සිනමා ක්ෂේත්රයේ නියැළෙන්නන්ගේ වාර්ෂික හමුවක් ලෙසද බොහෝ විට අර්ථකථනය වන ලොව අග්‍රගණ්‍ය සිනමා උලෙළක් වන බර්ලින් ජාත්‍යන්තර සිනමා උලෙළ67 වැනි වරටත් පැවැත්විණි.
පසුගිය පෙබරවාරි 09 වැනිදා සිට 18 වැනිදා දක්වා පැවැති මෙම සම්මාන උලෙළේදී පිරිනැමෙන ඉහළම සම්මානය වන 'ගෝල්ඩන් බෙයා (Golden Bear)' සම්මානය මෙවර හිමිකරගත්තේ 'ඉල්ඩිකෝ එන්යෙඩී' අධ්‍යක්ෂණය කළ හංගේරියානු ප්‍රේමණීය වෘත්තාන්ත සිනමාපටයක් වන 'ඔන් බොඩි ඇන්ඩ් සෝල් (On Body and Soul)' සිනමාපටයයි.
මෙහි අධ්‍යක්ෂිකා ඉල්ඩිකෝ මෙහි අවසන් දිනයේ ප්‍රේක්ෂකයන්ට පවසා ඇත්තේ මෙම සිනමාපටය, 'ප්‍රේමණීය හදවත්වලට පමණක් ප්‍රියවාදී' වන්නක් බවයි. එසේම ජූරියේ සභාපති ලන්දේසි සිනමා අධ්යක්ෂ සහ නිෂ්පාදක 'පෝල් වර්හෝවෙන්' පවසා ඇත්තේ මෙම සිනමාපටය බොහෝවිට ප්‍රේක්ෂකයන්ට එදිනෙදා ජීවිතයේදී අමතක වූ දයාව, ආදරය මතක්කර දෙන්නාවූ සුවිශේෂී සිනමාපටයක් නිසා සිය ජූරි සභාවේ සාමාජිකයන් හත්දෙනාම මෙම සිනමාපටය සමග ආදරයෙන් වෙළුණු බවයි.
හංගේරියානු බසින් නිර්මාණය වී ඇති මෙම සිනමාපටය මිනිත්තු 116ක පමණ කාලපරාසයක් ඔස්සේ දිවෙන අතර, මෙහි අධ්‍යක්ෂණය සහ තිර රචනය යන ද්විත්ව කර්තව්‍යයම ඉල්ඩිකෝ එන්යෙඩී විසින් සිදුකර ඇත. මෙහි රංගනයෙන් ගීසා මෝර්ක්සනයි, ඇලෙක්සැන්ඩ්රා බෝබ්ලි, සොල්ටන් ස්චෙනිඩර් සහ අර්වින් නෑගි රංගනයෙන් දායක වී ඇත.
අනුෂි දන්තනාරායන