අතීතයේ සිටම පැවතගෙන ආ දේවල් වර්තමානයේදී සිතාගත නොහැකි මට්ටමකට වෙනස් වී තිබේ. එයට හේතුව වන්නේ දියුණු වන ලෝකය තුළ තාක්ෂණයත් සමග ඉදිරියට යාමට මිනිසුන් දරන උත්සාහයයි.
අපගේ ජීවිතයේ සුන්දර අවස්ථා දක්වන ඡායාරූපයක් සුරක්ෂිත කරන පින්තූර රාමුවද මේ වෙනසට බඳුන්ව තිබේ. මුලින් භාවිත කළ ලී පින්තූර රාමුව කාලයත් සමග ෆයිබර් සහ ෆ්ලයිවුඩ් වැනි විවිධ ආදේශකයන්ට මාරු විය. ඉන්පසු ඒ වෙනුවට ඩිජිටල් තිරයක් මගින් තම රූප පෙළක් ගෙන දැක්වීමට හැකි පරිදි ඩිජිටල් ඡායාරූප රාමු හඳුන්වා දෙන ලදී. මේ අතර, Darryl Cox නම් ලී වඩු නිර්මාණකරුවා අතීතයේ තිබූ ලී රාමුවට යළිත් වැඩි වටිනාකමක් ලබාදීමට සමත් වී තිබේ. මේ සටහන ඒ සම්බන්ධයෙනි.
Darryl Cox යනු කැලිෆෝනියාවේ හැදුණු වැඩුණු තරුණයෙකි. ඔහුගේ පියා වඩු කාර්මික ශිල්පියෙක් සේම ධීවර කාර්මිකයෙක්ද විය. තමන් කුඩා කල එවැනි දුක්ඛිත ජීවිතයක් ගතකළ බව Darryl Cox ඔහුගේ වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.
කෙසේ වුවත්, මේ වනවිට ඔහුගේ ඡායාරූප රාමුවට ඉහළ වටිනාකමක් ලැබී ඇති අතර, ඒවා මිලට ගැනීමට රසික පිරිස් පෙළගැසී සිටින බවද සඳහන් වෙයි.
ඔහු තමන් නිර්මාණය කර පින්තූර රාමුව Fusion Frames යනුවෙන් හඳුන්වනු ලබයි. මෙම පින්තූර රාමු අන්තර්ජාලය ඔස්සේ සහ ඔහුගේ අලෙවි සැලකින් ලබාගැනීමට හැකියාව තිබේ. මෙම එක් පින්තූර රාමුවක අවම මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 2800 ක් (රුපියල් ලක්ෂ හතරකට ආසන්නය) ලෙසිනි.
වඩු කාර්මික ශිල්පය පිළිබඳව තම පියාගෙන් හදාරා තම පවුල සිටි දිළිඳු බවින් ඉහළට ගැනීමට තමන්ට හැකියාව ලැබුණු බව ඔහු සඳහන් කරයි. වරක් හෙතෙම සඟරාවකට පවසා තිබුණේ, "නොමැරුණු දෙයක් මරණවාට වඩා මැරුණු යම් දෙයකට පණදීම ඉතා වැදගත් බවයි' යනුවෙනි. 'මම කවදාකවත් මෙම රාමු නිර්මාණය කිරීම සඳහා නොමැරුණු ගස් භාවිත කරන්නේ නැහැ. එමනිසා කොපමණ වෙහෙසක් දරා හෝ මම මැරුණු ගස් සොයා එයට නව පණක් දීමට මෙවැනි දෙයක් කළා' යැයි ඔහු පවසා තිබේ.
කෙසේ නමුත් මෙවැනි ශිල්පීන් පිළිබඳව ලෝකය තුළ කතා නොකරන බවටද ඔහු සඳහන් කර තිබූ අතර, තමන්ගේ ඊළඟ ඉලක්කය ඉදිරියේදී මෙවැනි නිර්මාණ හැකියාව ඇති වඩු කාර්මික ශිල්පීන් එක්කොට ලෝකය තිගැස්වීමට කටයුතු කිරීම යැයිද ඔහු සඳහන් කරයි.