නිරූපණයෙන් සහ රංගනයෙන් ක්ෂේත්රයට ප්‍රවිෂ්ට වී ඇති ඇය ලංකිකා මාතොටආරච්චි නම් වෙයි. තවමත් පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත වන ඇය මේ දිනවල විශාල කටයුත්තක් සඳහා සූදානමින් සිටියි. ඒ පිළිබඳව ඇය 'අද' අපත් සමග පැවසුවේ මෙවැන්නකි.
Q ඔබ ගැන හැඳින්වීමක් කළොත්?
මගේ වයස අවුරුදු 19යි. මගේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, අක්කයි. තාත්තා දැනට පිටරට සේවය කරනවා. අම්මා ගෘහනියක්. මගේ අක්කා ශ්‍රී ලංකන් ගුවන්සේවා සමාගමේ ගුවන් සේවිකාවක් විදියට කටයුතු කරනවා.
Q මේ දිනවල සූදානම් වෙන වැඩකටයුත්ත ගැන කතා කළොත්?
මේ දිනවල විශේෂ කාර්යයක් සඳහා සූදානම් වෙනවා. මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ්වයිඩ් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන්න තේරුණේ මම. ඉතිං මේ දවස්වල ඒ සඳහා සූදානම් වෙනවා.
Q ඒ සඳහා අවස්ථාව හිමිවුණේ කොහොමද?
ඒ අවස්ථාව මට ලැබුණේ Shade mirror ආයතනයෙන්. ඔවුන් මුලින්ම ඡායාරූප මගින් තමයි තෝරා පත්කර ගැනීම සිදුකරනු ලැබුවේ. ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයක් තියලා අවසානයේදී මාව තේරුණා.
Q නිරූපණ ක්ෂේත්රය ඔබ හඳුනාගන්නේ කෙසේද?
අයි.ටී.එන්. අවුරුදු කුමරිය ඔස්සේ තමයි මාව හඳුනාගනු ලබන්නේ. එතැන තමා ක්ෂේත්රයට එන්න මගේ පළමු ආරම්භය.
Q ගුවන්විදුලි ළමා නිවේදිකාවක් ලෙසත් කටයුතු කළා නේද?
ඔව්. ගුවන්විදුලිය සඳහා ළමුන්ව කැඳවලා තිබුණා පරීක්ෂණයට. ඒ සඳහා දායක වෙද්දී මම 7 වසරේ ඉගෙන ගනිමින් හිටියේ. මගේ අම්මා තමයි ඒ සඳහා මගේ අයදුම්පත යොමුකරලා තිබුණේ. එහි අංශ හතරෙන්ම මම සමත් වුණා. කථනය, නිවේදනය, නාට්‍ය, ගීත කියන අංශ හතරෙන්ම තේරිලා මම ගුවන්විදුලි ළමා නිවේදිකාවක් විදියට තේරුණා. එතැනදී විදුල ළමා ගුවන්විදුලියේ ළමා නිවේදිකාවක් විදියට කටයුතු කරනු ලැබුවා.
Q නිරූපණය පැත්තෙන් දායක වූ වැඩකටයුතු මොනවාද?
මියුසික් වීඩියෝවක් සඳහා දායක වුණා. තවත් මියුසික් වීඩියෝ සඳහා ආරාධනා ලැබුණා. නමුත් මම භාරගත්තේ නැහැ. මොකද තරගවලට කැපවෙන්න ඕන නිසා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් කිහිපයක් සඳහා දායක වුණා. විම් දිවියට දිස්නේ, මහජන බැංකුවේ සහ රන් කහට කියන වෙළෙඳ දැන්වීම් සඳහා දායක වුණා. තව වෙළෙඳ දැන්වීම් කිහිපයක් එළිදැක්වීමට නියමිතව තියෙනවා.
Q නිරූපණය කියන්නේ පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක්ද?
නැහැ. එහෙම ලොකු ආසාවක් තිබුණේ නැහැ. මේක වෘත්තිය වශයෙන් කරන්න ඇත්තටම බලාපොරොත්තුවක් නැහැ. වෘත්තිය වශයෙන් මට ඕන මගේ අක්කා වගේ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කරන්න.
Q නිරූපණ ක්ෂේත්රයට ඇතැම් අය එල්ලකරන චෝදනා ඔබත් පිළිගන්නවාද?
නිරූපණ ක්ෂේත්රය විතරක් නෙවෙයි, අනෙකුත් ක්ෂේත්රයන් වලත් නොයෙකුත් චෝදනා තියෙනවා. අපි හොඳට හිටියොත් කියන දේ තමයි මම හිතන්නේ වැදගත්ම දේ.
Q රැකියාවටද, නිරූපණයටද මුල්තැන දෙන්නේ?
හරියටම මම කරන්නේ මගේ රැකියාව. මම නිරූපණය කරන්නේ වෘත්තිය වශයෙන් නෙවෙයි. ගුවන් සේවිකාවක් වෙන එක තමයි මගේ එකම අරමුණ. ඒ නිසයි ඒ සඳහා උපරිම දායකත්වය සහ මුල්තැන ලබාදෙන්නේ.
Q අධ්‍යාපන කටයුතුවල නියැළෙන ගමන් ක්ෂේත්රයට එනකොට පාසලෙන් බාධාවක් තිබුණෙ නැද්ද?
මට එහෙම කිසිම බාධාවක් තිබුණෙ නැහැ. මගේ පාසල පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහල. ඉතිං අනිවාර්යෙන්ම මේ මොහොතේ පාසල මතක් කරන්න ඕන. ඒ වගේම මගේ ගුරුවරුන් මතක් කරන්නත් ඕන. මොකද ඔවුන් මට විශාල ශක්තියක් වුණා. මම පාසලේ ටිකක් ප්‍රසිද්ධ චරිතයක්. ඒ වගේම නර්තනයට, නාට්‍යවලට මම ගොඩක්ම ළැඳි නිසා බාහිර ක්‍රියාකාරකම් ගොඩක් කළා.
ඒ නිසා මගේ අතපසු වෙච්ච වැඩ ඔක්කෝම මට හරියාකාරව කරගැනීමට පාසලේ ගුරුවරුන් වගේම මගේ යාළුවෝ ගොඩක් උදව් වුණා. ඒ වගේම පාසල සඳහාත් මම ගොඩක් කීර්තිය ලබාදීලා තියෙනවා. 2014 වර්ෂයේ සමස්ත ලංකා ඒකල මුද්‍රා නාට්‍ය තරගාවලියේ පටාචාරා අංශයේ ප්‍රථම ස්ථානය මම දිනාගත්තා. පාසලේ වේදිකා නාට්‍යවල හොඳම නිළිය වෙලා තියෙනවා. එහෙම ගොඩක් ජයග්‍රහණ ලබපු නිසා ගොඩක් හොඳ සහයෝගයක් මට පාසලෙන් ලබාදුන්නා.
Q ලොකුම බලාපොරොත්තුව මොකක්ද?
දැන් නම් තියෙන්නේ 'මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ්වයිඩ්' තරගාවලියෙන් ශ්‍රී ලංකාවට උප කිරුළක් හරි ගෙන එන්නයි. ලොකු උත්සාහයක් දරනවා මිස් වර්ල්ඩ්වයිඩ් වෙන්න. ඒක තමයි මගේ දැනට තියෙන ලොකුම බලාපොරොත්තුව.
ඡායාරූප - කවීත් මිලින්ද