අධ්‍යාපනය හා මනෝ විද්‍යාව පිළිබඳ ග්රන්ථ හතළිහකට ආසන්න ප්‍රමාණයක් රචනා කර ඇති වෛද්‍ය සුදත් දම්සිංහ මහාතාගේ %නිමා නොවූ නිමාව^ නම් නවතම ග්‍රන්ථය අද (01දා) සවස 5.00ට ජයවර්ධනපුර රෝහලේ හෙද විදුහල් ශ්‍රවණාගාරයේදී එළිදැක්වීමට නියමිතය.
Q 'නිමා නොවූ නිමාව' ග්‍රන්ථය ගැන මුලින්ම කතා කරමු?
මේ වන විට මම ලියූ පොත් අතරින් මෙය විශේෂ වෙන එක් කරුණක් තිබෙනවා. මීට වසර දෙකකට පෙර මම කිසිම රෝගයක් නොමැතිව සිටියදීත් උදෑසනම රුධිරය යන්න පටන් ගත්තා. ඒ අසනීප තත්ත්වය නිසා මට බරපතළ ජීවිත අනතුරකට මුහුණපාන්න සිද්ධ වුණා. කෙනෙක් මරණීය අවස්ථාවට පැමිනුණාම ඒ අවස්ථාවේදී ඔහු මුහුණ දෙන්නේ කෙබඳු අත්දැකීමකටද කියන කාරණය කෙනෙකුට අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ඒ අත්දැකීම අත්විඳපු බොහෝ අය ජීවත් වෙන්නෙත් නැහැ. ඒ නිසා ඒ අත්දැකීම ගැන තව කෙනෙකුට කියන්න වෙන්නෙත් නැහැ. මම පෞද්ගලිකව අත්විඳපු අත්දැකීම තමයි මේ පොතට අන්තර්ගතවෙලා තිබෙන්නේ. ඉන්පසු රෝගය සුවඅතට හැරෙන අවස්ථාවේ සිදුවූ සිදුවීම් මාලාව හා මට අතීතය මෙනෙහි වීම සිදුවුණු ආකාරය මේ ග්‍රන්ථයේ අන්තර්ගත වෙලා තිබෙනවා.
Q වසර දෙකකට පසුව මේ කාරණාව සමාජගත කරන්න හිතුණ විශේෂ හේතුවක් තිබෙනවාද?
මගේ අත්දැකීම් කාටවත් නොකියා රහසක් ලෙස තබාගන්න තිබුණා. නමුත් මට හිතුණා මේක අනිත් අයට කියන්න ඕන කියලා. ඒකට හේතුව දේශපාලන ලෝකයේ වේවා, වාණිජ ලෝකයේ වේවා, අධ්‍යාපන ලෝකයේ වේවා අද සමාජයේ සිදුවන සෑම දෙයක්ම අවසානයේ කිසිම තේරුමක් නැහැ කියලා එක් වෙලාවකදී සිතෙනවා. අපි විශාල තරගයක් තුළ ජීවිතේ සක්‍රීයව ගත කරන වසර විසිපහක් තිහක කාලයක් තමයි තියෙන්නේ. මේ කාලේ තුළ තමයි අපි මේ සියලුම දේවල් කරන්නේ. ඒ කුමන දේ කළත් ඕනෑම මොහොතක අපි මරණයට පත්වෙන්න පුළුවන්. එහෙම අවබෝධයකින් ජීවත් වෙනවාද කියන ප්රශ්නය තිබෙනවා. අපි හැමෝටම අමතක වන සත්‍ය තමයි මරණය. අවුරුදු පනහක් තිස්සේ ඒක අමතක කරලා සක්‍රීය අවධිය නිමා වුණාට පස්සේ අපිට මරණය මතක් වෙනකොට අපේ ජීවිතේ ගොඩක් තැන් අවුල් කරගෙන, වැරදි දේවල් කරගෙන ඉවරයි. ඒ දේ තරුණ වියේදීම තේරුම් කරගෙන තිබුණා නම් මීට වඩා සරලව, මීට වඩා අවබෝධයෙන් ජීවත් වෙන්න තිබුණා. මේ පොතේ තියෙන විශේෂම දේ බොහෝ දේවල්වලට ඇලෙන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියන එක සඳහන් වීමයි. ඇලීම සහ ඇලීමෙන් ඉවත්වීම කියන දෙකම මෙහි අන්තර්ගතයි. එයට දැඩි මානසික ශක්තියක් අවශ්‍යයි.
Q මේ කාරණය ග්‍රන්ථයකට ගෙන ඒමේදී ඔබ අනුගමනය කළ ආකෘතිය කෙබඳුද?
මෙය චරිතාපදානයක් වගේ තමයි. නමුත් එහිදී දෙබස් අන්තර්ගතව තිබෙනවා. සාමාන්‍ය නවකතාවක් ලෙස පාඨකයන්ට කියවන්න හැකියාවක් තිබෙනවා. කර්තෘවරයාගේ නම අමතක කළොත් මෙය නවකතාවක් ලෙස හොඳින් රසවිඳින්න පුළුවන්. මෙහි සාමාන්‍ය පාඨකයාටත් තේරුම්ගත හැකි සරල භාෂාවක් තමයි යොදාගෙන තිබෙන්නේ. සමහර වෛද්‍ය විද්‍යාත්මක කරුණු සංකීර්ණයි. මම ඒ සංකීර්ණ වෛද්‍ය විද්‍යාත්මක කරුණුත් සරලව තේරුම් කරල දෙන්න මෙහිදී උත්සාහ කර තිබෙනවා.
Q ඒ වෛද්‍ය විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කිරීමේදී මනෝ විද්‍යාත්මක ප්‍රවේශය ගැනත් අන්තර්ගතයිද?
ඔව්. ඒ ගැන සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම ආගමික කොටසකුත් මම අන්තර්ගත කරලා තිබෙනවා. ඒකට හේතු වුණේ අවසන් මොහොතට ළං වුණ කෙනෙක් මොකද කරන්නේ කියන දේ ගැන කතා කරන්න අවශ්‍ය වූ නිසයි. සාමාන්‍යයෙන් අවසන් මොහොතට ළං වෙද්දි බොහෝ දෙනෙක් ආගමිකව කරන දේ නෙමෙයි මම සිදුකළේ. මම කළේ ඊට වඩා වෙනස් දෙයක්. ඒ දේ ගැන හොඳ විවරණයක් මෙහි තිබෙනවා.
Q ඔබ රචනා කළ අනෙකුත් ග්රන්ථවලට ලැබෙන පාඨක ප්‍රතිචාර කෙබඳුද?
මම මනෝ විද්‍යාත්මක ග්රන්ථ හා අධ්‍යාපනික, විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් සම්බන්ධයෙන් තමයි බොහෝ පොත් රචනා කර තිබෙන්නේ. දියවැඩියාව, හදවත් රෝග, වකුගඩු රෝග ගැන පොත් ලියලා තිබෙනවා. පෙරපාසල් දරුවන් ගැන, 'හොඳම දේ දරුවන්ට', 'ඔටිසම් හඳුනා ගනිමු', 'ගැබිනියකගේ දිනපොත' ආදී ග්රන්ථ රැසක් රචනා කර තිබෙනවා. ඒ වගේම ඔටිසම් පිළිබඳ මීට වසර අටකට පෙර මම ග්රන්ථයක් රචනා කළා. මීට පෙර එවැනි විස්තරාත්මක ග්රන්ථයක් පළවී තිබුණේ නැහැ. ඔවුන් වෙනුවෙන් තිබෙන චිකිත්සක ක්‍රමය (විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා) කොහොමද අපි මැදිහත් වෙන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් මම පොත් විශාල සංඛ්‍යාවක් රචනා කර තිබෙනවා. ඒ හැම ග්රන්ථයකම අධ්‍යාපනික වටිනාකමක් තිබෙනවා. ඒ පොත් විශාල පාඨක පිරිසක් වැලඳ ගත්තා.
Q ඔබ දේශපාලනිකවත් සක්‍රීයව සිටියා. මේ ග්රන්ථයට ඒ දේශපාලනය අදාළ කරගෙන නැද්ද?
ඒ ගැනත් මේ පොතේ සඳහන් වෙනවා. මම පක්ෂ විපක්ෂ දෙකේම දේශපාලඥයන් හොඳන් හඳුනන බව මේ පොත තුළින් නිරූපණය කර තිබෙනවා. හිටපු ජනාධිපති හා වර්තමාන ජනාධිපති හමු වී අපි කරපු කටයුතු ගැන සඳහන් වෙනවා. දේශපාලනය තුළ පළමු දේ තමයි බලය. ඊට පසුව තමයි ජනතා සේවය තියෙන්නේ. නමුත් අපි ඉදිරියට දාන්නේ ජනතා සේවය. හැබැයි ඇත්තටම උඩින් තියෙන්නේ බලය. ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකෙම තිබෙන්නේ බලය. දේශපාලනය කියන්නේ බලය කියන එක. බලයට තිබෙන දැඩි ආශාව නිසා තමයි අපි හැමෝම ඒ දේ කරන්නේ. මම පෞද්ගලිකව දේශපාලනය කළේ බලය සඳහා තමයි. නමුත් මට අරමුණක් තිබුණා. මම දේශපාලනය කරද්දී ඉදිරිපත් කළේ පොතක්. එහි පැහැදිලිව මට කරන්න අවශ්‍ය දේ ලිව්වා. එයට විපක්ෂ දේශපාලඥයන් මට පහර ගැහුවා. මම ගියේ ඒ දේවල් කරන්න. උදාහරණයක් ලෙස මට අවශ්‍ය වෙලා තිබුණා විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සඳහා පැහැදිලි නීති පද්ධතියක් ලංකාවට ගෙනැවිත් ඔවුන්ට තිබෙන විශාල අසාධාරණයෙන් ඔවුන් ගලවන්න. අනතුරකින් පසු සදාකාලික අබ්බගාත තත්ත්වයට පත්වන බොහෝ දෙනෙක් ඉන්නවා. මම වෛද්‍යවරයෙක් ලෙස එය දැක්කා. නමුත් දෙයක් සිදුවුණාට පසුවනේ ඒ දේ වැදගත් වෙන්නේ. ඒ වනතුරු එය නොවැදගත් දෙයක්නේ. මට අවශ්‍ය වුණේ ලංකාවේ සමාජය සමග සම්බන්ධ වෙන ඕනෑම නිලධාරියෙකුට හෘද සම්බාහනයක් කිරීම වැනි දේ ගැන කියල දෙන්නයි. අපේ රටේ රිය අනතුරකදී රෝගියා ප්‍රවාහනය කිරීම තුළින් ඒ රෝගියා තවත් අනතුරට ලක්වෙනවා. මේක වෙනස් වෙන්න ඕන. බෝ නොවන රෝග සඳහා නිසි ප්‍රතිපත්තියක් ගෙන එන්න මට අවශ්‍ය වුණා. මෙවැනි සියුම් දේ ස්පර්ශ කරන්න තමයි මම දේශපාලනයට ආවේ. කිසිම පෝස්ටර්, කටවුට් ප්‍රචාරයක් නැතුව මම දාහතර දහසක් ඡන්ද ගත්තා. මට දැන් ඒ ගැන කිසිම උනන්දුවක් නැහැ. සමහරවිට ඒ මනස වෙනස් වී තව වසර හතරකින් පහකින් පාර්ලිමේන්තු මැතිවරණයකට ඉදිරිපත් වෙන්න අදහසක් ඒවි. නමුත් දැනට එහෙම බලාපොරොත්තුවක් නෑ.