මුම්ටාස් සහ සාජහන් ආදර කතාවේ කූඨප්‍රාප්තියක් ලෙස ඉදිවුණු ටජ්මහල ගැන ඔබ අසා ඇත. නමුත් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අරන්ගාබාඩ් හි පිහිටා තිබෙන තවත් ටජ්මහලක් ගැන ඔබ අසා තිබෙනවාද? බීබි කා මක්බරා (Bibi Ka Maqbara) ලෙස හදුන්වන මෙම අනෙක් ටජ්මහල අසාම් ෂාහ් විසින් ඉදිකරන ලද්දකි. ඔහු සයවෙනි මූගල් අධිරාජ්‍යයා වූ ඖරන්ග්සෙබ්ගේ පුතණුවන්ය.
සිය මව වූ දිල්රස් බෙනු බෙගම් සිහිවීම වෙනුවෙන් 1651-1661 අතර කාලයේ මෙම සුසානය ඉදිකරන ලදී. ඖරන්ග්සෙබ් ගෘහනිර්මාණ කලාව සඳහා එතරම් කැමැත්තක් දැක්වූ අයෙකු නොවන බව සඳහන් වේ.
බීබී කා මක්බරා ස්වභාවයෙන් අග්‍රා නගරයේ පිහිටා ඇති ටජ්මහලට ඉතාම සමානය. නමුත් එයට වඩා කුඩාවට මෙය නිර්මාණය කර ඇත. එසේම ටජ්මහල මෙන් විශාල වශයෙන් ගෘහ නිර්මාණ අංගද එකතු කර නැත. මෙහි කිසියම් සරල බවක් දැකිය හැක. ප්‍රධාන ටජ්මහලම කිරිගරුඬ වලින් සකස් කර ඇති නමුත්, මෙම ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කිරිගරුඬ වලින් නිර්මිත නොවේ.
ඇතැම් කොටස් ෆයිබර් සහ වෙනත් අමුද්‍රව්‍ය යොදාගෙන නිර්මාණය කර ඇත. මෙම ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවේ ගෘහනිර්මාණ ලක්ෂණ මෙය සොහොනක් බව ඒත්තු ගන්වයි. එම මූලික සංකල්පය යොදා ඇත්තේ මෙහි කිරීමට දායක වූ උටා උල්ලාහ් විසිනි. ඔහු ටජ්මහලේ මූලික ඉදිකිරීම් සැලසුම්කරු වූ උස්ටඩ් අහමඩ් ලාහෝරි ගේ පුතණුවන්ය.
අසාම් ෂාස් යනු ටජ්මහල් නිර්මාතෘ වූ සාජහන් රජුගේ මුණුබුරෙකි. ටජ්මහල ඉදිකළ නිර්මාණකරුවන්ගේ දෑත් කපා දැමීමට සාජහාන් රජු තීරණය කළේ එවන් නිර්මාණයක් නැවත ඉදිවීම වැළැක්වීම සඳහාය. නමුත් මෙම ඉදිකිරීමෙන් අනතුරුව එවැන්නක් නිර්මාණකරුවන් සඳහා සිදුකර නොමැත.
බැලූ බැල්මටම ටජ්මහල මෙන් දිස්වුවද ටජ්මහල හා මෙම ගොඩනැගිල්ල එක්ව ගෙන සංසන්දනය කිරීමේදී එහි වෙනස්කම් හඳුනාගත හැකිය. නමුත් මේ පිළිබඳව නොදන්නා අයෙකු මෙම ගොඩනැගිල්ල නැරඹීමට ගිය විට මේ ටජ්මහල යැයි වරදවා වටහා ගනු ඇත. මෙම ගොඩනැගිල්ල මධ්‍යයේ මුස්ලිම් ආකෘතියට අනුව එම දේහය තබා ඇත.
නැරඹීමට පැමිණෙන බොහෝදෙනා එම දේහය පිහිටා තිබෙන ස්ථානයට රෝස මල් තැබීම සහ මුදල් දැමීම සිදුකරයි. මේ වන විට දේහය අසලට ගමන් කිරීමට හැකියාවක් නොමැත. එම දොරටු වසා ඇත. ඉහත මාලයක සිට දේහය තබා ඇති සොහොන දැකගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. ගොඩනැගිල්ලට පිටතින් පිහිටා තිබෙන කුලුනු දෙකට නැගීමට සංචාරකයන්ට අවස්ථාව තිබුණු නමුත්, මීට ඉහතදී දෙවතාවක් කාන්තාවන් එයින් පැන සියදිවි නසාගෙන ඇති බැවින් දැන් එම කුලුනු වසා දමා ඇත. මෙහි මධ්‍යයේ ඉඩකඩ මීටර 458 ක් සහ මීටර 275 ක් ලෙස දිග පළල සහිතය.
ගොඩනැගිල්ල පිටතින් ජල උද්‍යාන රාශියක් දැකගත හැකිය. පාෂණවලින් සකස් කරන ලද නළ පද්ධතියක් හරහා ජලය ගමන් කරන පරිදි එම උද්‍යාන සංකීර්ණය සකස් කර ඇත. මෙම ගොඩනැගිල්ල සහ එම උද්‍යාන සංකීර්ණය ටජ් මහලේ ප්‍රමාණයට වඩා සාපේක්ෂව කුඩා අගයක් ගනියි. ටජ්මහල ඉදිකර ඇති කැටයම් සහ අනෙකුත් නිර්මාණ සුදු පාෂණ විශේෂයක් මගින් ඉදිකර තිබුණද මෙම ගොඩනැගිල්ලේ එම නිර්මාණ කාර්යයන් පාෂණ මගින් සිදුකර නැත.
මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා වියදම් කර ඇති සම්පූර්ණ මුදල ආසන්න වශයෙන් එවකට මුදලින් රුපියල් ලක්ෂ හතක් පමණ විය හැකි බව ගණනය කොට තිබේ. එය ටජ්මහලේ වියදම සමග සංසන්දනය කළ විට ටජ්මහල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 32 ක් වියදම් වී ඇති බව පැවසේ. ඒ අනුව බිබී කා මක්බරා යනු Poor man’s taj දුප්පත් මිනිහාගේ ටජ්මහල යනුවෙන් ඉන්දියානුවන් හඳුන්වයි.