බොන්සායි ශාකයක් නිර්මාණය කරලීම තෘප්තිජනක හා ආස්වාදයක් ගෙන දෙන විනෝදාංශයක් විය හැකිය. නැතහොත් එය පෙන්නුම් කළහැකි කිසිවක් නොමැති මෙන්ම බලාපොරොත්තු සුන් වූ අත්දැකීමක් විය හැකිය. ඒ සඳහා දැනුම හා ඉවසිලිවන්ත බවක් තිබිය යුතුය. බොන්සායි ලෝකය කරා පියමන් කරන පුදුම සහගත ගමන ඇරඹීමට පෙරාතුව ඔබ මූලික දැනුමක් ලබාගත යුතුවෙයි. මේ සඳහා ඔබට යම් ඉවසිලිවන්ත බවක්ද අවැසි වේ.
බොන්සායි කලාව ඉතාමත් සරල ආකාරයෙන් ගතහොත් කුඩා බඳුනක් තුළ සොබාදහම පෙන්නුම් කර දීමේ ප්රයත්නයකි. ස්වාභාවික වශයෙන් ඉපැරණි ශාකයක් වනගහනයක් භූ දර්ශනයක් පිළිබඳ හැඟීමක් බොන්සායි කලාව තුළින් ප්රකාශිත වෙයි. එය ක්ෂුද්රරූපී අයුරින් සොබාදහම ප්රතිජනනය කරන්නකි. එහෙත් එය ජීවී ශාකයක්ද වෙයි. වසර ගණනාවක් මුළුල්ලේම එබඳු කුඩා ප්රමාණයේ ස්වාභාවික වූ යමක් පෝෂණය කරලීම ප්රියජනක මෙන් විනෝදජනක වූවකි.
බොන්සායි ශාකයක් යනු එහි මුල් හා පත්ර ඇසුරෙන්ම ජීවී වස්තුවකි. ශාකයට කතාබහ කළ නොහැකි වුවත් එය පෝෂණය කරලීමේ යෙදෙන සෑම දිනකදීම ශාකය ඔබට යමක් කියන්නට උත්සාහ දරන බවක් ඔබට හැඟී යනු ඇත. බොන්සායි කලාව වූ කලී ආකර්ෂණීය ප්රතිඵල ගෙනදිය හැකි තෘප්තිජනක මෙන්ම නිර්මාණශීලී විනෝදාංශයකි. සොඳුරුබව, විධික්රමය හා අත්දැකීම් පිළිබඳ හැඟීම ඊට පාදක වී තිබේ. මනාව හැදීවැඩුණු බොන්සායි ශාක බොහෝ වටිනාකමින් යුතු වෙයි. එබඳු ශාක විරලය. නිසිපරිදි සැලිකිලිමත්ව රැක බලාගතහොත් ඒවා දර්ශනීය කලාකෘතීන් බවට පත්විය හැකිය. චිත්රයක් හෝ මූර්තියක් පරිද්දෙන් එක් එක් බොන්සායි ශාකයක් සුවිශේෂී මෙන්ම පෞද්ගලික වූ ලක්ෂණයන්ගෙන් යුතු වනු ඇත. සොබාදහම කිසිදු විටකදී අනුකරණ බිහිනොකරයි.
බොන්සායි යනු ජීවන කලාවකි. සැබෑ ශාකයක නිරූපණයක් ඔබ ගොඩනැඟුවහොත් එකී නිර්මාණය වර්ධනය වෙමින් නව නිපැයුමක් බවට පරිණාමය වන අයුරු ඔබට දැකගත හැකි වනු ඇත. ඔබේ බොන්සායි ශාකය හැදී වැඩෙමින් ඔබ අපේක්ෂිත කලාත්මක බව සුරැකීම සහතික කරගැනීම ඔබේ කාර්යය වනු ඇත.
ඔබ අපේක්ෂිත අයුරින් බොන්සායි ශාක වැවීමෙන් ඔබේ හැඟීම් ප්රකාශිත වන සේ විධික්රම පරිපූර්ණ වශයෙන් සකසාගත හැකිය. එළඹෙන 13 වැනි දින පෙ.ව. 09.30 සිට ප.ව. 08.00 දක්වා සහ 14 වැනි දින පෙ.ව. 09.30 සිට ප.ව. 06.30 දක්වා බත්තරමුල්ල දියත උයන අසල වෝටර්ස් ඒජ් හීදී මේ සම්බන්ධ ප්රදර්ශනයක් පැවැත්වේ. බොන්සායි නිදර්ශන එම දිනයන්හී පෙ.ව. 11.00 සහ ප.ව. 4.00 ට පැවැත්වේ.
ශාන්ති ප්රනාන්දු (ශ්රී ලංකා බොන්සායි සංගමය)