දිවියෙන් සමුගත්, ප්‍රවීණ නාට්‍යවේදියෙකු, රංගන ශිල්පියෙකු, නාට්‍ය පරිවර්තකයෙකු හා නාට්‍ය රචකයෙකු වූ බන්දුල විතානගේ මහතාගේ අවසන් කටයුතු එළඹෙන 04 වැනිදා සවස 4.30 ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
එතුමාගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙන අතර, එළඹෙන 04 වැනිදා මහජන ගෞරවය සඳහා උදෑසන 9.00 ට පමණ ජාතික කලාභවන වෙත ගෙන යාමට නියමිතව ඇත.
1940 සැප්තැම්බර් 11 වැනිදා උපත ලද බන්දුල විතානගේ මහතා, අතුරුවැල්ල ප්‍රාථමික විද්‍යාලය, කොළඹ කේරි විද්‍යාලය, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලබා ඇත. අනතුරුව 1963 දී කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වී නාට්‍යකරණය පිළිබඳව ලැබූ අධ්‍යාපනය ඔහුගේ දිවියේ සුවිශේෂී සංධිස්ථානයක් විය.
බන්දුල විතානගේ මහතාගේ නාට්‍ය නිර්මාණකරණය ඇරඹෙන්නේ 1969දී නිෂ්පාදනය කළ මේඝ ගර්ජනා, නාට්‍යත් සමගය. අනතුරුව ගංගාව, සපත්තු කබලක් සහ මරණයක්, වැනීසියේ වෙළෙන්දා, රෝමය ගිනිගනී, සෙනෙහෙබර ඩොලී, බෙකට්,මැක්බර්ත් ආදී නාට්‍ය රැසක් ඔහු අතින් නිර්මාණය කෙරුණි.
නාට්‍යකරණයේ යෙදී සිටින අතරම රංගන ශිල්පියෙකු ලෙසද සිය ප්‍රතිභාව වේදිකාව, සිනමාව හා ටෙලිනාට්‍ය හරහා ප්‍රකට කිරීමට බන්දුල විතානගේ මහතා සමත් විය.
ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙසද සිය හැකියාව ප්‍රකට කළ බන්දුල විතානගේ මහතා, බුමුතුරුණු, අසල්වැසියෝ ආදී ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගත් ටෙලිනාට්‍ය කිහිපයකම අධ්යක්ෂවරයා විය.
ඊයේ (01දා) කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ බන්දුල විතානගේ මහතා මිය යන විට 74 වැනි වියේ පසුවිය.
ඡායාරූපය- ශ්‍රී ලංකා ගුවන් හමුදාව