මිහිර සිරිතිලක රංගන ශිල්පියාට අඩත්තේට්ටම් කිරීමට එරෙහිව ඔහු විසින් හිරු ටීවී නාලිකාවේ මෙගා බයිට් වැඩසටහන් නිෂ්පාදක හා ඉදිරිපත් කරන්නා ඇතුළු පිරිසකට එරෙහිව පවරා තිබූ නඩුව ඊයේ (21දා) සමතයකට පත්විය. ඒ ඔහු විසින් යෝජනා කර තිබූ ඉල්ලීම්වලට හිරු නාලිකාවේ එකඟතාවය හිමිවීම නිසාය. මෙහිදී මෙගාබයිට් නිෂ්පාදක හා ඉදිරිපත්කරන්නා වූ සනෝජ් නැමැත්තා විවෘත අධිකරණයේදී මිහිරට ආචාර කොට සමාව ගැනීමද සිදුකරනු ලැබුණි.
සමස්ත කලාකරැවන්ගේ ආත්ම අභිමානය වෙනුවෙන් නඩුමගට බැස එය ජයග්‍රහණය කිරීමෙන් පසුව මිහිර 'අද' වෙත මෙසේ අදහස් දැක්වීය.
"නඩුවාර ගණනාවක් පැවැත්වුණා. ඒ අතරතුර කාලයේ හිරු නාලිකාව හා මා අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. කලාකරුවෙක් විදිහට මට විතරක් නෙවෙයි සමස්ත කලාකරුවන්ටම තිබුණු ප්‍රශ්නයක් වුණේ රූපවාහිනී වැඩසටහනකදී කලාකරුවා අසරණ කිරීම. මීට එරෙහිව තමයි මම මේ නඩුව ගොනු කළේ. එහිදී මා ඉදිරිපත් කළ යෝජනාවලට ඔවුන් එකඟවීම තුළ අපට සමතයකට එන්න පුළුවන් වුණා. මේ කටයුත්තෙදි මීගමුව හිටපු සහකාර පොලිස් අධිකාරි ආනන්ද අල්විස්, කොච්චිකඩේ පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ඒ.ඩබ්.එම්. මවුසන් මහතා ඇතුළු සියලු නිලධාරීන්, සියලු මාධ්‍ය ආයතනයන් සහ වසන්ත විට්ටච්චි, සරත් චන්ද්‍රසිරි, කුමාර තිරිමාදුර, ධනංජය සිරිවර්ධන, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි ඇතුළු කලාකරුවන් බොහෝදෙනෙක් දැක්වූ සහයට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම නීතිඥ නෙල්සන් පී කුමානායක මහතා කිසිදු ගාස්තුවක් අය නොකර මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටියා. ඔහුටත් මගේ ස්තුතිය පිරිනැමිය යුතුයි. කලාකරුවෙක් ලෙස මගේ ගෞරවය රැකගන්න ඔබ සියලුදෙනා දැක්වූ සහයට මගේ ස්තුතිය මම යළි යළිත් පුදකරනවා"