ඉන්දීය සිනමාවේ ආදරණීය නිළියක වන ජනප්‍රිය බොලිවුඩ් නිළි ශ්‍රීදේවි ඉකුත්දා (24දා) ඩුබායිහිදී මියගියාය. (ඇය නැවතී සිටි හෝටල් කාමරයේ බාත් ටබ්හි දියේ ගිලීමෙන් මෙම මරණය සිදුවී ඇති බව ඇයගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වේ.) මියයන විට 54 වැනි වියේ පසු වූ ඇය බොලිවුඩය පමණක් නොව මෑත කාලයේදී හොලිවුඩය පවා ජයගත් සුපිරි නිළියක වන අතර, ඇගේ හදිසි වියෝව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවා කම්පනයට ලක් කර තිබේ. ඒ බව සනාථ වූයේ මෝදි මහතා සිය ට්විටර් ගිණුමටද පණිවුඩයක් නිකුත් කරමින් සිය දැඩි කනගාටුව පළ කර තිබූ නිසාවෙනි.
බොලිවුඩ් නළු අනිල් කපූර් සහ සන්ජේ කපූර්ගේ වැඩිමහල් සොයුරා වන සිනමා නිෂ්පාදක බොනී කපූර්ගේ බිරිඳ වන ශ්‍රීදේවි, හිටපු බොලිවුඩ් තරුවක වන මිතුන් චක්රබෝතිගේ හිටපු බිරිඳද වන අතර, දියණියන් දෙදෙනෙකුගේ මවකි. ඇය මියගියේද සිය වැඩිමහල් දියණිය වන ජාන්වී කපූර් ‘ඩඩක්’ චිත්‍රපටය හරහා සිනමාවට හඳුන්වා දෙමිනි.
කෙසේ වෙතත් බොලිවුඩයෙන් බිහි වූ පළමු සුපිරි තාරකාවිය ලෙස සැලකෙන ශ්‍රීදේවී උපන්නේ තමිල්නාඩු ප්‍රාන්තයේ සිවකාසි නගරයේදීය. (නමුත් ඇය ලංකාවේ යාපනයේදී උපත ලබා ඇති බවටද තොරතුරු පවතී) ඒ 1963 වසරේ අගෝස්තු මස 13 වැනිදා ද්‍රවිඩ නීතිඥවරයෙකු වන ආයප්පන් සහ තෙළිඟු මවක වන රාජේස්වරිට දාවය.
ඉනික්බිති 1969 වසරේ එම්.ඒ. තිරුමුගම් අධ්‍යක්ෂණය කළ ‘තුනයිවන්’ නම් කොලිවුඩ් චිත්‍රපටයේ වයස අවුරුදු හයක ළමා නිළියක ලෙසින් සිනමාවට පැමිණි ශ්‍රීදේවි, අසූව, අනූව දශකයන්දී වැඩිම මුදලක් අය කළ නිළියන් අතර ඉදිරියෙන් සිටි අතර තෙළිඟු, මලයාලම්, කන්නාඩා සිනමාවටද නෑකම් කියන්නියක වන්නේ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහකටම වග කියූ රූපණ ශිල්පිනියක්ද වෙමිනි. ඇය ඒ බව පළමු වරට ඔප්පු කර පෙන්වූයේ 1971 වසරේදී නිකුත් වූ ‘පූම්පට්ට’ නම් මලයාලම් සිනමා කෘතිය වෙනුවෙන් කේරළ රාජ්‍ය චිත්‍රපට සම්මාන උළේලේදී හොඳම ළමා නිළියට හිමි සම්මානය දිනා ගනිමිනි.
1975දී ‘ජූලි’ චිත්‍රපටයෙන් බොලිවුඩයට පා තබන ඇය, තරුණියක ලෙස කොලිවුඩයට පිවිසෙන්නේ 1976 වසරේ කේ. බාලචන්දර් අධ්‍යක්ෂණය කළ කමල් හසන් සහ රජිනි කාන්ත් ප්‍රධාන චරිත නිරූපණය කළ ‘මූන්රු මුදිචු’ සිනමා නිර්මාණයෙනි.
ඒ අනුව තෙළිඟු සිනමාවෙන් සහ කොලිවුඩ් සිනමාවෙන් ‘16 වයත්තිනිලේ’(1977), ‘සිගප්පු රෝජක්කල්’ (1978), ‘වරුමයින් නිරම් සිවප්පු’ (1980), ‘මීඳුම් කෝකිලා’ (1981) (හොඳම නිළියට හිමි ෆිලිම්ෆෙයාර් සම්මානය ඇයට හිමි විය.), ‘ප්රේමභිෂේකම්’ (1981), ‘මූන්ද්‍රම් පිරයි’ (1982), ‘ආකරි පොරාටම්’ (1988), ‘ජගාදෙකා වීරුදු ඇටිලෝකා සුන්දරි’ (1990) සහ ‘ක්ෂණා ක්ෂණම්’ (1991) යන සිනමාපට හරහා අතිශයින් ජනප්‍රිය වූ ඇය, බොලිවුඩයට කැපී පෙනෙන චරිතයකින් ගොඩවදින්නේ ‘හිමත්වාලා’ චිත්‍රපටයෙනි. ඒ ජිතේන්ද්‍ර සමගිනි. එය එම වසරේ වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වීමද කැපී පෙනේ.
මේ අනුව එම ජනප්‍රියත්වය හරහා ජිතේන්ද්‍ර-ශ්‍රීදේවී සංස්කෘතියක් ඇති වූ අතර, ඔවුන් දෙපළ යොදාගනිමින් එක දිගට සිනමා කෘති 16ක් නිපදවිණි. එයින් ‘ජානි දෝස්ත්’ (1983), ‘ජස්ටික් චව්දරි’ (1983), ‘මවාලි’ (1983), ‘අකල්මන්ද්’ (1984), ‘ටෝහ්ෆා’ (1984), ‘බාලිදාන්’ (1985), ‘සුහාගන්’ (1986), ‘ඝාර් සංසාර්’ (1986), ‘ධරම් අධිකාරි’ (1986), ‘අවුලද්’ (1987), ‘සෝනේ පේ සුහාගා’ (1988) යන සිනමා කෘති දහ තුන අතිසාර්ථක වූයේය.
එසේම ඇය රාජේෂ් ඛන්නා සමග රඟපෑ ‘නායා කදම්’ (1984), ‘මක්සද්’ (1984), ‘මාස්ටර්ජි’ (1985) සහ ‘නස්රානා’ (1987) චිත්රපටද අතිශයින් ජනප්‍රිය වූ අතර, 1986 වසරේ නිකුත් වුණු ‘නාගිනා’ චිත්‍රපටයද අපූරු සිනමා ෆැන්ටසියක් ප්‍රේක්ෂකයන්ට තිළිණ කළේ නාගයන් පිළිබඳ කෙරුණු හින්දි සිනමා කෘති අතර මෙම චිත්‍රපටය ඉදිරියෙන්ම තබමිනි. එසේම එහි එන ‘මේන් තේරි දුෂ්මන්’ ගීතය සැලකෙන්නේ බොලිවුඩයෙන් බිහි වූ විශිෂ්ටතම නාග නැටුම ලෙසිනි.
කෙසේ වෙතත් ඇය, ඇයම රඟපෑ කොලිවුඩ් චිත්‍රපටයක් වූ ‘මූන්ද්‍රම් පිරයි’ සිනමා කෘතියේ ප්‍රතිනිර්මාණය වූ ‘සද්මා’ (1983) චිත්‍රපටය හරහා ප්‍රථම වතාවට විචාරක විවේචනයට ලක් වූ අතර, ඉන්පසු ‘නාගිනා’ (1986), ‘චාල්බාස්’ (1989), ‘ලම්හේ’ (1991), ‘කුදා ගවා’ (1992), ‘ගුම්රාහ්’ (1993), ‘ලාද්ලා’ (1994) සහ ‘ජුදායි’ (1997) යන චිත්‍රපටවලින් විචාරක විවේචනයටද ලක් වූවාය.
ඉන්පසු බොලිවුඩයෙන් ඈත් වූ ශ්‍රීදේවි රූපවාහිනියට පිවිසුණු අතර, රූපවාහිනී නාළිකා වෙනුවෙන් ඇය ඉදිරිපත් කළ විලාසිතා වැඩසටහන්, සුපිරි තරු රියලිටි වැඩසටහන් ඒ අතරින් කැපී පෙනේ.
කෙසේ නමුත් 2012 වසරේදී නැවතත් ඇය සිනමා ප්‍රේක්ෂකයන් අතරට පැමිණි අතර ඒ ‘English Vinglish’ සිනමා කෘතිය හරහාය. එය බොක්ස්ඔෆිස් වාර්තා තබමින්, හොඳම නිළියට නව වතාවක් නිර්දේශ වෙමින් අතිශයින් සාර්ථක වූයේ වසර 15කට පසු නැවතත් සිනමාවට පැමිණ සිය පළමු චිත්‍රපටයෙන්ම අති සාර්ථක වූ පළමු නිළිය බවට ඇය පත්වෙමිනි.
එහෙත් ඉන් නොනැවතී මෙරිල් ස්ට්‍රිප් වැනි සම්මානනීය හොලිවුඩ් නිළියන් සමග ‘Cowboys And Indians’ යන චිත්‍රපටය සඳහාද, ‘Willow’, ‘Snow-white and the Huntsman’ ආදී සිනමා කෘති වෙනුවෙන්ද හොලිවුඩයට ආරාධනා ලැබූ ශ්‍රීදේවී, පසුගිය වසරේදී ‘Mom’ නම් සිය අවසන් බොලිවුඩ් සිනමා කෘතිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සිය සැමියාගේ නිෂ්පාදන සමාගම හරහා තිළිණ කළාය. එය ඇගේ 300 වැනි චිත්‍රපටය වීමද කැපී පෙනේ. ඒ අනුව ඇය ඒ වෙනුවෙන් මේ වසරේ පැවැති සී සිනේ චිත්‍රපට උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය දිනාගත් අතර, පසුගිය මස පැවැති ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදීද හොඳම නිළියට නිර්දේශ වූවාය. (කෙසේ වෙතත් මේ වසරේදී ඇය ෂාරුක් ඛාන්ගේ චිත්‍රපටයක් වූ ‘සීරෝ’ වෙනුවෙන් ආරාධිත රංගනයක යෙදුණු ආකාරය ඔබට දැකගත හැකි වනු ඇත.)
මේ අනුව සිනමා රූපණය තුළින් නොයෙකුත් භාෂාවලින් නොයෙකුත් ආකාරයේ අභියෝගාත්මක සිනමා චරිතවලට දායක වීමට වාසනාවන්ත වූ ශ්‍රීදේවී පිළිබඳ බොලිවුඩ් නළු සල්මන් ඛාන් මීට වසර කිහිපයකට පෙර පැවසුවේ ඇය, ‘ඛාන්’ ත්‍රිත්වය පවා අබිබවා ගිය සුපිරි තාරකාවියක් බවයි. ඒ ඇය කුඩා කල පටන්ම සිනමාවේ යෙදෙමින් නොයෙකුත් පරාසවල රූපණයේ යෙදෙමින් චිත්‍රපට 300කට අධික ප්‍රමාණයකට දායක වී සුපිරි නිළියක බැවිනි.
2014 වසරේදී මෙරට පැවැති දෙවැනි හිරු ගෝල්ඩන් චිත්‍රපට උළෙලේදීද ආසියානු සිනමාව වෙනුවෙන් කළ සේවය වෙනුවෙන් විශේෂ ගෞරව සම්මානයක් හිමි කරගත් ඇය, 2013 වසරේදී පද්ම ශ්‍රී සම්මානයෙන් පුද ලැබූ අතර, ඒ එම සම්මානය දිනාගත් සිවුවැනි වැඩිම වටිනාකමක් ඇති පුරවැසියා බවට පත්වෙමිනි.