'තොත්ත බබාලා', 'ඉලන්දාරියෝ', 'දෙයියන්පල්ලා' වැනි වේදිකා නාට්‍ය නාට්‍ය නිර්මාණය කළ සුනිල් ශ්‍රී ගේ දහ අට වන වේදිකා නාට්‍ය නිර්මාණය වන්නේ අං ආවේ වේදිකා නාට්‍යයි. හෙට (06 දා) සවස 6.30ට මරදාන ටවර් හෝල් රඟහලේදී එහි මංගල දර්ශනය පැවැත්වෙයි. මේ ඒ ගැනය.
Q 'අං ආවෝ' වේදිකා නාට්‍යය නිර්මාණය හරහා සමාජගත කරන කාරණාව ගැන මුලින්ම කතා කරමු?
මුදල මත පවතින සමාජය තුළ ජීවත් වීමේදී ඒ ජීවිත කාලය තුළ අපි අත්විඳි අත්දැකීම් මෙම නාට්‍යයෙන් විවරණය වෙන්නේ. ගැමි සංකල්පය තුළ වේදිකාගත වන නාට්‍යයක්. ගමෙහි සුන්දරත්වය හොඳින්ම අත්වින්දා.
ඒ හිත්වල තිබුණ සුන්දරත්වය අද කොතැනද? මුදල මුල් කරගෙන යන සමාජය ගමන් කරන්නේ කොතැනටද? අද සමාජයේ බහුතරයකට අං ඇවිල්ලා. එහෙම අං ආව මිනිසුන් එක්ක දැන් අපි කොහේටද යන්නේ. අපි දැක්ක ගැමි සුන්දරත්වය සදාචාරය එක්ක වර්තමාන වෙනස් වීම මම සුපුරුදු හාස්‍ය තුළින් කතා කරනවා. හාස්‍යය මුල්කර ගනිමින් මේ අදහස සමාජයට ඉදිරිපත් කරනවා.
Q මේ අදහස සමාජයට ගෙන එන්න ඉදිරිපත් වන පිරිස ගැන සඳහන් කළොත්?
කුමාර තිරිමාදුර, නන්දන හෙට්ටිආරච්චි, හේමන්ත ඊරියගම, නිලන්ති ගුණවර්ධන, සංජානා පීරිස්, රොමේෂ් සංජේ, වේෂ නිරූපණයෙන් ගාමිණී කොස්තා, විදුලි ආලෝකයෙන් සුමුදු සූරියකුමාර, නිෂ්පාදනය ප්‍රියන්ත පෙරේරා, සංගීතය උදාර ප්‍රනාන්දු සිදුකරනවා.
Q මේක ඔබේ දහඅට වන නාට්‍යය. මේකත් වට්ටෝරුගත හාස්‍යයට අයත් වේදිකා නාට්‍යයක්?
මෙහෙමයි. මේක දහඅට වන නාට්‍යය. මේ නාට්‍ය දහ අටේම තේමාවන් වෙනස්. එකම තේමාවෙන් කිසිම නාට්‍යයක් මම කරලා නැහැ. පරිසර විනාශය කියන කාරණය උඩු දුවල තියන දෙයක්නේ. පරිසර විනාශය කර්කෂව කතා කළයුතු මාතෘකාවක්නේ. මම එසේ නොකර බොහොම සරල සුගම ලෙස මේ නාට්‍යය තුළින් ගෙන එනවා.
බොහොම රසවත්ව සිනහ වෙමින් එම නාට්‍යය නරඹා ටොෆි කාලා කොළය විසි කරන්නැති තත්ත්වයට නාට්‍යය පත්වුණා. ඒ ගැන සතුටුයි. මගේ නාට්‍යය නරඹා බහුතර ප්‍රේක්ෂක පිරිසක් වින්දනයක් ලබනවා. මට සම්මාන උලෙළවල් වල සම්මාන නැතිවුණාට ලැබෙන දේවල් ගැන මම තෘප්තිමත්. ඒ ඒ කාලවලට උචිත ලෙස ඒ ඒ කාලවල බුද්ධිමට්ටම් අනුව අපි නාට්‍යය කළා. ඒ තුළ මමත් විඳිනවා. එසේ විඳිමින් ඒ තුළ මම ජීවත් වෙනවා. මම වෙන රැකියා කරන්නේ නැහැ. නාට්‍යයම තමයි මගේ ජීවිතය කරගෙන ඉන්නේ.
Q ඒ කියන්නේ පූර්ණකාලීනව නාට්‍ය ක්ෂේත්රය තුළ නියැළෙන ඔබට ආර්ථිකය කියන කාරණය අභියෝගයක් නෙවෙයිද?
මෙහෙමයි. තමන් කරන දේ හරි අවබෝධයෙන් කරන්න ඕන. එහෙම කළාම වරදින්නේ නැහැ. ඒකයි මම නාට්‍ය කලාවෙන් පිට වෙන රැකියාවක් කරන්නෙ නැත්තේ. මම සියලුම දේවල් කරගෙන තියෙන්නේ නාට්‍ය කලාවෙන්. මේක හරියට තේරුම් ගතයුතු කාරණාවක්. අපි ප්‍රේක්ෂකයන්, සංවිධායකවරුන් ගෙන් අසාධාරණ ලෙස මුදල් ගැනීම නොකළ යුතුයි. සංවිධායකවරු සමග ප්‍රශ්න ඇතිකර ගනිමින් මේ ගමන ගියා නම් අපිට ඉදිරියට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ.
මම අඩු මුදලටයි නාට්‍ය වේදිකාගත කළේ. සංවිධායකවරයාත් රැකගෙන නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයාටත් අඩු මුදලක් වැය කිරීමට සිදුවන අයුරින් තමයි නාට්‍ය වේදිකාගත කළේ. පවතින ආර්ථිකය තුළ වැඩි මුදලකට වේදිකා නාට්‍යයක් කරනවා කියන්නෙම ඒක ප්‍රේක්ෂකයාට අපහසුවක්. ගමක සංවිධායකවරයෙක් ගත්තත් ඒ මුදල වක්‍රාකාරව ප්රේක්ෂකයාටයි පටවන්නේ. වැඩි මුදලට නාට්‍යය වේදිකාගත කරලා ප්‍රේක්ෂකයෝ වේදිකා නාට්‍ය ශාලාවලින් ඈත් වුණා නාට්‍ය කලාව ප්‍රපාතයකට ඇද වැටුණා කියලා කෑගහන අය මේ දේවල් ගැන හිතන්න ඕන.
අද නාට්‍යය කලාවම අභාවයට යන්නේ ඒ නිසා.අපි සාප කරකර ඉන්නවා මිසක් වෙන විකල්ප වලට යන්නේ නැහැ.මගේ නාට්ය්ය සංවිධානය කරන්නෙත් මම.ඒ නාට්‍යය වෙනත් සංවිධායක වරයෙක්ට දුන්නොත් ඒ වැඩිවෙන මුදල දරන්න වෙන්නෙත් ප්‍රේක්ෂකයාට.එතරම් මුදලක් දරලා වේදිකා නාට්‍යයක් බලන්න ප්‍රේක්ෂකයන්ට අපහසුයි.අඩු මුදලක ට වැඩි පිරිසකට නාට්‍යය පෙන්වීම තමයි මගේ පරමාර්ථය.
Q ඔබේ නාට්‍යවල ප්‍රහසනයට මුල් තැන දෙන්නේ පහසුවෙන් ප්‍රේක්ෂකාගාරය ජයගත හැකි නිසාද?
මේක එක් පිරිසකගේ බොරු කතාවක්. නාට්‍යය හොඳ නම් ප්‍රේක්ෂකයන් වැලඳ ගන්නවා. මගේ හැම නාට්‍යයක්ම දර්ශන පනහකට වඩා වේදිකාගත වුණා. තොත්ත බබාලා නාට්‍යය දර්ශන පන්සියයත් පසු කළා. බර අවි දර්ශන තුන්සීය පසු කළා. ප්‍රේක්ෂකයන්ට නාට්‍යය ගෝචර වෙන්න ඕන.
පිරිසක් අපිව විවේචනය කරනවා. එහෙම හොඳ නැත්තම් ප්‍රේක්ෂකයන් නාට්‍යය ප්‍රතික්ෂේප කළ යුතුයිනේ. එහෙම ප්‍රතික්ෂේප කරන්නෑ. අපි එහෙම ප්‍රතික්ෂේප කරලා නෑ. එහෙම ප්‍රතික්ෂේප වූ අය ඉන්නවනේ. වාණිජ හෝ සම්භාව්‍ය හෝ ප්‍රේක්ෂකයන්ට බලන්න යමක් තියෙන්න ඕන. එහෙම නම් ප්‍රේක්ෂකයෝ වැලඳ ගන්නවා. ද්වේෂ සහගතව මේ ගමන යන්න බෑ.
Q ඔබ සඳහන් කළා ඒ ඒ කාලවල බුද්ධිමට්ටමට උචිත ලෙස නාට්‍ය කළා කියලා. ඒ කියන්නේ කාලයට සාපේක්ෂව ප්‍රේක්ෂකාගාරයේ බුද්ධි මට්ටම් වල ලොකු වෙනසක් වෙලා තියෙනවද?
ප්‍රේක්ෂකාගාරය හොඳ යමක් දුන්නොත් ගන්නවා. ප්‍රේක්ෂකයන්ගේ හදවතට දැනෙන දෙයක් වැලඳ ගන්නවා. එදයි අදයි කියලා වෙනසක් නෑ. රසවින්දනයේ අඩුවක් දකින්නත් නෑ. ආර්ථිකය කොහොම වුණත්, දේශපාලනය කොහොම වුණත්, මොන සමාජ මට්ටමක හිටියත් මිනිසාගේ රසවින්දනය වෙනස් වෙන්නෑ. සමහර අය කියනවා රසවින්දනය මොට වෙලා කියලා. එහෙම මොට වෙලා නෑ. ඒ ද්වේෂ සහගත ප්‍රකාශ. හොඳ දේ ගන්නත්, නරක දේ බැහැර කරන්නත් ප්‍රේක්ෂකයෝ දන්නවා.
Q 'අං ආවෝ' වේදිකා නාට්‍යයේ මංගල දර්ශනයෙන් පසු ඉදිරිය කෙලෙසකද සංවිධානය වෙන්නේ?
සංවිධායකවරු නැතුවත් මගේ නාට්‍ය දර්ශන වාර පනහක් ගෙනියන්නේ කොහොමද කියලා මම දන්නවා. මම නාට්‍යය නිර්මාණ ශිල්පියෙක් වෙන්න ඉස්සෙල්ලා සංවිධායකයෙක්. මගේ නාට්‍යයක් දර්ශන වාර පනහක් අනිවාර්යෙන් ගෙනයන්න පුළුවන්. අද වෙද්දි පිට පළාත්වල හොඳ වේදිකා නාට්‍ය ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා.
කොළඹ වැඩි වේදිකා නාට්‍ය ශාලා ප්‍රමාණයක් තියෙනවා. නමුත් අඩු ප්‍රේක්ෂකාගාරයක් තියෙන්නේ. ඉන්නේ එකම ප්‍රේක්ෂකාගාරයක්. තව විශේෂ දෙයක් කියන්න ඕන. මගේ නාට්‍යය බහුතරයක් ද්වේෂ සහගත ලෙස විවේචනය කරනවා. එක නාට්‍යයක් බලලා විවේචනය කරන්න එපා කියලා මම කියන්නේ. 'තොත්ත බාබාලා' නාට්‍යය උදාහරණයකට ගමු. ඒ නාට්‍යය කරලා වසර විස්සකට වැඩියි. ඒ නාට්‍යය තුළ ඉඳගෙන 'අං ආවෝ' වේදිකා නාට්‍යය විවේචනය කිරීම හරි අසාධාරණයි. සාධාරණ විවේචනයට හිස නමනවා. එන්න බලන්න, ඇවිත් විවේචනය කරන්න.
ජායාරූප - ශමීර රාජපක්ෂ