මෙරට ගුවන්විදුලි වැඩසටහන් අතර ඕලාරිකව ගලාගිය සවස 4-6 ගුවන් කාලය වින්දනීයව වෙනස් මානයකට රැගෙන යෑමට 2006 වසරේදී සිරස එෆ්.එම්. හරහා ඇරඹි ටාසන් බාප්පා වැඩසටහන සමත් වූ බව නොරහසකි. නමුත් ඉන් වසර කිහිපයකට පසුව ටාසන් බාප්පා හෙවත් චතුර විජේරත්න සිරස නාළිකාවෙන් ඉවත්ව ගොස් ශ්‍රී එෆ්.එම්.හි සහකාර වැඩසටහන් අධ්යක්ෂ ලෙස කටයුතු කිරීමත් සමග ඔහුගේ ටාසන් බාප්පා භූමිකාවට තාවකාලිකව විරාමයක් එළඹුණි. කෙසේ නමුත් ඔහු යළිත් ටාසන් බාප්පා ලෙස කලඑළි බැසීම එළඹෙන 14 වැනිදා සිට සිදු වෙයි. ඒ අයි.ටී.එන්. එෆ්.එම් හරහා සවස 4-6 ගුවන් කාලයේ විකාශය කෙරෙන අයි.ටී.එන්. හැන්දෑව වැඩසටහනේ %ටාසන් බාප්පා වැඩසටහන තුළිනි. මේ ඒ පිළිබඳ ටාසන් බාප්පා හෙවත් චතුර විජේරත්න සමග කළ සංවාදයකි.
?ඉදිරිපත් කිරීමට නියමිත වැඩසටහන ගැන මුලින්ම කතා කළොත්
මම ඉතින් ‘ටාසන් බාප්පා’ හැටියටනේ රටම හඳුනන්නේ. පසුගිය කාලයේ ‘ශ්‍රී එෆ්.එම්’ එකේ වැඩසටහන් අංශය බාරව ඉන්න වුණා. ඒ තිබුණු වගකීම් එක්ක මට මේ වැඩසටහන කරන එක මගහැරිලා ගියා. ඉතින් ඊට පස්සේ නැවතත් මේකට ඉල්ලුමක් තියෙනවා කියලා මට නැවත ආරාධනාවක් ආවා. අයි.ටී.එන්. එකෙන් ආරාධනා කළා එන්න අපේ චැනල් එකේ කරන්න කියලා. එය පිළිගත්තා. ඒ අනුව ‘ටාසන් බාප්පාට’ ආයෙත් පණ දෙන්න තීරණය කළා. ඒ හිතලා මම අයි.ටී.එන්. එකට සම්බන්ධ වුණා.
වැඩසටහන මැයි 14 වැනිදා පටන් ගන්න තියෙන්නේ. මේ වැඩසටහන කාලයක් මගෙත් එක්ක කරපු ආකාශ් මට එකතු වෙනවා. සුපුරුදු 4-6 වෙලාවට සඳුදා ඉඳලා සෙනසුරාදා වෙනකම් එෆ්.එම්. 93.5 සහ 93.7 හරහා ආපසු ‘ටාසන් බාප්පා’ අහන්න පුළුවන්කම තියෙනවා.
?මේක ඔබ මීට පෙර සිරසේ කළ සුපුරුදු වැඩසටහනමද
දැන් අභියෝගයක් තියෙනවා. ‘ටාසන් බාප්පා’ ට්‍රෙන්ඩ් එකක් පටන් ගත්තනේ. ඒ ට්‍රෙන්ඩ් එකේ 2006 කරපු දේවල් දැනට වලංගු නෑ. ෆේස්බුක් ගිහින් වුණත්, එළියට ගිහින් බැලුවත් මිනිස්සු ගොඩක් නිර්මාණාත්මකයි. මිනිස්සු දේවල් හිතන පතන විදිය වෙනස් වගේම දැන් මිනිස්සුන්ට ඒ නිර්මාණාත්මක දේවල් එළියට දාන්න තැන් තියෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සු ගොඩාක් නිර්මාණ සිදු කිරීම පැත්තෙන් ඉදිරියට ඇවිත් තියෙන්නේ. මිනිස්සු ඒ හිතන පැත්තෙන්, හිතන විදියත් එක්ක මටත් අනුගත වෙන්න සිදු වෙනවා. මට නෙවෙයි විශේෂයෙන්ම ටාසන් බාප්පාට. 2006දී ‘ටාසන් බාප්පා’ ඇහුව කෙනෙකුට එදා අවුරුදු 10යි නම් දැන් එයාට තව අවුරුදු 12ක් එකතු වෙලා. ඒ කියන්නේ දැන් එයාට 22යි. ඉතින් ඒ හැම කෙනෙකුටම ගෝචර වෙන විදියට හා අලුතෙන් හිතන විදියට ‘ටාසන් බාප්පා’ ටිකක් අලුත් කරන්න වෙනවා. එහි කියන දේවල් ටිකක් වෙනස් වේවි. දැන් ‘ටාසන් බාප්පා’ එදාට වඩා ඉහළ විදියට කරන්න සිදුවෙනවා. එහෙම නැතිව අයියෝ අපි කියන ඒවමනේ ටාසන් බාප්පත් කියන්නේ කියන තැනට ආවොත් ප්‍රශ්නයක් වෙනවා. ඒ සියලු පරම්පරාවන් හිතනවාට වඩා ඉදිරියෙන් හිතලා අලුත් දෙයක් කරන්නම සිදු වෙනවා.
?ඔබ ‘ටාසන් බාප්පා’ වැඩසටහනින් ඉවත් සිටි සමයේ ඩුප්ලිකේට් ටාසන්ලා රැසක් විවිධ නාළිකා තුළින් වැසි වැස්සා නේද
ටාසන් බාප්පලා වැසි වස්සන එකක් හැදුවේ මං හදපු තැනින්මයි. ‘ටාසන් බාප්පා’ නිර්මාණය කරපු මිනිස්සුමයි තව ටාසන් බාප්පලා නිර්මාණය කරලා එළියට දැම්මේ. හැබැයි හඬ අනුකරණය කළා සහ යම් නිර්මාණශීලී හැකියාවක් ඔවුන්ටත් තිබුණා. ඉතින් ඒ හරහා ආව මිනිස්සු තව තවත් චැනල්වල ලොකු පුටුත් දරනවා. ඒක සතුටක්. නමුත් ‘ටාසන් බාප්පා’ කියන එකත්, මම කවුද කියන එකත් එළියට අනාවරණය වුණානේ. ඒ අනාවරණය වීමත් එක්ක මිනිස්සු දැනගත්තා මෙයා තමයි ඔරිජිනල් කියලා. ඒකට හඬ වගේම, කරන දේවල් මිනිස්සු සංසන්දනය කරලා බලන්න ගත්තා. සින්දුවක් ගත්තත් ඔරිජිනල් ටාසන් බාප්පාගේ සින්දුවක් ලියැවෙන විදියයි තව ටාසන් බාප්පලා සින්දු කියන එකෙයි සෑහෙන්න ලොකු වෙනසක් තියෙනවා. ඒ සියල්ල අසන්නෝ දන්නවා. ඒ නිසා ඒක මට ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.
අනිත් එක පත්තරවලට පින්සිද්ධ වෙන්න මිනිස්සු දන්නවා මේකෙ ඔරිජිනල් එක කළේ මම කියලා. මම කරනවා කිව්වොත්, චතුර කරනවා කිව්වොත් ඒ ඔරිජිනල් එක කියන්න දැන් මිනිස්සු දන්නවා. ඒ නිසා මට ලොකු අභියෝගයක් අනිත් ටාසන්ලාගෙන් ආවේ නෑ. මොකද මම ඒක මතම යැපුණේ නෑ. ‘මම ටාසන් බාප්පා’ මතම ජීවත් වුණේ නෑ. මම ඉගෙන ගත්ත දේවල් හා ඒ වපසරිය තුළයි මම ක්‍රියාත්මක වුණේ. ඒක මත්තෙම මම හිටියා නම් සමහර විට මට ප්‍රශ්නයක් වෙන්න තිබුණා.
මගේ නම පාවිච්චි කරලා සමහරු විදේශ සංදර්ශනවලට සඳහා පවා ගිහින් තිබුණා. සමහරුන්ගේ නම අහද්දිත්, තමන්ගේ ටියුෂන් පෝස්ටර්වලටත්, චතුර කියන නම පාවිච්චි කරලා තිබුණා. ඒ පාවිච්චි කිරීමෙන් එයාලටම හානියක් වුණා මිසක් මට පාඩුවක් හෝ ප්‍රශ්නයක් වුණෙත් නෑ, මම ප්‍රශ්නයක් කරගත්තෙත් නෑ. මම මගේ ගමන මගේ පාඩුවේ ආවා. ඒ වගේම නැවතත් ආරාධනා කරන්නේ මට ඉල්ලුමක් තියෙන නිසානේ. මෙතැනින් විතරක් නෙවෙයි ආරාධනා ආවේ. මේක මම පිළිගත්තේ මුලින්ම ආව තැන සහ මෙතැන මට වැඩකටයුතු කරගෙන යන්න ලබා දෙන නිදහසත් එක්ක.
?මේ කාලයේ මෙවැනි වැඩසටහනකට ඉල්ලුමක් තියේවිද
ලංකාවේ හුඟක් රේඩියෝ චැනල් තිබුණට වැඩසටහන් නෑ. හැමෝම කියනවා මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා. අහන්නේ නෑ නෙවෙයි අහන්න දෙයක් නෑ. හැම එකේම තියෙන්නේ එකම දේ. මේකෙ තියෙන දේ අනිත් එකේ කරනවා. ඒකෙ තියෙන දේ තවත් එකක කරනවා. එක චැනල් එකක ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බොත් හැම චැනල් එකේම ඒක කරනවා. කිහිපයක් හැදිච්ච ඒවා තියෙනවා හැරෙන්න එක්කෝ අලුත් පරම්පරාව අලුත් දෙයක් හැදුවේ නෑ. එහෙම නැත්නම් අලුත් පරම්පරාවට අලුත් දේවල් හදන්න චැනල්වලින් ඉඩ දුන්නේ නෑ. මිනිස්සුත් තාම පරණ දේම ඉල්ලනවා. මොකද රේඩියෝවල තාම අලුත් දෙයක් හැදිලා නෑ. ‘නන්ස්ටොප්’ රැල්ල ආවා. අපි ඒක අයින් කරලා ‘ටාසන් බාප්පා’ ගෙනාවා. ඊට පස්සේ හැමෝම හවසට විහිළු කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ‘ටාසන් බාප්පා’ විහිළු කරන එක නතර කළා. තිබ්බ එකත් එහෙමම නැතිවෙලා ගියා. හවසට ට්‍රැෆික් එකේ යනකොට එහෙම මිනිස්සුන්ට අහන්න දෙයක් තියෙන්න ඕනෙ. ඒකට විකල්පයක් හැදුණේ නැති හින්දා මිනිස්සු තාම ‘ටාසන් බාප්පාවම’ ඉල්ලනවා. මම හිතුවේ ඇත්තටම විකල්පයක් හැදෙයි කියලා. නමුත් එහෙම විකල්පයක් හැදුණෙත් නෑ.
?වැඩසටහන් කළමනාකරුවෙක් වෙලා ඉඳලා වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් වෙන්නේ ඇයි
වැඩසටහන් කළමනාකාරවරයෙක් හැටියට හිටියට අපටත් උඩින් පිරිසක් ඉන්නවා. ඔවුන් ගන්න තීන්දු තීරණ තමයි අපටත් ක්‍රියාත්මක කරන්න වෙන්නේ. අපට කළමනාකරණය කරන්න වෙන්නේ හදලා දෙන එක. ඒක එකක්. එතකොට ආයතනයක වැඩසටහන් අධ්යක්ෂ ධුරයක් හම්බ වුණාට පස්සේ එතැනින් එහාට දිගටම යන්න තිබුණනේ කියන ප්රශ්නය බොහෝ දෙනෙකුට ඇතිවෙන්න පුළුවන්. නමුත් මම ඇවිල්ලා මට තියෙන්නේ එක තැනකට සීමා විය යුතු හැකියාවක් නෙවෙයි. මම වසර කිහිපයක් මේ තනතුරේ ඉඳලා ඒකෙ තියෙන රහස් හඳුනා ගත්තා. ඒක ඇතුළේ මම බලාපොරොත්තු වුණ තැනට යන්න මට විදියක් නෑ. තනතුරුවලින් ඉහළට යයි. නමුත් මට යම් දෙයක් සහ මගේ තියෙන හැකියාවෙන් මම දෙයක් බලාපොරොත්තු වුණා. අන්න ඒ තැනට මට යන්න බෑ. අනිත් එක අපේ දක්ෂතාවලින් අපට ගන්න පුළුවන් උපරිම ආර්ථික ප්‍රතිලාභය ගන්නත් බැහැ. ඒකට ටිකක් නිදහස් මිනිහෙක් වගේ එළියේ ඉන්න ඕනෙ. ඉතින් ඒක නිසා තමයි මම තීරණය කළේ හරි මගේ වැඩසටහන මිනිස්සු ඉල්ලනවා නම් මම ඒ ඉල්ලන දේ දෙන්න ඕන. වැඩසටහන් කළමනාකාරවරයෙක් විදියට නිකන් නමට විතරක් ඉඳලා වැඩක් නෑ, අපට වැඩක් කර ගත්තේ නැත්නම්. අඩුම තරමේ මිනිස්සු අතරේ රැඳෙන්න නම් මගේ වැඩසටහන මම කරන්න ඕන. ඒක නිසා වැඩසටහන කරන අතරේ මට ලියන්න, රඟපාන්න අවස්ථාව තියෙනවා.
මම ප්රවෘත්ති කියලා මාධ්‍ය ජීවිතය පටන් ගත්ත කෙනෙක්. ඉතින් මගේ තියෙන වපසරියෙන් ප්‍රයෝජන ගන්න නම් මම එක තැනක කොටුවෙලා ඉඳලා බෑ. එහෙම කොටු වෙලා ඉන්න කාලය තුළදී නිර්මාණශීලී හැකියාව මොට වෙලා යනවා. ඉතින් ඒක කරගන්න ඕන නෑනේ. මම තනතුරෙත් කාලයක් හිටියා. ඒකෙත් කරන්න පුළුවන් සියලු දේ කළා. අවසානයේ මම ඉදිරිපත් කරන්නේ මම හදපු දේ. ඒ හරහා තවත් දේවල් ටිකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මට ලියන්න ආසයි, රඟපාන්න ආසයි, ප්රවෘත්ති කියන්න ආසයි. ඒ සියල්ල ඉදිරියේදී මම හදාගන්න ඕන. ඒක හදාගන්න නම් මම එළියට එන්න ඕන. ඒ නිසා තමයි මම ‘ටාසන් බාප්පා’ වැඩසටහනත් අරන් එළියට ඇවිත් ඉන්නෙ.
072 - 5730057