මේ වනවිට මෙරට ප්‍රමුඛතම සංගීත කණ්ඩායම වන ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ නියමුවා වන රොෂාන් ප්‍රනාන්දුගේ පළමු ගීත ඇල්බමය වන 'පූජනීයයි ආදරේ' ගීත එකතුවෙහි ඇති ගීත සඳහා එදා ඇති ඉල්ලුම අදටද පවතී. මේ නිසාම රොෂාන් සිය ගායන දිවියේ 15 වසර සැමරුම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රසංගය නම්කර තිබෙන්නේද 'පූජනීයයි ආදරේ Live in Concert' ලෙසිනි.
මෙම ප්‍රසංගය මේ මස 27 වැනිදා රාත්‍රී 7.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 'පූජනීයයි ආදරේ'හි ඇතුළාන්තයෙහි ඇත්තේ විශේෂිත ගැඹුරු අදහසකි. 'පූජනීයයි ආදරේ' පිළිබඳ රොෂාන් ප්‍රනාන්දු පැවසුවේ මෙවැන්නකි.
Q 'පූජනීයයි ආදරේ live in concert' යනුවෙන් ප්‍රසංගයක් පවත්වන්නේ ඇයි?
ඇත්තටම ඒකට හේතු කිහිපයක් තියෙනවා. මගේ ගායන ජීවිතයට වසර 15ක් සපිරීම නිමිත්තෙන් තමයි 'පූජනීයයි ආදරේ live in concert' එකක් පවත්වන්නේ. හැබැයි මගේ සංගීත කණ්ඩායම් දිවියට අවුරුදු 25ක් වෙනවා. ඒ කියන්නේ 'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමත් එක්ක අවුරුදු 25ක් වෙනවා. මම ගීත ගායනා කරන්න පටන්ගෙන අවුරුදු 15ක් වුණා.
ඒ කාලේ මේ ගීත ඇල්බමයේ ජනප්‍රිය වුණු ගීත තියෙනවා. ඒවා අද වෙනකොට ප්‍රසංග වේදිකාවේ ගායනා කෙරෙන්නේ නැහැ. 'තව එකසැරයක්', 'සුපෙම් සුවඳක්', 'හදවත පාරන සොඳුරු හැඟුම්' වගේ ගීත අද වේදිකාවල ගායනා වෙන්නේ නැහැ. මේ ගීත සඳහා අදත් ආදරය කරන පිරිස් ඉන්නවා.
ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක් තමයි මේ සිංදු ටික ඔක්කෝම එක දවසක අහන්න තැනක් දෙන්න කියන එක. ඒ දේ මගේ රසිකයන් වෙනුවෙන් ඉෂ්ට කරන්නයි මම මේ සූදානම් වෙන්නෙ. ඒ අයට මට දුන්නු ගෞරවයට පෙරලා ගෞරවයක් දැක්වීම තමයි මේ ප්‍රසංගයේ තවත් අරමුණක් වෙන්නෙ.
Q මේ ප්‍රසංගය 'පූජනීයයි ආදරේ' ලෙස නම් කරන්නෙ ඇයි?
'පූජනීයයි ආදරේ' කියන්නේ මගේ මුල්ම සීඩී තැටිය. මට මේ නමින් තමයි හරිගියේ. ඒ නමින් දාපු සීඩී එකේ සිංදු සේරම ජනප්‍රිය වුණා. සාමාන්‍යයෙන් සීඩී එකක සිංදුවයි, දෙකයි ජනප්‍රිය වෙන්නෙ. නමුත් මගේ මේ සීඩී එකේ හැම ගීතයක්ම ජනප්‍රිය වුණා. මම හිතන්නේ ලොකු වාසනා ගුණයකුත් ඒ නමේ තියෙනවා කියලයි. ඒවාත් එක්ක තමයි 'පූජනීයයි ආදරේ' කියලා මේ ප්‍රසංග නම් කළේ.
Q 'පූජනීයයි ආදරේ' කියන දේ ඇතුළෙ තියෙන ආදරය, විරහව කියන කාරණා අදටත් වලංගුද?
ඔව් අනිවාර්යයෙන්ම. ආදරය අපට මැරෙනකල් ඕන. ආදරයෙන් ලබපු සුන්දර සහ අසුන්දර මතක අපේ ජීවිතයේ අවසන් වෙනතෙක් අපේ හිත්වල ජීවත් වෙනවා. ඒ කියන සියලු කාරණා මේ ගීතවල තියෙනවා.
Q 'පූජනීයයි ආදරේ' එළිදැක්වූ කාලය කිව්වොත්?
2012 වර්ෂයේදී තමයි මම ඒ ගීත ඇල්බමය එළිදැක්වුවේ.
Q 'පූජනීයයි ආදරේ' ඇතුළෙ තිබුණු විරහව සහ වේදනාවට ඇයි ගොඩක් දෙනා ආදරය කළේ?
ඇත්තටම ගොඩක් දෙනාට එහි ගීතවල තියෙන අත්දැකීම තියෙන්න ඇති. ආදරේ කරලා, ආදරේ දැනිලා, ආදරෙන් පැරදිලා හදපු නිර්මාණ. ගීත කියන්නේ හදවත් එක්ක කරන ගනුදෙනුවක්නේ.
මේක අනිත් අයට දැනෙන්න හේතුවක් තමයි, මට රිදිලා, හිතට දැනිලා ලියපු, කියපු සිංදු නිසයි. අනිත් අයටත් ඒ සමානවම අත්දැකීම් තියෙනවා. ඒවා ඒගොල්ලන්ගේ කරගෙන ඒ අය ඒ ගීත ඇහුවා. ඒකයි මේ ගීත මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුව. සල්ලි හොයන්න බලාගෙන කරන සිංදු නෙමෙයි මේ නිර්මාණ.
Q ඒ කියන්නෙ මේ ගීත ඇල්බමයම ඇතුළෙ තියෙන්නෙ 'රොෂාන් ප්‍රනාන්දු'ගේ ආදරේ වේදනාවද?
ඔව්, අනිවාර්යයෙන්ම. ඒ 'පූජනීයයි ආදරේ' කියන සංගීත ඇල්බමය තුළ තියෙන ගීත 12ම තියෙන්නේ මගේ ජීවිතයේ, ආදරේ අත්දැකීම්.
Q ඔබත් ආදරේ කරලා පැරදුණු කෙනෙක්?
ඇත්තෙන්ම ඔව්. ආදරේ කරලා තියෙනවා, ආදරේ හොඳට විඳලා තියෙනවා. ඒ ආදරෙන්ම පැරදිලා තියෙනවා. ඒ ගීත අහන කොට මම කවුද කියන එක තමයි කියැවෙන්නෙ. රොෂාන්ගේ ආදරය මොකක්ද? රොෂාන් ආදරය කළේ කොයි විදිහටද කියන හේතු කාරණා ඔක්කොම මේ ගීත තුළින් බලාගන්න පුළුවන්.
Q එදා සහ අද නිර්මාණවල ඇති වෙනස් පරතරය මොකක්ද?
අද නිර්මාණය වන ගීත ගොඩක් නිර්මාණ වෙන්නේ ආර්ථික වාසි බලාගෙනයි. ඉස්සර ගී පද රචකයෙක් සිංදුවක් ලිව්වේ ඔහුට දැනිලා, ඔහුට රිදිලා. අද ඇතැම් ගී පද රචකයන් සිංදු ලියන්නේ මේකෙන් කොච්චර හොයන්න පුළුවන්ද කියලා බලාගෙනයි. එතකොට ඒ නිර්මාණ දවස්, සති හෝ මාස කිහිපයක් තමයි හැමෝගෙම හිත්වල තියෙන්නෙ.
ඒ අඩුව තමයි අද තියෙන්නෙ. ඕනෑම කෙනෙකුට ජීවිතයේ අත්දැකීම කියන එක වටිනවානේ. මගේ ජීවිතයේ මං දැකපු හොඳම අත්දැකීම තමයි, හොඳ දේවල් කිරීමෙන් පවතින්න පුළුවන් කියන කාරණාව. ඒ නිසා මම ඉස්සරහටත් උත්සාහ කරනවා.
Q 'පූජනීයයි ආදරේ' ඇල්බමයේ ගීත අදටත් රසිකයන් ඉල්ලන විට ඔබට හිතෙන්නේ කුමක්ද?
ගොඩක් සතුටුයි. ආදරේට වයසක් නැහැ. හොඳ නිර්මාණ පරණ වෙන්නේ නැහැ, පුස් කන්නේ නැහැ, කල් ඉකුත් වෙන දින නැහැ. අපි තේරුම් ගන්න ඕනේ ඒදේයි. රසිකයන් හොඳට මතක තියාගෙන ඉන්නවා තමන්ට දැනුණු දේ. 'පූජනීයයි ආදරේ' හරහා දැනෙන්නෙත් ඒ ප්‍රතිචාර සහ ආදරයයි.
Q මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න දැඩි වෙහෙසක් දරන්න ඕන නේද?
අනිවාර්යයෙන්ම ඔව්. මට මුලින්ම ඕන කරලා තිබුණා මේ වෙනස. නෙළුම් පොකුණ කියන මහා ප්‍රේක්ෂකාගාරයේ දැවැන්ත ප්‍රසංගයක් පවත්වන්න. ලංකාවේ ඕනෑම කෙනෙකුට එන්න පුළුවන් තැනක් සහ දන්න තැනක්. එතැන ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායම සහ ලොකු ඔකෙස්ට්‍රා එකක් වගේ දේවල් තියෙනවා.
මෙය චන්න විජේවර්ධනයන්ගේ නර්තනය සහ ටෝනි ෆර්නෑන්ඩස්ගේ නර්තනයෙන් හැඩවෙනවා. ගායන ශිල්පීන්, රංගන ශිල්පීන් සහ ප්‍රවීණයන් රාශියක් සහභාගි වෙනවා මට සුබ පතන්න. මේ දේ ඇත්තටම දැවැන්ත කාර්යයක් තමයි.
Q නෙළුම් පොකුණ කියන්නෙ විශාල පිරිසක් එකවර රැස්කර ගන්න පුළුවන් තැනක්. ඉතිං ඔබේ පළමු ප්‍රසංගයම මෙහි පැවැත්වීමේදී යම්කිසි චකිතයක් නැද්ද ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම ගැන?
කිසිම චකිතයක් නැහැ. අද වෙනකොට ටිකට් සහ ආසන ප්‍රමාණය දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ තරම් ඇමතුම් ලැබෙනවා. මට කියන්න සතුටුයි ඒ දේවල්. අම්පාරෙන්, හම්බන්තොටින් මේ ප්‍රසංගයට එනවා කියලා කෝල් කරනවා. ඒ දේවල් තමයි අපි එකතු කරපු දේවල්. අපි දෙයක් කරන කොට ඒ හදවත් අපිත් එක්ක එකතු වෙනවා.
Q අද ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ඔබට ආදරය කරන පිරිස් ඉන්නවා නේද?
මම හැමදාම කළේ හරි දේ. මගේ ගෙදරින් මගේ තාත්තා මට උපදෙස් දුන්නේ එහෙමයි. කවදාවත් මම එක්කෙනෙක් දෙන්නෙක්ගේ හිත් සතුටු කරලා ගොඩක් දෙනෙක්ගේ හිත් අසතුටු කරලා නැහැ. මම හැම වෙලාවේම කළේ හරිදේ.
ගොඩාක් වෙලාවට සමහරක් අයගෙන්, සංවිධායකයන්ගෙන් බැණුම් අහගෙන තමයි මම හරිදේ කළේ. මේ ඒකෙ ප්‍රතිඵලය තමයි රසිකයන්ට විශ්වාසයක් තියෙනවා රොෂාන් ඇවිල්ලා දෙයක් මහන්සි වෙලා හරියට කරයි කියලා. ඒ විශ්වාසය තමයි අදටත් මගේ රසිකයන්ට තියෙන්නේ.
Q 'පූජනීයයි ආදරේ live in concert' ප්‍රසංගයෙන් පස්සේ මොකද වෙන්නේ?
රොෂාන් ප්‍රනාන්දුගේ අතීතය මේ ප්‍රසංගයෙන් රසිකයන්ට මතක් කරලා දෙනවා. එතැනින් පස්සේ ඉදිරියටත් යන්නේ ඒ අතීතයේ හිටපු රොෂාන් ප්‍රන්නාදු තමයි කියන එකත් මතක් කරන්න ඕනේ. විශේෂ දෙයකුත් එදාට වෙනවා.
ගීතයක් එළිදක්වනවා රූපරචනාවක් එක්ක. ඒ ගීතයේ තියෙන විශේෂත්වය එදා ඇහුණු රොෂාන් ප්‍රනාන්දුගේ ගීතයක් වගේමයි මේ ගීතයත්. ඒ රහමයි. රොෂාන් ප්‍රනාන්දු රිගින්ටෝන්වලටවත්, මේ යන රැල්ලටවත් සිංදු කියන්නේ නැහැ. කිව්වොත් සහ කළොත් කරන්නේ හොඳ පැත්තකට අරගෙන යන්න පුළුවන් නිර්මාණ විතරයි.
Q 'රොෂාන් ප්‍රනාන්දු' කියන එක මාර්කට් කරන්නේ නැද්ද?
ඇත්තටම අපි කාටත් ජීවත් වෙන්න සල්ලි ඕන. මේ පවතින ක්‍රමය යටතේ අපේ සිතුවිලි, අපට කැමැති දේවල් විතරක් කරලා යන්න අමාරුයි. 'ඔයා නිසා හඬලා' කියන ගීතයෙන් තමයි ගොඩක් දේවල් බිහිවුණේ.
අපේ රටේ මොකක් හරි එක දෙයක් ආපුවාම ඒක පිටිපස්සේ තමයි ඔක්කොම දුවන්නේ. මට ඒකෙන් මිදෙන්න ඕන. ඒ දේ වෙනස් කරන්න තමයි මට හැකි අයුරෙන් 'පූජනීයයි ආදරේ live in concert' පවත්වන්න වෙහෙසුණේ. අපි ගොඩක් වෙලාවට මේ රටේ සංගීතයට වෙනසක් කරපු සංගීත කණ්ඩායමක්. මම උත්සාහ කරනවා නැවත ඒ දේ කරන්න.
Q 'පූජනීයයි ආදරේ' වෙනුවෙන් රසිකයන්ට කියන්නේ?
එදා තිබුණු පූජනීය වූ ආදරේම අදත් මගේ ඇඟේ තියෙනවා. ඒ ආදරේ බෙදා ගන්න නෙළුම් පොකුණට එන්න කියලා ආරාධනා කරනවා.