මැතිවරණ හතරකදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ හා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරු බලයට පත් කිරීමේදී හඬක් වූ, ප්‍රකට සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක ඒ හේතුව නිසාම පැවති හැම රජයකම ආරක්ෂාව ලැබූ සුරක්ෂිත කලාකරුවෙක්. මේ පැමිණි ගමන්මග හා ඔහුගේ වෙනස්වීම් පිළිබඳව ඔහු අප හා සංවාදයකට එක්වන්නේ එක පෙළට 'ජංගි හොරා' හා 'සරිගම' නමින් චිත්‍රපට දෙකක රූගත කිරීමෙන් පසුව ලද විවේකයකදීයි.
Q මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සුරතලෙක් වෙලා හිටි ඔබ හිටි හැටියේ වෙනස් වූයේ ඇයි?
මං මහින්ද රාජපක්ෂ මහතාගේ හුරතලෙක් කියන සඳහනට මම කොහෙත්ම කැමති නැහැ. 2000 වසරේදී සහ 2005 වසරේදී පැවති මැතිවරණවලදී මම මහින්ද රාජපක්ෂ මහතාට උදව් කළා. හැබැයි හැමවිටම මම ඔහුගේ මතවාද සමග ගැටුණු කලාකරුවෙක්. ඔහු සමග තර්ක කරමින් ඔහු පිළිබඳව විවේචනය කරමින් මම හිටිය නිසාම ඔහු මා පිළිබඳව සෑමවිටම හිටියේ තරමක සැකයකින්. මම තනතුරු ඉල්ලා නොසිටියත් අනෙක් කලාකරුවන්ට දුන්න තනතුරු මට දුන්නෙ නැත්තෙත් ඒ හේතුව නිසාම වෙන්න ඇති කියලා අද මට හිතෙනවා. ඔහුට මාව ප්‍රිය චරිතයක් නොවුණත් කුළුපඟ මිතුරෙක් ලෙස ඔහු මාව ඇසුරු කළා. බොහෝ අවස්ථාවලදී කලාව සම්බන්ධ විෂයන්වලදී ඔහුගේ මතයට එරෙහිව මම අදහස් ප්‍රකාශ කළා.
Q එලෙස එරෙහිව ඔබ නැගී හිටපු එක් අවස්ථාවක් කියන්න පුළුවන්ද?
වතාවක් මහින්ද රාජක්ෂ මහතා මම ඇතුළු කලාකරුවන් කැඳවලා ප්‍රකාශ කළා විදේශීය ටෙලිනාට්‍ය ලංකාවේ නාළිකාවල පෙන්වීමේදී අයකරන ලද බදු මුදල කෝටි ගණනක් එකතුවෙලා තියෙනවා කියලා. ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රය වෙනුවෙන් ඒ මුදල කෙසේ වියදම් කළයුතුදැයි යෝජනාවලියක් සපයන ලෙස දන්වා ඔහු කමිටුවකුත් පත්කළා. මමත් එම කමිටුවේ හිටියා. මේ කමිටුවට රන්මිණිතැන්න සිනමා ගම්මානය හැදීමේ යෝජනාව ආපු අවස්ථාවේ අපේ කමිටුව එය ප්‍රතික්ෂේප කළේ ලංකාව සුන්දර දර්ශන පසුතල සහිත රටක් නිසා දර්ශන පසුතල ඉදිකළ යුතු නැති බව පවසමින්.
අපි යෝජනා කළේ සිනමා චිත්රාගාරයක් හා ශබ්දාගාරයක් හදා දෙන ලෙසයි. මෙහෙම කමිටුවක් පත්කරලා අපේ යෝජනා ගත්ත මහින්ද රජපක්ෂ මහතා හිටි හැටියේ දවසක අපිව කැඳවලා කියනවා තිස්සමහාරාමෙ ටෙලිනාට්‍ය සිනමා ගම්මානය සෑදීමට මුල් ගල තැබීමේ උත්සවය සැලසුම් කරන්න කියලා. එවෙලේ තමයි මම ඔහුගෙන් ඇහුවේ අපි විරුද්ධ වුණ මේ යෝජනාව ක්‍රියාත්මක කරන්නේ කාගේ උවමනාවටද, කාගේ යහපත සඳහාද කියලා. ඔහු එවෙලේ බලාපොරොත්තු වුණා ඔහුගේ වටේ හිටපු ඇමතිවරු ලේකම්වරු හෝ අවශේෂ කලාකරුවෝ මේ ප්‍රශ්නෙට පිළිතුරු දේවි කියල.
ඒත් ඔවුන් කිසිවෙක් පිළිතුරු දුන්නේ නැහැ. ඒ පාර මහින්ද රාජපක්ෂ මහතා මට කිව්වා ඒක කලාකරුවන්ගේ යහපත පිණිස කරන මගේ යෝජනාවක් කියලා. ඒ මොහොතේ තර්ක කිරීමෙන් ඵලක් නොවන බව දන්නා මම 'ඒක එහෙම නම් ඔබතුමා මේ කලාකරුවන් කැඳවලා අපේ යෝජනා අදහස් විමසන එක නිෂ්ඵල කටයුත්තක් නේද' කියලා පවසලා එම හමුවීමෙන් නැගිටලා එළියට ආවා. එවැනි සිදුවීමක් වුණාද කියලා ඔබට දැනගන්න පුළුවන් එදා එතන හිටපු කලාකරුවන්ගෙන්.
Q ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයෙන් පහකිරීමේ ක්‍රියාවලියට සක්‍රීය දායකත්වයක් දෙන්න තව මොන කරුණුද බලපෑවේ?
එවකට සිටි රජයේ දූෂණ හා වංචාවලට සම්බන්ධ මැති ඇමැතිවරුන්ට විරුද්ධව ක්‍රියා කරන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලා සිටියා. එවැනි අයට විරුද්ධව ඔහු පියවර ගත්තේ නැහැ. ඔහු ඔවුන්ව ආරක්ෂා කළා. තමන්ගේ පවුලට පමණක් සීමා වුණු ඒකාධිපති පාලකයෙක් ලෙස ඔහු දිගින් දිගටම රට පාලනය කළා. ඔහුගේ පළවෙනි ධුර කාල සීමාවේ තමයි රන්මිණිතැන්න යෝජනාව අවේ.
මම ඒකට විරුද්ධ වුණේ ඒ කාලේ. දෙවැනි ධුරය ආරම්භ වූ අවධියේ එනම් 2006 වසරේ ඔහු ගන්නා තීරණ පිළිබඳව මම මගේ විරුද්ධත්වය දිගින් දිගටම ප්‍රකාශ කළා. 2015 මැතිවරණය එනකම් මම කලාකරුවො අතරෙත් තනිවෙලා හිටියේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය හරහා රාජ්‍ය මාධ්‍ය තුළ සිදුවූ දූෂණය අපි පැමිණිලි කළාට ඔහු ඊට කිසිම අවධානයක් යොමු කළේ නැහැ. ඒ නිසා තමයි මම ඔහුට එරෙහිව නැගී සිටියේ. මොකද ඔහුව පත්කිරීමේ පසුබිමේ හිටපු කලාකරුවෙකු ලෙස ඔහුගේ මේ වැරදි ක්‍රියාකලාපය නිසා මටත් මේවට වග කියන්න වෙන බව දන්නා නිසා.
Q එතකොට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට පත්කිරීමෙන් කරපු වෙනස පිළිබඳව ඔබට සතුටුයිද දැන්?
ඔව් මට සතුටුයි. එදා රටේ තිබුණු තත්ත්වය අනුව එය විය යුතු දෙයක් වුණා. වල් බිහිවෙලා තිබුණු දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයි කියලා තමයි අපි එහෙම කළේ. හැබැයි අද දිනයේ තියෙන තත්ත්වය බලනකොට අපි හිතපු අන්දමට එම වෙනස වෙලා නැහැ කියලා තමයි මට කියන්න වෙන්නේ. වත්මන් රාජ්‍ය බලධාරීන්ගේ ක්‍රියාකලාපය මම අනුමත කරන්නේ නැහැ. හැබැයි ඒකට විකල්පය අයෙත් මහින්ද රාජපක්ෂ මහතා බලයට ගේන එක නම් නෙවේ. එදාට වඩා යම් හොඳ තත්ත්වයක් මේ රජයේ තියෙනවා.
හැබැයි මේ යන විදියට නම් අපි බලාපොරොත්තු වන වෙනස මේ කණ්ඩායමෙන් නොලැබෙන බව විශ්වාසයි. අපි බලාපොරොත්තු වන වෙනස කියන්නේ ජනාධිපතිගේ ධූර කාලය හෝ බලතල සීමා කිරීමවත්, එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගියෙන් රට පාලනය කිරීමවත් නොවේ. අපි බලාපොරොත්තු වන දේශපාලන සංස්කෘතිය රටේ ජනතාව හඳුනාගෙන තියෙන්නේ වැරදි විදියට. තමන්ගේ ළමයට රස්සාවක් අරන් දෙන්න, තමන්ට රැකියාවක් හෝ රැකියාවේ උසස්වීමක් ගන්න, එහෙම නැත්නම් ස්ථාන මාරුවක් හදාගන්න, පාසලකට ළමයෙක් ඇතුළත් කරගන්න, නැත්තම් කොන්ත්‍රාත්තුවක් ගන්න වගේ පෞද්ගලික ඵලප්ර‘යෝජන සඳහා තමයි රටේ බහුතර ජනතාව දේශපාලකයන්ට සහයෝගය දෙන්නේ.
රටකට යහපතක් වීම, සමාජය යහපත් වීම, රට දියුණු වීම හෝ ඉපදෙන දරුවාගේ අනාගතය වෙනුවෙන් යහපත් ලෝකයක් තැනීම වැනි අරමුණු ඔවුන්ගේ හිතේ නැහැ. පක්ෂයක ප්‍රතිපත්ති හා සැලසුම් බලා ඡන්දය දීමේ හෝ සහයෝගය දීමේ ක්‍රමයක් ඔවුන්ගේ හිතේ නැහැ. මේක තමයි අපේ රටේ තිබෙන වැරදි දේශපාලන සංස්කෘතිය. දේශපාලකයා කියන්නේ අපේ රටේ සර්වබලධාරියා. ඔවුන්ගේ අතේ ඇති බලතල අසීමිතයි. කොටින්ම අද අපේ රටේ රෝහලක ඇඳක් ගන්න ගියත් දේශපාලකයෝ මැදිහත් වෙනවා. මෙහෙම සිදුවන රටක් ලෝකයේ කොහේවත් නැහැ. මේ සියලු දේ සිදුවෙන්න ඕන දේශපාලකයා හරහාය කියන මතය මහජනතාව විසින්ම ඇතිකරගෙන තිබීමයි මේකට මූලික වූ හේතුව. මේ ක්‍රමය වැරදියි. මේක වෙනස් වෙන්න ඕන.
Q ඒ කියන්නේ මේ පවතින රජය තුළින් ඔබ බලාපොරොත්තු වන අරමුණ ඉටුවෙන්නේ නැහැ?
මේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන අලුත් දේශපාලන සංස්කෘතිය ඇතිවේවි කියලා මම කවදාවත් හිතන්නෙ නැහැ.
මෛත්‍රීපාල සිරිසේන මහතාට වෙලා තියෙන්නෙත් මහින්ද රාජපක්ෂ මහතාට වෙච්ච වැඩේමයි. මහින්ද මහත්තයා මොකක්ද කළේ. තමන් අනුමත නොකළත් තමන්ට බලයේ රැඳී සිටීම සඳහා වැරදි පුද්ගලයන් අරක්ෂා කරමින් ළඟ තබා ගත්තා. තමන්ගේ බලය පිරිහේවි කියලා හිතලා මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නෙත් ඒකමයි. ඔහු හොඳටම දන්නවා වැරදි කළ සියලුදෙනාම කවුද කියලා. හැබැයි ඔහු ඔවුන් හැමදෙනාම ආරක්ෂා කරනවා තමන්ගේ බලය පිරිහේවි කියන බයට.
රනිල් වික්‍රමසිංහ මහතාටත් මේ පිළිවෙත අනුගමනය කරන්න වෙනවා තම බලය රැකගැනීම වෙනුවෙන්. මේවා රට වෙනුවෙන් කරන අරගල නෙවෙයි. මෙය තමන්ගේ බලයේ පැවැත්ම වෙනුවෙන් කරන අරගල. මගේ විකල්පයක් තියෙනවා. හැබැයි ඒක ටිකක් බරපතළයි. මේක මගේ හීනයක්. හැබැයි කරන්න බැරි දෙයක් නොවේ. ඇත්තටම මේ රටට ආදරේ කරන මේ රටේ පවතින දූෂණ වංචා පැහැදිලිවම අවබෝධකරගත් නිවැරදි අවබෝධයක් තිබෙන උගතුන් බුද්ධිමතුන් මේ රටේ එමට ඉන්නවා, නිහඬව.
ඔවුන් රටේ පවතින අප්‍රසන්න දේශපාලන තත්ත්වය දැකලා පිළිකුල් සහගතව එය බැහැර කරලා මොනම අන්දමකින්වත් ඒ ගැන කතා නොකර නිහඬව ඉන්නවා. අපේ රටේ මේ දූෂිත දේශපාලනයෙන් රට ගලවා ගන්න මම කියපු අර නිහඬව ඉන්න උගතුන්, බුද්ධිමතුන් මැදිහත්වෙලා මේ පාලක පන්තියට දැඩි බලපෑමක් කරන්න ඕන. යම් මැදිහත්වීමක් වෙන්න ඕන. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තට්ටු මාරු දේශපාලනයෙන් රට මුදවා ගැනීමයි දැන් කළ යුත්තේ.
Q අවසානයට කියන්න මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති පදවියට පත්වූ වහාම ඔබ රූපවාහිනී සංස්ථාවේ සභාපති වීමත්, ඉන් මාස නවයකට පසු එය අත්හැර යාමත් පිළිබඳව කතාව?
මැතිවරණ ජයග්රහණයෙන් පස්සෙ දවසේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මට කතා කරලා කිව්වා 'සෝමේ රූපවාහිනී සංස්ථාව බාරගන්න' කියලා. මම ඇහුවා 'ඇයි සර්, මාත් එක්ක තරහද?' කියලා. ඔහු හිනාවුණා. 'ඒ ඇයි' කියලා ඇහුවා. තනතුරු ගන්න ඇති අකමැත්ත මම කිව්වා. 'ඔයාලමනේ කියන්නේ මාධ්‍ය හොඳ නැහැ, ළමයින්ට වැරදි ආදර්ශ දෙනවා කියලා. ටික දවසකට හරි මේක කරන්න' කිව්වා. මම භාර ගත්තා.
ටික දවසක් යනකොට මට තේරුණා මේක පරිපාලනමය කටයුත්තක් මිසක් මං වගේ කලාකරුවෙකුට ඔබින තැනක් නොවේ කියලා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් හෝ මට බලපෑම් නාවත්, මම රූපවාහිනී සංස්ථාවට ගිහිල්ලා ගත්ත ක්‍රියාමාර්ගවලට එරෙහිව වෙනත් අයගෙන් ලොකු බලපෑමක් ආවා.
මම රූපවාහිනී සංස්ථාව භාරගත්ත හැටියේ ප්‍රදර්ශනය කළ අවරගණයේ ටෙලිනාට්‍ය කිහිපයක් තහනම් කළා. මිත්‍යා මත වපුරන ජ්‍යෝතිෂ වැඩසටහන් තහනම් කළා. අවරගණයේ සංගීත වැඩසටහන් කිහිපයකුත් නැවැත්තුවා. මේ නවත්තපු ටෙලිනාට්‍ය හා අවශේෂ වැඩසටහන් වාරණයෙන් මුදවා නැවත ප්‍රදර්ශනය කරන්න කියලා මන්ත්‍රීවරු, ඇමතිවරු කිහිපදෙනෙක්ම මට බලපෑම් කළා.
මම වෙලාව එනකන් ඉවසගෙන හිටියා. පාර්ලිමේන්තු මැතිවරණයේදී කථිකයෙක් ලෙස වේදිකාවට නගින්න රූපවාහිනී සංස්ථා සභාපතිකම බාධාවක් බව පවසලා මම ඉවත් වුණා. දැනටත් මට කියනවා තානාපති තනතුර පවා ගන්න කියලා. ආයෙ මම කවදාවත් ඔය වගේ තනතුරු නම් ගන්නෙ නැහැ.
පද්මකුමා බී මෙත්තසේන