අප රටේ බෙහෙවින් ජනප්‍රියත්වයට පත් ගීතවල අයිතිකරුවා ඔහුයැයි කීවොත් එය නිවැරදියි. නමුත් මේ වන විට රසික ජනතාවගෙන් සැඟව ජීවත් වන ඔහු පිළිකා රෝගයකට ලක්ව පීඩා විඳින බව කිසිවෙකුත් නොදන්නවා විය හැකිය. ඒ ගීත රචක සහ නිවේදක ශිල්පියෙක් වන සත්‍යජිත් ලක්මාල්ය.
Q මේ දිනවල කෙරුණු වැඩකටයුතු සහ අලුත් තොරතුරු මොනවාද?
මේ දිනවල කියල අලුතින් නිර්මාණ නැති තරම්. වර්ෂ ගණනාවක් නිහඬව සිටියා. එහෙම දෙයක්වෙන්නෙ අලුතින් නිර්මාණය වන සීඩී පට නිකුත් කිරීම නතර වූ නිසයි. ඒකට ප්‍රධාන හේතුව තමා සීඩී පට හොරට පිටපත් කර විකිණීම. ඒ නිසා එම ව්‍යාපාර කටයුතු වල නිරතවන අය එම ව්‍යාපාරව අතහැර දැමුවා.
Q ලංකාව තුළ ගීත රචකයෙක්ව ගායකයෙකු තරම් මාධ්‍ය වල දකින්නට නොලැබෙන හේතුව?
සාමාන්‍යයෙන් ඒ දෙය ලෝකයේ කෙසේ වෙතත්, ලංකාව තුළ සෑදී තිබෙන ක්‍රමයයි. ඒක අද ඊයේ ඇතිවුණ දෙයක් නෙවෙයි. සාමන්‍යයෙන් ජනප්‍රිය වන ටෙලි නාට්‍යයක නළුවා නිළිය නමින් සමහර වෙලාවට ඒ නාට්‍ය ජනප්‍රිය වෙනවා. ඒදෙයින් ජනප්‍රියත්වයට පත්වන්නේ නළුවා හෝ නිළිය.ගීත රචකයාටත් සිද්ධ වෙන්නෙ ඒ දේමයි. ගායකයා තමයි ඉදිරියට එන්නෙ. ඒක නිසා ඒදේට මට වරදක් කියන්න බෑ. මම හිතන්නෙ ගීත රචකයා කියන නිර්මාණකරුවාට එතරම් ඇගයීමක්, සොයාබැලීමක් සහ පසුවිපරම් කිරීමක් අපේ රට තුළ නෑ.
Q මේවන විට ඔබ පද රචනා කළ ගීත සංඛ්‍යාව සහ එයින් කොපමණ ප්‍රමාණයක් ජනප්‍රිය වෙලා තිබෙනවාද?
පද රචනා කරපු ගීත සියයකට ආසන්න වෙනවා. නවීන, ප්‍රවීණ යුග ගණනකට ගීත නිර්මාණය කළා. මට අවශ්‍ය වුණේ පෙර පරම්පරාවට ගීත නිර්මාණය කරන්න. නමුත් ඉන්පසුව ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායම එක්ක නිර්මාණ කරන්න ආරම්භ කරනවා. ඒතුළින් ලොකු දුරක් එනවා. ඒ අතුරින් රොෂාන් ප්‍රනාන්දුට නිර්මාණය කරපු සෑම ගීතයක්ම අතිශයින් ජනප්‍රිය වුණා. 'සුදු නංගියේ ඇස් වහගෙන ඇස් වහගෙන ඉන්න එපා දුකට' ගීතයත්, 'ඔබට තියෙන ආදරේ කියා ගන්න බෑ', 'හදවතින් ඔබව පැතුවා සංසාරයේ පුරාවට', 'නිවාඩුව මම එන්නම් බලාන ඉන්න', 'පිනි වැටුණට සුදු නෙළුමට', 'අන්දර වැටට රුවේ' ගීතයත් රොෂාන් වෙනුවෙන් නිර්මාණය කළා. චාමර වීරසිංහ වෙනුවෙන් නිර්මාණය කරපු 'වන වදුලේ වසන්තයට' සහ 'ගාඩි කෙල්ලෙ'ගීතත් ජනප්‍රිය වුණා. ඒ වගේම දමිත් අසංක, කිංස්ලි පිරීස්, ශානිකා වනිගසේකර,මහේෂිකා ලක්මාලි, සමිතා මුදුන්කොටුව සඳහාත් ගීත නිර්මාණය කරනු ලැබුවා. ඊට අමතරව අසංක ප්‍රියමන්ත, පුන්සිරි සොයිසා, සතිශ් පෙරේරා, ඉරාජ් සමගත් නිර්මාණ කර තිබෙනවා. නමුත් ඒවා එළිදැක්වූවේ නෑ.
Q මාධ්‍ය මගින් ඔබව අතහැර දමා තිබෙනවා, ඒ ගැන ඔබේ මතය?
මේ ලෝකේ ස්වභාවය ඒකයි. මැරෙන ගස්වලට කවුරුත් වතුර දාන්න කැමති නෑ. මම මේ දවස් වල පිළිකා රෝගයෙන් පෙළෙන රෝගියෙක් නිසා, හුඟදෙනෙක් මම ජීවතුන් අතර ඉන්නවද කියලවත් දන්නෙ නෑ. එවැනි අපහසුතා රාශියකට මේවනවිට මුහුණ දුන්නා. මාධ්‍ය මගේ ගීත හොඳටම පට්ට ගහනවා. නිර්මාණකරුවාට තැනක් නොදුන්නත්, ගායන ශිල්පීන්ට හුඟක් තැනක් දෙනවා. එක අතකින් මෙහෙම දෙයක් තියෙනවා, ජනප්‍රිය තරුවක් පත්තරේක හරි වැටුණාම තමයි ඒ ලිපිය හරි කියවන්නේ. දැන් මා ගැන තොරතුරු දැම්මාට, මගේ තොරතුරු කිසිවක් නොදන්නා නිසා කියවන්නවත් බලයි.
පද රචනා කරන ගීතයක් සඳහා සාධාරණ මිලක් ඔබට ලැබෙනවාද?
මම මුදල් බලාගෙන ගීත රචනා කරපු කෙනෙක් නොවෙයි. සමහර ගීත සඳහා මට ලැබී තියෙන මුදල පත්තරේ දැම්මොත් එහෙම, ඒක බලන මිනිස්සු බයවෙලා මැරෙයි. මම ඒ තරම් අඩු මුදලට ගීත රචනා කරලා තියෙනවා. ලැබෙන මුදලට වඩා ගීතයක් ඇහෙද්දි ලැබුණ සතුට ඉමහත්. පසුකාලීනව මම මුදල් වලට මුල්තැනක් දුන්නා.
Q රෝගී තත්ත්වය ගැන සඳහන් කිරීමට ඔබට පුළුවන්ද?
මම ජීවිතේටවත් නොහිතපු මොහොතක්. මෙය ආරම්භ වෙන්නේ ෆ්ලෑෂ්බැක් සංගීත කණ්ඩායමත් එක්ක සිරස 10 වැනි සංවත්සරය, බත්තරමුල්ල ක්‍රීඩාංගණයේ පැවැත්වුණු ගුරුන්වහන්සේගේ චරිතයට නිර්මාණ දායකත්ව සජීවීව ලබාදෙමින් සිටියදී. එහිදී මාව බෙරයත් සමග ඇදගෙන වැටුණා. මට දැනුණා මගේ ඇහැට යම්කිසි හානියක් වුණා කියලා. නමුත් මම ඒ දෙය ගණන් ගත්තෙ නෑ. පසුකාලීනව ඇසේ ඇතිවුණු රතුවීමක් සහ ඉදිරියට ඒමක් නිසා ඇස් රෝහලේ අවුරුදු ගණනාවකුත්, මහරගම පිළිකා රෝහලේ අවුරුදු ගණනාවකුත්, දැනටත් ප්‍රතිකාර ගන්නවා. ඒ දුක මම තවත් කෙනෙකුට ආරූඪ කරන්නවත්, ඒ මත යැපෙන්නවත්, උපකාර ලබන්නවත්, ආදරය කරුණාව දිනාගන්වත් කැමති නෑ. මට හිමිදේ මා අවසානය කරාම ගෙන යායුතුයි. නමුත් මගේ ලොකුම ආසාවක් තිබුණා. පිළිකා රෝහලේ අංක 1 වාට්ටුවේ, 8වැනි ඇඳේ ඉඳන් ලියපු,
කඳුළුත් එක්ක බත් කනකොට වාට්ටුවේ
සිහිපත් වුණා ඔය ඇස්දෙක සැරින් සැරේ
ඔබ හිටියත් රෝහල ළඟ ගේට්ටුවේ
වාට්ටුවට එන්න එපා සැරින් සැරේ
කියන ගීතය අහන්න. රොෂාන් ප්‍රනාන්දු දැනටමත් ගායනා කරලා සී.ඩී. තැටියකට අඩංගු කරලා තියෙන්නේ. නමුත් ඒ ගීතයට සෑහෙන්න කාලයක් ගතවුණා. මම හිතන්නේ රොෂාන් ප්‍රනාන්දු ගායනා කරපු අනෙකුත් ගීත අතර මේ ගීතයත් ජනප්‍රිය වේවි සහ ඇස්වලට කඳුළු ඒවි. මගේ ජීවිතේ අවසානයට ලියැවුණු ගීතයත් මෙය වෙන්න පුළුවන්.