වේදිකාවෙන් රංගනයේ කෙහෙළි නංවා රූපවාහිනිය හා සිනමාව ජයගත් ප්‍රවීණ රංගන ශිල්පියෙකු ලෙස රොඩ්නි වර්ණකුල හැඳින්විය හැකිය. දශක ගණනාවක් පුරා වේදිකාව, සිනමාව, රූපවාහිනි මෙන්ම ගීත ගායනයද තරණය කරනු ලැබූ ඔහු අද බිහිවෙමින් පවතින කර්මාන්තය සඳහා දෝෂාරෝපණය එල්ල කරනු ලබයි. මේ පිළිබඳව වැඩිදුර කතාබහ කිරීමේදී ඔහු 'අද' සමග මෙසේ අදහස් දැක්වීය.
Q මේ දවස්වල මොකද වෙන්නේ?
'සෙත් සරණ' කියන ආයතනයත් එක්ක එකතුවෙලා මේ දවස්වල වීදි නාට්‍යයක් කරනවා. එහි දර්ශන 10ක් විතර ඉදිරියට කිරීමට නියමිතයි. විදෙස්ගත වන කාන්තාවන් බොහෝ ඉන්නවා. ඒ අයට සුරක්ෂිත විදේශ ගමනක් කොහොමද වෙන්නේ කියලා විස්තරාත්මක වීදි නාට්‍ය මාලාවක් තමයි ඉදිරිපත් කරන්නේ. මෙය විශේෂයෙන් මීගමුව, වත්තල ඇතුළු ඒ ආශ්රිත ප්‍රදේශවල තමයි ඉදිරිපත් කරන්නේ. මම, ආනන්ද අතුකෝරළ ඇතුළු කණ්ඩායම ඒ කටයුතු කරගෙන යනවා.
ඊට අමතරව 'නරිබෑනා', 'මධුර ජවනිකා', 'වෙඩි තියනෝ' සහ 'හොරු හොඳයි' යන නාට්‍ය වේදිකාගත වෙනවා. ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරන, මංජුල වෙඩිවර්ධන පිටපත් රචනය කරන 'පුංචි ගෙදර ඉන්ද්‍රජාල' කියලා නාට්‍යයක් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වෙනවා. එය පවුලේ සැමට ආසාවෙන් බලන්න පුළුවන් හොඳ ටෙලි නිර්මාණයක් වගේම මම ආසාවෙන් එහි රංගනයේ යෙදෙනවා.
Q අද වේදිකා නාට්‍ය හෝ ටෙලි නාට්‍ය ගත්තොත් එහි ගුණාත්මක පැත්ත අඩු බව තමයි බොහෝ දෙනාගේ මතය. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
මෙගා සිස්ටම් එක ආවට පස්සෙ උණුකැවුම් බානවටත් වඩා ඉක්මනින් නිර්මාණ බිහිවෙනවා. සමහරක් නිර්මාණ කරන ගමන් තමයි පිටපත ලියන්නේ. මේ, මේ ක්රමයේ තියෙන දෙයක්. මොකද සතියට දවස් පහක් මේ නිර්මාණ ප්‍රචාරය විය යුතුයි. එවිට මේ නිර්මාණ සියල්ලක්ම එකම ක්රමයේ, එකම වගේ වෙනවා. අද කාලේ සිංදු වගේ. මොකද අද කාලේ සිංදු ගත්තත් එකම හඬ, එකම තේරුම. ඒ වගේම දෙයක් තමයි ටෙලි නාට්‍යවලටත් වෙලා තියෙන්නේ. මේ තරම් ඉක්මනට නිර්මාණ කිරීමේ හැකියාව තියෙනවද කියන එකත් හිතාගන්න අමාරුයි. ලියන කෙනෙකුට කොටස් 500, 600ක් ලියන්න වෙනවා. අවුරුද්දට මෙච්චරම ලියන්න පුළුවන්ද? එහෙම ලිව්වත් ඒ දේවල්වල ඒකාකාරී බවක් තියෙනවා.
Q ඒ කියන්නේ අද බිහිවෙන ගොඩක් නිර්මාණ වාණිජකරණයට ලක්වෙලාද?
නෑ. මේක වාණිජකරණයම නෙවෙයි. මෙය ක්ෂේත්රයක් විදියට ගත්තාම අධ්‍යක්ෂකවරු, කැමරා අධ්‍යක්ෂකවරු අනෙකුත් තාක්ෂණික ශිල්පීන්, නළු නිළියො ඇතුළු පිරිසට මේ උරුම වෙච්ච කර්මාන්තය. එයින් ඔවුන් ජීවිතය ගෙනයා යුතුයි. බොහෝ අවස්ථාවලදී අපේ හිතවත් පිරිස් මේ සිස්ටම් එකට කැමති නැතුවත් ඇති. නමුත් ඔවුන්ගේ ජීවිකාව පත්වාගෙන යාමට වෙනත් ක්ෂේත්රයක් නොමැතිනම් ඔවුන් මේ ක්ෂේත්‍ර‘යේ නියැළීම සාධාරණයි. එයට දොස් කියන්න කාටවත් බැහැ.
රූපවාහිනිය පටන් අරන් දැනට අවුරුදු 35ක්. ඒ අතීතයේ තිබුණ වගේ සතියකට වරක් ප්‍රදර්ශනය වන, ක්‍රමානුකූලව සැලසුම්කර ඉදිරිපත් කරන ටෙලි නාට්‍යය නැවතත් එනවනම් හොඳයි. නමුත් ඒ කාලේ තිබුණ ආර්ථික වටිනාකම දැන් නැහැ. ඒක කණගාටුවට හේතුවක්. බොහෝවිට අද ටෙලිනාට්‍ය පාලනය වන්නේ රුපවාහිනී නාළිකාවල නිලධාරීන්ට අවශ්‍ය විදියටයි. ඒ සැමගේම බලපෑම්වලට යටත්වෙලා තමයි අපේ නිර්මාණකරුවන්ට නිර්මාණ කරන්න වෙලා තියෙන්නේ.
Q බොහෝ දෙනා ඔබව හඳුන්වන්නේ ගායකයෙක් සහ හාස්‍යෝත්පාදක නළුවෙක් ලෙසයි. මෙයින් ඔබ තෘප්තිමත්ද?
මේ රටේ තියෙන්නේ වැරදි වැටහීමක්. මාධ්‍යයටත් ඕක තියෙනවා. චරිතාංග නළුවෙක් කියන්නේ විවිධ චරිත කිරීම. හාස්‍යජනක ශිල්පියෙක් විදියට ඒ හාස්‍ය ඇතුළෙ මම විවිධ චරිත කරලා තියෙනවා. මිනිසුන් විසින් 'හාස්‍ය නළුවෙක්' යන නමින් මාව කොටුකරලා තියෙනවා. ෆ්‍රෙඩී සිල්වා මහත්මයා එහෙමත් ඒ වගේ කොටු කරලා තිබුණා. ලෝකයේ නම් එහෙම නැතුව ඇති. ලංකාවේ හිතන්නේ ඒ අය නළුවො නෙවෙයි, ඒගොල්ලන්ට පුළුවන් හාස්‍ය විතරයි කියලයි. එහෙම නෑ.
අපි කරන චරිත හරි අමාරුවෙන් කරන්නේ. රිද්මය, දෙබස් උච්චාරණය, හැඟීම් ප්‍රකාශ කිරීම මේ සියල්ලම හරි අමාරුවෙන් කරන්නේ. හරි හැඟීම්බරව, බොහොම සීරුමාරුවට කරන චරිතවලට වඩා මේ චරිත කරන එක හරිම අමාරුයි. ඒකයි ලෝකයේ හාස්‍ය රඟපාන එක අමාරුයි කියලා පිළිගන්නේ. ඒ අමාරු දේ කරන අපිට මේ රටේ බොහෝ බාල මට්ටමකින් තමයි සලකන්නේ. මම කියන්නේ මම ඇතුළු හාස්‍ය ජනනය කරන ශිල්පීන් චරිතාංග නළුවන්ටත් වඩා එහා ගිය අය.
Q ඔබ කියන්නේ හාස්‍යෝත්පාදක ශිල්පීන්ට වඩා අනිත් නළු නිළියන්ට අගය කිරීමක් තියෙනවා කියලද?
නෑ. ඉස්සරනම් එහෙම තිබුණා. හාස්‍යෝත්පාදක ශිල්පීන් සම්මාන උලෙළවල්වල මොන විදියක ප්රමිතියකටවත් ඇතුළත් වුණේ නෑ. නමුත් දැන්නම් සම්මාන උලෙළවල්වල 'වසරේ හොඳම හාස්‍යජනක ශිල්පියා' කියලා සම්මානයක් දෙනවා. ඒක අගය කළයුතු කාර්යයක්. හාස්‍යෝත්පාදක ශිල්පීන්ගෙන් ප්‍රමිතියක් තිබිය යුතුයි. කෝලංකාරයො, ජෝක්කාරයෝ නොවී හොඳ හාස්‍යෝත්පාදක ශිල්පීන් විය යුතුයි. ඒ සමගම ප්‍රමිතියත් අවශ්‍යයයි.
Q ප්‍රේක්ෂකයන් පවසන දෙයක් තමයි පැරණි නිර්මාණවල තිබුණ හාස්‍ය රසය දැන් දැන් දකින්නට නොලැබෙන බව. ඔබ මේ දේ දකින්නේ කොහොමද?
කාලානුරූපව ගත්තාම ඒ කාලයේ නළුනිළි සංඛ්‍යාව හා නිර්මාණ බිහිවීම හරිම අඩුයි. වර්තමානය ගත්තාම ශිල්පීන් බොහෝ පිරිසක් ක්ෂේත්රය තුළ සිටිනවා. මේ හැමදේම සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. අද බොහෝ ක්ෂේත්රවලට සිදුවෙලා තියෙන්නේ මේ දේ. අපිට ආගන්තුකව තිබුණ බොහෝ දේවල් අද අපේ සමීපයටම ඇවිල්ලා. ටෙලිනාට්‍ය ක්ෂේත්රය, රංගන ක්ෂේත්රය, මුද්‍රණ ක්ෂේත්රය, ඡායාරූප ක්ෂේත්රය, රුපලාවණ්‍ය ක්ෂේත්රය කියන දේවල් හරිම සුලබ දේවල් වෙලා.
තව ටික කාලයක් යනකොට ගෙවල් 10ක් ගත්තොත් ඒ හැම එකකම සැලුන් තියේවි. හැමතැනම ප්‍රින්ට්න් ෂොප් තියෙයි. හැමතැනම නළු නිළියො ඉදිවී. මේ වගේ මේක මහ පුදුමාකාර විදියට සාමාන්‍යකරණය වෙලා ඉවරයි. ඒ නිසා කාටවත් මේ කිසිම දේක අගයක් නෑ. තව දෙයක් තමයි දක්ෂයෙක් දෙයක් ඉදිරිපත් කළත්, එහි විශේෂත්වයක් දකින්න තරම් ප්රෙක්ෂකයොත් නියම තැන නැහැ.
Q ඔබේ පරම්පරාවේ අය ඔබව මටතොටේදි දැක්කාම කතාබහ කරනවා. අද මෙවැනි තත්ත්වයක් උදාවෙලා නැද්ද?
නැහැ. අද එහෙම තත්ත්වයක් නැහැ. ඉස්සර ජෝ මහත්මයා, ගාමිණී ෆොන්සේකා මහත්මයා, සයිමන් නවගත්තේගම මහත්මයා, මහඇඳුරු සරච්චන්ද්‍ර, මහගමසේකර මහත්මයා, අමරසේව සර් මේ අය දැක්කාම මොකක්දෝ විශේෂත්වයක් තිබෙනවා. ගායන ශිල්පියෙක් වේවා, නර්තන ශිල්පියෙක් වේවා, නළු නිළියෙක් වේවා මේ හැම ක්ෂේත්රයකම ශිල්පියෙක් වේවා ඒ ගෞරවයට විශේෂත්වයක් තිබුණා. අද පඳුරකට ගැහුවොත් මේ සියලුම අය ඉන්නවා. ඒ නිසා මිනිසුන්ට මේක විශේෂ දෙයක් නොවන තැනට පත්වෙලා. දක්ෂයෝ නැතිව නෙවෙයි. බොහෝ දක්ෂයෝ ඉන්නවා. දක්ෂයෝ දක්ෂයි කියලා නම්කරන්න තරම් හොඳ රසිකාගාරයක් දැන් නැහැ.
Q අද කාලෙ බොහෝදෙනෙක් රංගන ක්ෂේත්රයට එන්නෙ යම්කිසි ස්ථාවරවීමක් ගැන හිතේ තබාගෙන. ඔබතුමාලගෙ කාලෙ එහෙම පරිසරයක් තිබුණෙ නැහැ. ඒ ගැන ඔබේ අදහස?
මම ක්ෂේත්රයට ආවෙ 81. ඒ කාලෙ රූපවාහිනිය තිබුණෙ නැහැ. ඒ කාලෙ වේදිකාව හරි ප්‍රබලයි. සිනමාව ප්‍රබලයි. 82 රූපවාහිනිය පැමිණීමත් සමග වේදිකාවේ පිරිස් ක්‍රම ක්‍රම‘යෙන් රූපවාහිනිය ආක්‍රමණය කරන්න පටන්ගත්තා. නමුත් බොහොම කාලයකට වරක් තමයි නිර්මාණයක් ඉදිරිපත් වුණේ. මම හිතනවා අවුරුද්දකට සැරයක් වගේ තමයි අපේ නිර්මාණයක් ප්‍රචාරය වෙන්නේ. දැන් වගේ සුලබ දෙයක් වුණේ නැහැ. නමුත් දැන් එහෙම නෑ. ඕනතරම් පිරිසක් ඉන්නවා. කර්මාන්තය පුළුල්වෙලා තියෙනවා.
ඊට සාපේක්ෂව සතුටු වෙන්න පුළුවන් නිර්මාණ බිහිවෙනවා අඩුයි. ඒත් සමගම ඒවායේ ආර්ථික මට්ටම් පහළට වැටිලා තිබෙනවා. 2000දී ටෙලිනාට්‍ය කොටසට ගෙවූ මුදලට සාපේක්ෂව බැලුවොත් ඊට වඩා අඩු ප්‍රමාණයක් තමයි අද ගෙවන්නේ. ඉතින් මෙය කර්මාන්තයක් ලෙස දියුණුවක් තිබිය යුතුයි. එහෙම වෙලා නැහැ. අද නිර්මාණකරුවො බොහෝ වෙලාවට ක්ෂේත්‍ර‘යට එන්නේ ස්ථාවර වීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. තමන්ට ඇති ආසාවක් හෝ ළදියාවක් සමග කෙසේ හෝ මේ ක්ෂේත්රයට පිවිසීමටයි ඔවුන්ට අවශ්‍ය වෙන්නේ.
Q ඒ කියන්නේ ජනප්‍රියත්වයද හේතුව?
ඔව්. එකපාරටම ජනප්‍රිය වෙන්නෙ නෑනේ. රූපවාහිනියේ මූණ පෙන්නපුවාම පිරිස් අතර කතාබහ ඇතිවෙනවා. එවිට පෙනී සිටීමක් ඇතිවෙනවා. පෙනී සිටීම ස්ථාවර වෙලා කලාකරුවෙක් වෙන්න නම් ලොකු කැපකිරීමක් කළ යුතුයි. එයට මුදල් තිබීමම ප්‍රමාණවත් නෑ. හැකියාව තිබිලත් බෑ. කැපවීම, ඒ පිළිබඳ අධ්‍යයනය තිබිය යුතුයි.
අපිට යන එන තැන්වලදී හම්බවෙන අය කියනවා 'අයියෙ, මට බැරිද පොඩි චරිතයක් දෙන්න, මට මාර ටැලන්ට් එකක් තියෙන්නෙ. පොඩි එකක් අල්ලලා දෙන්න මම කරන්නම් කියනවා'. ඒ වගේ විවිධ අධි තක්සේරුවල ඉන්න අය ඉන්නවා. මම අවුරුදු 35 ඉඳලා ක්ෂේත්‍ර‘යේ ඉන්නවා. ඉතිං මට හිටපු ගමන් හම්බවෙනවා වෙනත් රැකියාවල ඉන්න අය. ඒගොල්ලො කියන ඒවා අහපුවාම පොළොව පලාගෙන යන්න හිතෙනවා. 'අයියා අපිට දෙන්නකො පොඩි කැරැක්ටර් එකක්, අපි නියමෙටම කරලා පෙන්නන්නම්, ඕගොල්ලො කරන දේවල් අපි මෙහෙම කරනකොට කරන්නම්කෝ' ඔන්න ඔහොම කියනවා.
එහෙම බලනකොට මට හිතෙන්නේ අපි මෙච්චරකල් මොකුත් කරලා නෑ කියලා. අවුරුදු 35ක් තිස්සේ ක්ෂේත්‍ර‘යේ හිටියත් අලුත් චරිතයක් කරද්දි අපි තවමත් ආධුනිකයි කියලා තමයි මට හිතෙන්නේ. නමුත් අපේ රසිකයෝ ඉන්නවා අපිව කරේ එල්ලගෙන රඟන්න, ගයන්න පුළුවන් අය කියලා හිතාගෙන.
Q අද වනවිට කර්මාන්තයේ නැඟීසිටීමක් නැද්ද?
නෑ. දැන් මේ කර්මාන්තය පවත්වාගෙන යාමේ කටයුත්තක් තමයි සිද්ධවෙන්නෙ. අපි නිර්මාණවල යම්කිසි ඉහළ ප්‍රමිතියක් තබාගත යුතුයි. එහෙම හොඳ නිර්මාණත් ඉඳහිට බිහිවෙනවා. සමස්තයක් ගත්තාම වැල අය අතට මැස්ස ගහන ක්‍රමයක් තමයි සිද්ධ වෙන්නේ. සමහර රූපවාහිනී නාළිකාවලට සහ ඒවා පාලනය කරන ලොකු ලොක්කන්ට ඕන විදියට තමයි වැඩ සිද්ධ වෙන්නේ.
ඔවුන්ගේ අදහස්වලට එකඟ නැත්නම් ඔවුන්ට පුළුවන්වෙලා තියෙනවා අධ්‍යක්ෂකවරයා වෙනස් කරන්න, නළුනිළියන් වෙනස් කරන්න, අයින් කරන්න. එහෙම බැලුවාම රූපවාහිනී නාළිකා ප්‍රධානියෝ තමයි අධ්‍යක්ෂකවරු, සංස්කරණ ශිල්පීන් වෙලා තියෙන්නේ. එහෙම වෙන්නෙ කොහොමද? අද ඒදේ තමයි අප හැමෝටම තියෙන ප්රශ්නය.
ඡායාරූප - චාමර ලක්රුවන් රණසිංහ