හිටපු බොලිවුඩ් සිනමා තරුවක් වන ශෂී කපූර් පසුගිය හතර වැනිදා මුම්බායි කොකිලබෙන් රෝහලේදී අභාවප්‍රාප්ත විය. මිය යන විට 79 වැනි වියේ පසු වූ ඔහු ජනප්‍රිය බොලිවුඩ් පවුලක් වන කපූර් පවුලෙන් පැවැත එන්නෙකි. හින්දි චිත්‍රපට විශාල සංඛ්‍යාවක් මෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් නිපැයුණු චිත්‍රපට කිහිපයකටද දායක වූ ඔහු, Merchant-Ivory ඉංග්‍රීසි චිත්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙසද කටයුතු කළේය.
කල්කටාවේ උපත ලද ඔහු ප්රිත්වීරාජ් කපූර්ගේ තුන්වැනි හා බාල පුතා වන අතර, රාජ් කපූර් සහ ෂම්මි කපූර්ගේ බාල සොහොයුරාද වන්නේය. ජනප්‍රිය නිළියක වන ෆෙලිසිටි කෙන්ඩල්ගේ සහෝදරිය වන ජෙනිෆර් කෙන්ඩල් ඔහුගේ බිරිඳ වන අතර, ඇය ඔහුට හමුවන්නේද ඔහු වේදිකා නාට්‍යවල කටයුතු කරන සමයේදීම වීම සුවිශේෂත්වයකි. ඇය ජෙෆ්රි කෙන්ඩාල් නම් ශේක්ස්පීරියානු නාට්‍ය සමාගම් අධ්යක්ෂවරයාගේ දියණිය වන නමුත් අවාසනාවට ඇය 1984 වසරේදී මිය ගියේ පිළිකාවක් වැලඳීමෙනි. කරන් කපූර්, කුනාල් කපූර් සහ සංජනා කපූර් ඔහුගේ ආදරණීය දරුවන්ය.
රූපණයට අවතීර්ණ වීමේදී පළමුව ඔහුගේ පියා ප්‍රිත්විරාජ් කපූර්ගේ නාට්‍ය කණ්ඩායම වූ ප්‍රිත්වි තියටර් හරහා පියා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද වේදිකා නාට්‍යවලින් රූපණයට පිවිසියේය. 1940 අග භාගයේදී දක්ෂ ළමා සිනමා නළුවකු ලෙස ජනප්‍රිය වූ ශෂී 1948දී 'ආග්' (1948) සහ 'ආවාරා' (1951) යන චිත්‍රපට තුළින් කැපී පෙනුණි. ඒ අනුව ඔහු 1948 සිට 1954 දක්වා කාලය තුළ ළමා සිනමා නළුවකු ලෙස සිනමා කෘති හතරකට දායකත්වය දීමට සමත් විය.
මේ අතර ශෂී කපූර්ට බොලිවුඩ් නළු සුනිල් දත්ගේ කුළුඳුල් සිනමාපටය වූ %Post Box 999^ හි සහාය අධ්යක්ෂවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාවක් ලැබුණු අතර, 1959දී රවීන්ද්‍ර ඩේව්ගේ චිත්‍රපටයක් වූ 'Guest House' හි සහාය අධ්‍යක්ෂකවරයා ලෙසද සේවය කිරීමට අවස්ථාවක් ලැබුවේය.
කෙසේවෙතත් තරුණයකු ලෙස සිය වෘත්තීය සිනමා රූපණය ඇරඹීමේදී එය ප්‍රධාන චරිතයකින්ම ඇරඹීමට ශෂී කපූර් සමත් වූ අතර, ඒ 1961දී තිරගත වූ 'ධර්මපුත්ර' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරමිනි.
මේ අනුව එතැන් සිට හින්දි චිත්‍රපට 116කට දායක වීමට සමත් වූ ශෂී කපූර් එයින් 61කම ප්‍රධාන චරිතය නිරූපණය කළේය. එසේම චිත්‍රපට 55කම ඔහු සිනමා සුපිරි තරු සමගින් රූපණයේ නියැළුණි. චිත්‍රපට 21කම සහාය නළුවකු ලෙස රූපණයේ යෙදුණි. මේ අනුව ඔහු 60, 70 දශකවල බොලිවුඩයේ ජනප්‍රියම නළුවා වූ අතර, අසූව දශකයේ මැදභාගය දක්වාම එය පවත්වාගෙන යාමට සමත් වූයේය.
'ධර්මපුත්ර' මෙන්ම 'ප්‍රේම් පත්‍ර', 'චාර් දිවාරී' ආදී චිත්‍රපට ඔහු රඟපෑ බොලිවුඩ් චිත්‍රපට අතින් හැටේ දශකයේ ජනප්‍රිය වූ අතර, 1961 සිට ඔහු ඉංග්‍රීසි භාෂා චිත්‍රපටවල වැඩකටයුතුද ඇරඹුවේය. ඒ අතරින් %Householder^ සහ %Shakespeare-Wallah^ යන චිත්‍රපට කැපී පෙනේ. ඒ අනුව ඔහු සැලකෙන්නේ ජාත්‍යන්තරයට ගිය මුල්කාලීන බොලිවුඩ් චිත්‍රපට නළුවන් අතරින් ප්‍රමුඛයකු ලෙසයි.
බොලිවුඩ් නිළි නන්දා සමගින් රූපණයේ යෙදුණු පළමු චිත්‍රපට දෙකම දැඩි විචාරක අවධානයක් දිනාගත් සිනමා කෘති වූ අතර, ඒ 1961 වසරේදී තිරගත වූ %චාර් දිවාරී^ සහ 1962 වසරේදී තිරගත වූ 'මෙහෙන්දි ලගි මෙරේ හාත්' චිත්‍රපටයයි. එහෙත් නන්දා සමගින් රඟපෑ 'මොහබ්බාත් ඉස්කෝ කහීට් හයින්' (1965), 'ජබ් ජබ් ෆූල් ඛලී' (1965), 'නයිඩ්ඩ් හමාරි කවාබ් තුම්හර්' (1966), %රාජා සාබ්^ (1969) සහ %රූතා නාරා කැර^ (1970) යන රොමෑන්ටික් චිත්රපටද අතිශයින් ජනප්‍රිය විණ. එබැවින් පසුකලෙක ඇය සමගින් පැවැති සම්මුඛ සාකච්ඡාවකදී නන්දා පවසා සිටියේ තමාගේ කැමැතිම වීරයා ශෂී කපූර් බවයි.
හැත්තෑව, අසූව දශක වන විට රකී, ෂර්මිලා තාගෝර්, සීනට් අමන් ආදී බොලිවුඩ් නිළියන් සමගින් රඟපෑ ෂම්මි කපූර්, පසුව හේමා මාලිනී, මෝෂුමි චැටර්ජි, පර්වීන් බබී යන බොලිවුඩ් නිළියන් සමගින් රඟපෑ චිත්රපටද අතිශයින් සාර්ථක විය.
'ජාන්වර් ඕර් ඉන්සාන්' (1972), 'කබි කබි' (1976), 'බසීරා' (1981) මෙන්ම විවේචනයට බඳුන් වූ 'ට්රිෂ්ණා' (1978) චිත්‍රපටයේද, 'දුස්රා ආද්මි' (1977) චිත්‍රපටයේද, 'බන්ධන් කුචේ ධගූන් කා' (1983), 'බන්ද් හොන්ත්' (1984) චිත්‍රපට හරහාද අතිශයින් ජනප්‍රිය වූ ශෂී කපූර් රඟපෑ සෙසු සාර්ථක චිත්‍රපට අතර 'හසීනා මාන් ජයේගි' (1968), 'ඒක් ශ්‍රීමන් ඒක් ශ්‍රීමතී' (1969), 'පයාර් කා මෝසම්' (1969), 'චෝර් මැචායේ ෂෝර්' (1970), 'ආප් බෙයිටි' (1976), 'මාන් ගයේ උස්ටාඩ්' (1981), 'චක්කාර් පේ චක්කාර්' (1976), 'කාලි ගාථා' (1980), %කල්යුග්^ (1981), 'විජේතා' (1982), 'පයාර් කි ජීත්' (1987), 'බෙපැන්නා' (1985), 'ඩිල් නේ පුකාරා' (1967), 'ත්රිෂූල්' (1978), 'නීයට්' (1980), 'ආන්ධි ටූෆන්' (1985), 'නෙයිනා' (1973), 'පාන්සි' (1978), 'සැලාකීන්' (1975), 'ෆකිරා' (1976), 'ජුනෝන්' (1978) කැපී පෙනේ.
එසේම ඔහු සුපිරි බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් සමගින් චිත්‍රපට 12කට දායක වී ඇති අතර ඒවා නම් 'රෝති කප්දා ඕර් මකාන්' (1974), 'දීවාර්' (1975), 'කබි කබි' (1976), 'ත්‍රීෂූල්' (1978), 'කාලා පතාර්' (1979), 'සුහාග්' (1979), 'නමක් හලාල්' (1982) 'ඉම්මාන් ධරම්' (1977), 'දෝ ඕර් දෝ පාන්ච්' (1980), 'ශාන්' (1980), 'සිල්සිලා' (1981), 'අකේලා' (1991) යි.
2011 වසරේදී බොලිවුඩ් සිනමාවට කළ සේවය වෙනුවෙන් ඉන්දියානු රජයෙන් පිදෙන පද්ම භූෂන් සම්මානයද හිමිකර ගත් ශෂී කපූර්, 2015දී දාදාසහබ් පල්කේ සම්මානය දිනා ගැනීමටද සමත් විය. මෙම සම්මානය හිමිකර ගත් ඔහුගේ පවුලේ තුන්වැනි සාමාජිකයාද ඔහුයි. මීට පෙර මෙම සම්මානය ප්‍රීත්විරාජ් කපූර් හා රාජ් කපූර් දිනාගත්හ.