වටින තවත් වස්තු විෂයක් මේ චිත්‍රපට‘යේ තිබේද? සිනමාකරු සේම සිනමාපටය විසින්ද ටානියාගේ චරිතය තිර රචනයෙන් සේම කැමරාව ඇතුළු තාක්ෂණික මාධ්‍යයන් තුළින්ද හිතාමතා මඟහරින්නේ ටානියාගේ ජීවිතවලට එබෙන්නට හා එය කියවීමට ඇති බය හෝ කුහකකම නිසාද? එය වඩාත් ගම්‍ය වන්නේ අනෙකුත් සියලු රංගධරයන් අභිභවා කැමරාවක් ගැන කිසිදු හාංකවිසියක් නැතිව රංගකාර්යයේ යෙදෙන සමනලීගෙන් ගත යුත්තද නොගෙන සෙසු ශිල්පීන්ට ඇමිණු ආභරණ වන් රංග විධි ඉස්මතු කරන්නට යාමෙනි.
සැඳැල්ලෙන් වැටෙන්නට පෙර
ලංකාවේ සුපර් ස්ටාර් ජයග්‍රාහකයන්ට වගේ මුදුනට ගෙනැල්ලා අතහැරීමෙන් ඒ මිනිස්සුන්ට නොහොත් නිර්මාණකරුවන්ට වන අහේනියම ශමීර වැනි නිර්මාණකරුවන්ට විය හැකි බවට අනතුරක් දිස්වේ. විචාරකයන්, සම්මාන උලෙළවල් පමණක් නොව සිනමා වෙළෙඳ අධිකාරීන්ද අනවශ්‍ය ලෙස සිනමාකරුවන්ව උත්කර්ෂයට නැංවීමේ ආනිශංසය මතම මේ අදහස් දැක්වීම මෝටර් බයිසිකල් සඳහා ගොනුකරනු ලැබේ. ඒ හුදෙක් සහෘද සිතින් සිනමාකරුවාගේ නිර්මාණ කාර්යය පිටස්තරව දකින්නෙකුගේ අදහස ප්රක්ෂේපණය කිරීමට මිස හුදු ග්‍රාම්‍ය විවේචනයකට හෝ පහර ගැසීමකට නොවන බව කිව යුතුමය.
මක්නිසාද යත් මෝටර් බයිසිකල් ව්‍යායාමය අහවර වී ඇතිමුත් සිනමාකරුවෙකු ලෙස ශමීරගේ ඊළඟ වෑයමට මාධ්‍ය හා සමාජයක් ලෙස පසුබිම සැකසිය යුතුය. අංකූර සිනමාකරුවෙකුගේ දින 50 යන ඊනියා කඩඉම ජයග්‍රහණය කළ ශමීරට ඊළඟ නිර්මාණයකට ශක්තිය හා ජය පතමි.
මාලක වැලිගොඩපොල