ප්‍රවීණ නර්තනාචාර්ය නිලාන් මලිගැස්පෙ මහතා විසින් නවතම නර්තනාංගයක් හඳුන්වාදීමට කටයුතු යොදා ඇත. එය අගෝස්තු 28 වැනිදා ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 6.30ට දොරට වැඩීමට නියමිත වෙයි. අපි ඒ පිළිබඳව හා නව නර්තනාංග පිළිබඳව ඔහු සමග සංවාදයක නිරත වීමු.
Sri Lankan emotional dance
මේක ඇත්තටම Sri Lankan emotional dance නැත්නම් ශ්‍රී ලාංකේය සංවේදී නර්තනය නමිනුයි හැඳින්වෙන්නෙ. කාලයක් තිස්සේ මම අත්හදා බලමින් හිටියා කොහොමද අපේ සංවේදී දේවල් නර්තනයට ගේන්නෙ, ලංකාවෙ සංගීතය හා ගීතය වෙනුවෙන් යමක් කරන්න පුළුවන්ද කියන කාරණය හා කතා කරන්න බැරි sign language එකෙන් කතාකරන කන් නෑසෙන දරුවන් වෙනුවෙන් අලුත් නර්තන සම්ප්රදායක් හදන්න පුළුවන්ද කියලා. එහි ඉදිරි පියවරක් ලෙස තමයි ශ්‍රී ලාංකීය සංවේදී නර්තනය නිර්මාණය වෙන්නෙ.
මෙය නර්තන ක්‍රමවේදයක් සහ මුද්‍රා ක්‍රමයක්. මෙහිදී මමම නිර්මාණය කරපු මුද්‍රා සහ සංකේත භාෂාව උපයෝගී කරගත් මුද්‍රා ඒකාබද්ධ කරල තමයි මෙම කටයුත්ත සිදු කෙරෙන්නෙ. මෙයට වෙනම ඇඳුම් විශේෂයක්ද භාවිත කරනවා. වෙනම අංගරචනය, වෙනම ආභරණ භාවිත කර තිබෙනවා. මේ තුළ දේශීයත්වය සහ නූතන නර්තන අංග මිශ්‍ර කිරීමක් දක්නට ලැබෙනවා. එහිදී නූතන හා දේශීය ඇඳුම් සංකලනයකුත් දක්නට ලැබෙනවා. වසර විසි හයක් පුරා දරන ලද පරිශ්රමයක ප්‍රතිඵලයක් විදියටයි මෙම නර්තන සම්ප්රදාය එළිදකින්නෙ. මෙය මගේ සිහින එළිවීමක්. එළිදැකීමක් විදියටයි සංවේදී නර්තන කලාව එළිදකින්නෙ. එය අනිද්දා (28දා) ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී සවස 6.30 ට දොරට වැඩීමට නියමිතයි. එයට සමගාමීව %අබිනික්මන^ නම් වූ නර්තනාංගයත්, නොසැලෙන මනස යන නර්තනාංගයත් එළිදක්වනවා .
නිදහසේ රඟන රංගය
මට උවමනාවක් තිබුණා කතා කරන්න බැරි හා කන් නෑසෙන අයත් සමග නිර්මාණයක් කරන්න. බොහෝ කලා කටයුතුවල ඔවුන් හිරවෙන අවස්ථා පවා තිබුණා. හේතුව තමයි සමහර නර්තන කලාවල හැඩතල හා අභ්‍යාසවල ඔවුන් කොටුවෙනවා. නමුත් මේ තුළ ඔවුන්ට නිදහසේ වැඩ කරන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ශරීරයේ තිබෙන සියුම් චලන උපයෝගී කරගෙන එවැනි ළමුන්ට නිර්මාණශීලී ලෙස වැඩ කරන්න පහසුවක් මේ නර්තන කලාව තුළින් ලැබෙනවා. අපට තියෙන ලොකුම අභියෝගය තමයි සමහර වස්තුවලට තිබෙන මුද්‍රා අපට නර්තනයේදී භාවිත කිරීමට අපහසුයි. ඒ වෙනුවට මම නිර්මාණය කළ මුද්‍රා නර්තනයේදී භාවිත කරනවා. වෙනමම නර්තන කලාවක් ශ්‍රී ලාංකේය නර්තන කලාවට 28 වැනිදා සිට එකතු වෙනවා.
මුද්‍රා බස
එය ගොඩාක් සංවේදීත්වය, හැඟුම්බර ශාරීරික චලන මගින් තමයි මෙය නිරූපණය වෙන්නෙ. මේ සඳහා ආයතන කිහිපයක් එක්කත් කතා කරල තියෙනවා, ඒ ඒ ස්ථානවලට ගිහින් ළමයින්ට මෙය පුරුදු පුහුණු කරන්න. මෙය ලෝකෙ පුරාම ගෙන යා හැකියි. එයට හේතුව තමයි මුද්‍රා ඕනෑම තැනක භාවිත කළ හැකිවීම. ඕන භාෂාවකින් ලියූ ගායනයකදී එයට අදාළ මුද්‍රා යොදාගෙන අපේ පාඩම් මාලාවට අදාළ ශාරීරික චලන භාවිත කළ හැකියි. එමෙන්ම ඕනෑම සංගීත ඛණ්ඩයකට අදාළ ආකාරකට රඟ දක්වන්නත් පුළුවන්. මගේ මූලිකම අභිප්‍රාය තමයි නිර්මාණ කරන්න පුළුවන් ළමයින් වෙනුවෙන් සහ මෙයට කැමති හැමකෙනාම වෙනුවෙන් එය හඳුන්වා දීම සහ පුරුදු පුහුණු කිරීම.
(නිලාන් - 0714740799)