2015 වර්ෂයේ ශ්‍රී ලංකාවට පාප්තුමාගේ පැමිණීම ගැන ලොවම කතාබහ කරන මාතෘකාවකි. පාප්තුමාගෙන් ආශීර්වාදය ලබාගැනීම කිතුනු බැතිමතුන් පමණක් නොව මෙලොව වෙසෙන කාගේත් උත්තරීතර බලාපොරොත්තුවකි. පාප්තුමාගේ පැමිණීමට ගීතයෙන් ආශීර්වාදයන් ලබාගැනීමට නලීන් පෙරේරා ඇතුළු ප්‍රවීණ ගායක ගායිකාවන් රැසක් දායක වෙමින් ගීතයක් නිර්මාණය කර ඇති අතර, මේරියන්ස් සංගීත කණ්ඩයමේ කුළුදුල් නත්තල් ගීත ඇල්බමයද ඔබට තිළිණ කිරීමට ඔවුහු සූදානම් වෙති.
පාප්තුමන්ගේ ගීතය
ඉතාමත් වැදගත් කාරණාවක්. මම හරිම භාග්‍යවන්තයි, ඒ වගේම වාසනාවන්තයි අපේ නුවන් ලියනගේ සහෝදරයාගේ මෙහෙම වැඩකට සහභාගී වීමට ලැබීම ගැන. පාප් වහන්සේගේ පැමිණීමට සරිලන ගීතයක් සඳහා නුවන් ලස්සන පදමාලාවක් ලබා දුන්නා. මම ඇතුළුව නිරෝෂා,ශිවන්ත, ජූඩ්, සුදත්,අජිත්, නාෙයල්, කේ.සුජීවා, ශේන්, ශානිකා,මීනා,රොෂාන් ඇතුළු ඉහළ තලයේ ඉන්න ගායක ගායිකාවන් 15ක් විතර මේ ගීතය සඳහා දායක වුණා.
මම මේ සුදතුම් පාප්තුමන් දකින්නේ කලින් පත්වූ පාප්තුමන්ලාට වඩා මනුෂ්‍යත්වයට නැඹුරු වුණු සුදතුම් පියතුමෙක් විදිහයටයි. උන්වහන්සේගේ තියෙන තරාතිරමෙන් ගොඩක් පහළ බැහැලා අපේ තත්ත්වයට ඇවිත් තියෙනවා. එදිනෙදා ජීවත්වන දුගී මිනිසාගේ හදවත තුළ උන්වහන්සේ අද ඇවිත් තියෙනවා. ඉතිං මෙවැනි කෙනෙකු සඳහා ගීතයක් ගායනා කරන්න අපි කොච්චර වාසනාවන්ත වෙන්න ඕනද කියලා හිතාගන්නත් බෑ.
නලීන් පෙරේරාගේ මූලිකත්වය
මමත් මගේ ජීවිතය වෙනස් කර ගත්ත කෙනෙක්. ජීවිතයේ මට ලැබිච්ච දේවල්වලින්, මගේ ජීවිතය කඩාවැටිච්ච තැනවලින් මම එළියට ඇවිත් යථාර්ථය හඳුනාගෙන ජීවත් වුණු කෙනෙක්. ජේසුස් වහන්සේ කියල තියෙන්නෙ වරදට සමාව ගෙන හෝ වරදට සමාව දී ජීවත් වෙන්න කියලයි. ඉතිං මගේ අතින් වරදක් වුණා නම් වරදට සමාව ගන්න පුළුවන්කමක් තියෙන්න ඕනෙ. ඒ වගේම ඒ වරද හදාගෙන යහපත් මාර්ගයට එනවානම් ඒක තමයි ජේසුස් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මගේ ජීවිතයේ වෙනස්කම හරහා නුවන්ලා මේ දේ දැක්කා. මට ඔය අවස්ථාව ලැබුණේ එහෙමයි. ඉතිං මම ඉහළින්ම එය පිළිගත්තා.
තනු නිර්මාණය
මෙවැනි ගීතයක් නිර්මාණයේදී ගොඩක් අයගේ සිතුවිල්ලට එන්නේ පල්ලියේ ගීතිකාව තියෙන පසුබිමෙන් නිර්මාණය කරනු ලැබූ ගීතයක් හැටියටයි. මේ ගීතය එවැනි ගීතයකට වඩා ගොඩක් වෙනස්. වෙනසක් ඇවිල්ලා කියන අර්ථකථනයට ගීතය නිර්මාණය කරන්නයි උත්සාහ කළේ. මෙම ගීතයේ තනුව නිර්මාණය කරද්දී මම උත්සාහ කළේ පල්ලියේ වටාපිටාවට සමීප වුණේ නැති තනුවක් නිර්මාණය කරන්නයි. මේක මුළුමහත් සමාජයටම විඳින්න පුළුවන් ගීතයක් හැටියට ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් වෙන ගීතයක් අහද්දි ආගම් බේදයකින්, ජාති බේදයකින් තොරව රස විඳිනවානේ. මෙම ගීතය නිර්මාණය කරද්දි මම උත්සාහ කළේ කාටත් ගැළපෙන රිද්මයකට නිර්මාණය කරන්නයි.
ගීතිකාවක් හෝ බොදුබැති ගීතයක් ගායනා කරද්දි දන්නවා මේ ගීතය මොකක්ද කියලා. මම මේ ගීතය බැති ගීතයකින් ඔබ්බට ගිය තනුවක් බවට පත්කළා. මුළුමහත් ජනතාවටම වැළඳ ගන්න පුළුවන් තනුවක් ලෙස තමයි නිර්මාණය වුණේ. විශේෂයෙන්ම තාරුණ්‍යයට ගොඩාක් ළංවෙන රිද්මයක් තමයි මම එකතු කළේ. එයට හේතුව තමයි, තාරුණ්‍යය තමා සමාජයේ වෙනස්කම්වලට බලපාන වයස් සීමාව. ඔවුන්ගේ මනසට, හදවතට දැනෙන රිද්මයක් එකතු කරන්න මෙම නිර්මාණය තුළ මම උත්සාහ කළා.
සංගීතයේ දායකත්වය
මෙතැනදී සංගීත කණ්ඩායමේ ගොඩක් අයට මේ දෙයට දායක වීමට අවස්ථාව ලැබුණේ නෑ. තනුව නිර්මාණ කරලා මෙහි සංගීතය පැත්ත දියුණු කළේ මගේ ශබ්දාගාරයේ තාක්ෂණික ශිල්පියා (Audio Engineer) කසුන් ප්‍රිමාල්. ඔහුයි මායි එකතුවෙලා තමයි සංගීත පැත්ත නිර්මාණය කළේ. මෙහි Creating පැත්තෙදී වැඩිපුර අදහස් තියෙන්නෙ කසුන් ප්රිමාල්ගේ. මගේ සංගීත කණ්ඩායමේ අයව සම්බන්ධ කරගන්න නොහැකි වුණේ ඔවුන්ට තිබුණු කාර්යබහුලත්වය නිසා. ඉතිං මම තනුව නිර්මාණය කරලා අදහස් දුන්නා මෙවැනි නිර්මාණයක් මට ඕන කියලා.
නමුත් මම නුවන්ට මුලින්ම නිර්මාණය කරලා දුන්නේ පල්ලියේ පසුබිමක් ඇති ගීතයක් ලෙසයි. පස්සෙ නුවන් කිව්වා පල්ලියක ඉන්නවා වගේ දෙයක් තමා දැනෙන්නේ, වෙනසක් කරන්න පුළුවන්ද කියලා. දෙවැනි නිර්මාණය අහලා නුවන් කිව්වා &මෙන්න දැන්නෙ මචං වැඩේ හරියට ආවේ කියලා.
ඇසීමට හැකි ආකාරය
මේ වනවිට මෙම ගීතය අන්තර්ජාලය සහ විවිධ ගුවන් විදුලි නාලිකා හරහා විකාශය වන අතර, YouTube ජාලය ඔස්සේ 'දිදුලන හිරු සොයුරේ' යනුවෙන් Search කර මෙම ගීතය ඇසීමේ හැකියාවද පවතියි.
වටිනාකම ආශීර්වාදයක්
මෙහි වටිනාකම මිලකළ නොහැකි දෙයක්. මෙහි අදහසේ ගැබ්වෙන්නෙත් ඒකයි. සමාජයේ වෙනස්වීමට, විශේෂයෙන් කතෝලික සමාජයට ඉතාමත් වැදගත් දෙයක් උන්වහන්සේගේ පැමිණීම. ජේසුස් වහන්සේගෙන් පසුව සමාජයේ අපට පෙනෙන නායකයා හැටියට දකින්නෙ උන්වහන්සේව. මෙතුමාගේ ක්‍රියාවලිය මුළු ජනසමාජයට බලපාන දෙයක්. ඒ බලපෑම උන්වහන්සේ කරලා හමාරයි. ඉතිං ඔය වටිනාකමට අපි කොහොමද මිලක් දාන්නේ. මෙම නිර්මාණ කටයුත්තට දායක වුණු සියලුම දෙනාට මේක උතුම් තෑග්ගක්. මෙයට දායක වෙන්න ලැබිච්ච එක මට ලොකුම තෑග්ගක්.
ඉතිං සමාජයට මේ දෙය ලබාදෙන්න දායක වුණා කියන ආඩම්බරය, හැඟීම, අභිමානය අපට තියෙනවා. මම හිතනවා ඒකෙ වටිනාකම ගොඩක් ඉස්මතුවෙන්නේ සමාජය, ජනතාව වැළඳ ගත්තොත් තමයි. මේ වෙනස් වීමට එක්වෙමු කියන ඇරයුම තියෙනවා. මතිමතාන්තර, තානාන්තර, මතගැටුම්, මේ සියල්ලෙම පසුබිමේ තියෙන්නේ මනුෂ්‍යත්වයයි. මේ නිර්මාණයේ ගැබ්වෙලා තියෙන දේ අතිවිශාලයි. එය සම්පූර්ණ වෙන්නේ අසන උදවිය ඒ හරහා පරිවර්තනය වුණොත් පමණයි.
නිර්මාණය වූ ගීතය
දිදුලන හිරු සොයුරේ
ඔබ අද හරිම වෙනස්
බබලන සඳ සොහොයුරියේ
අද ඔබද වෙනස්
නිවි නිවි දැල්වෙන තරු දරුවන්ද වෙනස්
හමනා සුළඟට නටනා ගහකොළ පිපෙනා මල්ගොමු
බලන බලන හැම අතම වෙනස්
වෙනසක් ඇවිදිල්ලා
වෙනතක් නොබලල්ලා
කිතු සමිඳුගෙ ආදරයේ
උණුසුම ඇවිදිල්ලා
කුල මල ජනබල නොතකන ගිරිකුල...
හැම හද සනහන සෙනෙහස් ගඟුලැල...
ආදරයේ රන් උණුසුම අරගෙන...
ජීවමාන මිනිසා අප අබිමුව...
වෙනසක් ඇවිදිල්ලා
වෙනතක් නොබලල්ලා
කිතු සමිඳුගෙ ආදරයේ
සැනසුම ඇවිදිල්ලා
ජීවිත වෙනසක් පතුරාලන්නට...
වෛරය ප්‍රේමෙන් වෙනස් කරන්නට...
ආදරයේ රන් අසිපත අරගෙන...
වර්තමාන මිනිසා අප අබිමුව
වෙනසක් ඇවිදිල්ලා
වෙනතක් නොබලල්ලා
කිතු සමිඳුගෙ ආදරයේ
අසිපත ඇවිදිල්ලා
ෆ්‍රැන්සිස් නම් ලද සුදු සඳ අගපිය...
වැලඳගනිමු අපි ආදරයෙන් ඔබ...
ජේසුගේ ප්‍රේමය දිවියම දියකර...
සනහා යනු මැන සිරිබර සිරිලක...
වෙනසක් ඇවිදිල්ලා
වෙනතක් නොබලල්ලා
කිතු සමිඳුගෙ ආදරයේ
උණුසුම ඇවිදිල්ලා
වෙනසක් ඇවිදිල්ලා
වෙනතක් නොබලල්ලා
කිතු සමිඳුගෙ ආදරයේ
අසිපත ඇවිදිල්ලා
ප්‍රේමයෙන් පවතින්න...//
පදරචනය -
නුවන් ලියනගේ