ඩ්‍රීම්ස්ටාර් තරගාවලිය ඔස්සේ ඔබ අතරට පැමිණි සඳුන් දර්ශන, ඔහුගේ නවතම ගීතය වන 'ආදරී' තුළින් නැවතත් ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණීමට සූදානමින් සිටී. මේ කතාබහ ඔහු සමගිනි.
Q මේ දවස්වල අලුත් විස්තර මොනවද?
අලුතෙන් ගීතයක් නිර්මාණය කළා. ඊට අමතරව මම අලුතින් ස්ටුඩියෝ එකක් පටන්ගත්තා. දැන් ස්ටුඩියෝ එකේ වැඩවලට මුල් තැනක් දීලා තියෙනවා.
Q අලුත් ගීතය ගැන කතා කළොත්?
අලුත් සිංදුවට ගොඩක් උදව් කළේ මගේ යාළුවො. මම හිතුවා ඒ සිංදුව වෙනස් විදියකට කරන්න ඕනේ කියලා. අපේ උත්සාහය සාර්ථකයි කියලා හිතනවා. 'ආදරියේ' ගීතයේ පද රචනය කළේ දිල්මි පනාපිටිය, තනුව සුරංග ලක්මාල් වගේම සංගීතවත් කළේ රුක්ෂාන් සුබසිංහ.
Q සඳුන්ගෙ පළමු නිර්මාණයෙන් පස්සේ ඇයි දිගු කාලයක් ගත්තෙ අලුත් නිර්මාණයක් කරන්න?
මට ඕන වුණා හොඳ වැඩක් කරන්න. ඒ නිසා මම ටික කාලයක් නිහඬව ඉඳලා අලුත් නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න හිතුවා. මම හිතනවා ඒ වෙනස මේ ගීතයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වුණා කියලා.
Q 'ආදරියේ' ගීතයට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?
මම තාම ගීතය චැනල්වලට දීලා නැහැ. නමුත් එෆ්.එම්. දෙක තුනකට දීලා තියෙනවා. YOUTUBE එකටත් රිලීස් කළා. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
Q වීඩියෝ එක ගැන කතා කළොත්?
වීඩියෝ එක අපි කළේ අම්පාරෙ. උමයංග මල්ලි, චානක මධුසංක, දිනිඳු අයියා, චරිතා මධුභාෂිණී, ප්‍රදීප් අයියා, දුෂානි නංගී වගේම සුසර මල්ලි ඇතුළු ගොඩක් පිරිස වීඩියෝ එකට මට උදව් කළා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි කියන්න ඕන.
Q ඩ්‍රීම් ස්ටාර් එකෙන් පස්සෙ ඇයි වැඩිය දැන් පේන්න නැත්තේ?
වැඩිය පේන්න නැති එකත් ප්‍රශ්නයක් තමා. වැඩිපුර පෙනී ඉන්නකොටත් ප්‍රශ්නයක් නිසා වැඩිපුර නොපෙනී ඉන්න තීරණය කළා.
Q ටීවි දෙරණෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම දෙරණ නිසා තමයි අද සඳුන් දර්ශන කියලා කෙනෙක් ඉන්නෙ. ඒ නිසා දෙරණ පවුලේ සියලු දෙනාටම ස්තුති කරනවා. දෙරණ නිසා තමා මම වගේම ගොඩක් ගායක ගායිකාවෝ ක්ෂේත්රයට ආවේ. අදටත් දෙරණින් ලොකු සහයෝගයක් තිබෙනවා.
Q ක්ෂේත්රයේ අයගෙන් ලැබෙන සහයෝගය මොන වගේද?
ඇත්තටම කිව්වොත් මම ඉගෙනගත්ත ගුරුවරුන්ගෙන් වගේම තවමත් මට පාසලෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම දැනට මම මියුසික් කරන අජිත් සර්ව මතක් කරන්න ඕන. ඒ සර්ගෙන් තමා සංගීතය සම්බන්ධ ගොඩක් දේවල් ඉගෙනගත්තෙ. හැමදෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබෙනවා සංගීත කටයුතුවලට.
Q සංගීත ජීවිතයත් සමග ඡායාරූපකරණයට යොමුවෙන්න හිතුණෙ ඇයි?
මට ඡායාරූපකරණයට යොමුවෙන්න ලොකු අාසාවක් තිබුණා ගොඩක් කල් ඉඳන්. මේ ෆීල්ඩ් එකට ආවේ නැත්නම් අනිවාර්යයෙන්ම මම ෆොටෝග්‍රැෆර් කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. ඒකට ඉස්සෙල්ලා මේක වුණ නිසා දැන් කොහොම හරි දෙකම බැලන්ස් කරගෙන යනවා.
Q ස්ටුඩියෝ එක ගැන විස්තරයක් කිව්වොත්?
ස්ටුඩියෝ එක 'Saada Creation' පූගොඩ ටවුන් එකේ තමා තියෙන්නෙ.
Q ඉදිරි වැඩ කටයුතු, බලාපොරොත්තු ගැන කිව්වොත්?
මගේම කියලා මියුසික් ක්ලාස් එකක් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම ස්ටුඩියෝ එක දියුණු කරගෙන ළඟදිම තව ගීතයක් දෙකක් වීඩියෝවක් සමගම නිර්මාණය කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම කාටවත් කරදරයක් නැතිව සතුටින් ජීවත්වෙන්න තමා බලාපොරොත්තුව.