Porsche සමාගම සිය මෝටර් රථ නිෂ්පාදන සම්බන්ධයෙන් මියගිය නළු පෝල් වෝකර්ගේ දියණිය පවරනු ලැබූ නඩුවට පිළිතුරු දෙමින් එය තම සමාගමේ නිෂ්පාදනවල වරදක් නොවන බවත්, එය නොසැලකිලිමත් රිය පැදවීමේ ප්‍රතිඵලයක් බවත් ප්‍රකාශ කෙරිණි. CNN පුවත් සේවයට මෙම ප්‍රකාශය ලබාදෙමින් ජර්මානු මෝටර් රථ සමාගමක් වන Porsche මෙහි වගකීම් තම කර මතින් බැහැර කළේය.
මෙම නඩුව ගොනු කළ 16 හැවිරිදි මෙඩෝගේ පියා වූ සුප්‍රකට Fast & Furious චිත්‍රපට මාලාවේ නළු පෝල් වෝකර් මිය ගියේ 2013 වසරේ වන අතර, පසුගිය සඳුදා Porsche සමාගමට එරෙහිව නඩු පවරමින් ඇය පවසා තිබුණේ සිය පියා මියගිය රිය අනතුරට මුහුණ දුන් රථය වුණු 2005 Carrera GT හි සැලකිය යුතු නිර්මාණ දෝෂ ඇති බවත්, එනිසා සිය පියාගේ මෙම හදිසි අභාවය සිදුවුණු බවත්ය.
වෝකර් ගමන් කළ එම රථය කොන්ක්‍රීට් පහන් කණුවකත්, ගස් දෙකකත් හැපුණු අවස්ථාවේ පවා වෝකර් ජීවත් වුණු බවට නඩු වාර්තා ප්‍රකාශ කරයි. කෙසේවුවත් පෝෂ් සමාගම නියෝජනය කරමින් පුවත් සේවයට අදහස් දැක්වූවෙකු පවසා සිටියේ ඕනෑම අයෙකු පෝෂ් වාහනයක් තුළ සිටියදී අනතුරකට ලක්වුවහොත් තම සමාගම දුක්වන බවයි. තමන් අදාළ බලධාරීන්ගේ වාර්තා විශ්වාස කරන අතර, ඒ අනුව මෙම රිය අනතුර හුදෙක් නිෂ්පාදන දෝෂයක් නොව නොසැලකිලිමත් රිය පැදවීමේ තවත් ඛේදනීය ප්‍රතිඵලයක් ලෙසත් සහතික වන බවද එම සමාගම පැවසීය.
එසේම තවමත් මෙම නඩුව විභාග වෙමින් පවතින බැවින් මෙයට අදාළ අනෙකුත් කාරණා සම්බන්ධව අදහස් දැක්වීමෙන් තම සමාගම වැළකී සිටින බවද පැවසීය.
මෙම නඩුවට මෙඩෝ ගේ පාර්ශ්වයෙන් පෙනී සිටින නීතීඥයින් පවසන්නේ අනතුර වන අවස්ථාවේ වෝකර් හිඳ සිටි අසුනේ සහ ආරක්ෂක පටියේ දෝෂයක් නිසා දැඩි පීඩනයක් යෙදීමෙන් ඔහුගේ ඉලඇට සහ උකුළු පෙදෙසට හානි වූ බවයි. එසේම එලෙසින් පැවති මිනිත්තු එකහමාරක කාලය තුළ රථය ගිනි ගනිද්දීත් වෝකර් මිය ගොස් නොසිටි බවට නඩු ලිපි ගොනුවල සඳහන්ව ඇත.
මෙම රථයේ හිමිකරු සහ එම අවස්ථාවේ රථය පැදි මියගිය රොජර් රොඩාස් පැයට සැතපුම් 80ත් 93ත් අතර වේගයකින් රථය ධාවනය කර ඇති අතර, මෙම වේගය සම්බන්ධයෙන් අදහස් දක්වන පැමිණිලි පාර්ශ්වය පවසා ඇත්තේ එම රථය ධාවනය වූයේ පැයට සැතපුම් 63ත් 71ත් අතර බවයි. මෙහිදී පැමිණිලි පාර්ශ්වය රථයේ තාක්ෂණික දෝෂ ඇති බව දැඩි ලෙස විවේචනය කරයි.
40 හැවිරිදි සිය පියාගේ අභාවයෙන් පසු මෙඩෝ විසින් සිය පියාගේ නමින් අරමුදලක් මෙම මස මුලදී ඇරඹි අතර, එය තම පියා සිහිවීම වෙනුවෙන් සිදුකළ හැකි හොඳම ක්‍රියාව යැයි ඇය පවසයි. එම අරමුදල හරහා සාගර විද්‍යාව සම්බන්ධ වැඩි අවධානයක් සහිත තාරුණ්‍යයට ශිෂ්‍යත්ව ලබාදීමේ සූදානමක් පවතී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙඩෝ තම පියා සාගරයට දැඩි සේ ඇලුම් කළ අයෙකු බව පැවසීය.