කුඩා කල සිට ගමට කලා ආයතනයක් ගෙන ඒමේ තිබූ හීනය සපුරා ගැනීමට වයස 17 ක් වනවිට ඇය කොළඹට පැමිණෙයි. ශ්‍රී ලංකා ගුවන් සේවයේ එමිරේට්ස් ගුවන් සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් වන පීටර් හිල් ඇයගේ ප්‍රසංගයක් නැරඹීමට පැමිණ ඇය හමුවන පළමු හමුවම විවාහයෙන් කෙළවර වේ. ඉන් අනතුරුව පීටර් හිල් ඇයට එක් උපන්දිනයකදී තෑග්ගක් ලෙස අරකාවිලින් ඉඩමක් ලබාදෙන අතර, එහි කලායතනයක් ඉදිවන්නේ වසරකට විනෝද චාරිකා තුනෙන් දෙකක් මඟහරිමිනි. ඒ කැපකිරීම්වල එක් ඵලයක් ලෙස 'පටාචාරා' නෘත්‍ය නාටකය ඇය හඳුන්වයි. වර්තමානයේ අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ අධ්‍යක්ෂිකා ලෙස කටයුතු කරන ඇය ජානකී හිල් ය. ඇයගේ අධ්‍යක්ෂණයෙන් හා තිරරචනයෙන් නිර්මාණය වන 'පටාචාරා' නෘත්‍ය නාට්‍යය මෙම මස 25 වැනි දින ප.ව. 7.00 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී වේදිකාගත කිරීමට නියමිතය. මේ සම්බන්ධව අදහස් දැක්වීමකට අපි ඇයව සම්බන්ධ කර ගතිමු.
'පටාචාරා' වගේ කතා පුවතක් වේදිකා නාට්‍යයක් හරහා වර්තමාන සමාජයට එන්නත් කරන්න උත්සාහ දරන්නේ ඇයි?
අතීත කතා පුවතක් අතීතයටම අයිති වෙන්න ඉඩනොදී වර්තමානයට ගෙනියන්න හිතුවේ වර්තමානය වනවිට කාන්තාව මුහුණදෙන්නා වූ ප්‍රශ්න ගැන කතා කිරීමටයි. මේ ප්‍රදේශය තුළදී පවා මගේ ඇස ගැටුණු දෙයක් තමයි අවුරුදු 14 වෙනකොට බොහෝ ගැහැනු දරුවෝ පෙම්වතෙක් හොයා ගන්නවා. ඇත්තටම ඒ අය ළදරුවෝ. අම්මා ගාව ඉන්න ඕන. එහෙම කෙනෙක් තරුණයෙකුට රැවටිලා ජීවිතයම කාලකන්නි කරගන්නවා. ඊට පස්සෙ මේ අවුරුදු 14 ළමයට සිද්ධවෙනවා එයාගේ ස්වාමි පුරැෂයාගේ වැඩ කරන්න, ළමයින්ගෙ වැඩ කරන්න, ගෙවල් මිදුල් අතුගාන්න. එහෙම සිදුවීම් ගණනාවක් අපිට අත්දකින්න ලැබෙනවා. ඒ වගේම අත්දැකීම් මදිකම නිසා ඒ අය පවුල් ජීවිත අවුල් කර ගන්නවා. සමහර ළමයින්ට අවුරුදු දාසය වෙනකොට ළමයි දෙන්නයි. ළමා වයසේ ඉන්න ඕන කෙනෙක් එයාගේ ළමයින්ව බලාගන්නවා. අත්දැකීම් මදිකම සහ අධ්‍යාපනය මදිකම තමයි මේකට හේතුවෙන්නෙ. ඒ නිසා තමයි මේ වගේ නාට්‍යයක් වේදිකාවට ගේන්න අදහස් කළේ.
'පටාචාරා' වගේ කතාවක් වර්තමාන වේදිකාවේ තාක්ෂණයත් එක්ක මුහුවෙද්දී ඊට හානි සිදුවිය නොහැකිද?
නෙළුම් පොකුණ කියන්නේ අපේ රටේ දැන් තාක්ෂණික මෙවලම් අතින් ප්රථමස්ථානයේ තියෙන වේදිකාව. එතනට යනවානම් තාක්ෂණයත් එක්ක වැඩකරන්න වෙනවා. එහෙම නැත්නම් ගමේ ප්‍රදර්ශනය කරන්නත් පුළුවන්. අපි හැමවිටම උත්සාහ කරනවා මෙය විනයානුකූලව කරන්න. අපි මෙහිදී අඩි 52ක් දිග මාලිගාවක් නිර්මාණය කරනවා. එය ත්‍රිමාණයි. ආලෝකකරණය වෙනවා. මේ කටයුතු එක්ක තාක්ෂණය එක්ක නිතැතින්ම ගැටෙන්න වෙනවා. ඒකෙන් මිදෙන්න බෑ.අපි හැකිතාක් උත්සාහ කරනවා තාක්ෂණය භාවිතයෙන් කතාවේ හරයට හානියක් නොවන විදිහට නිර්මාණය වේදිකාගත කරන්න.
වේදිකා නාට්‍යයට දායක වෙන අයගැන සඳහන් කළොත්?
මෙහි සිටු දියණියගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ප්‍රවීණ භරත නර්තන ශිල්පිනියක් වන රුක්සලා රෝෂණී. දාරකගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ ප්‍රවීණ බැලේ නර්තන ශිල්පියෙක් වන කපිල පලිහවඩන. මහාචාර්ය ලයනල් බෙන්තරගේ, ශ්‍රී ලාල් පෙරේරා, කෝසලා හර්ෂනී, සමන්ත විජේසිංහ, අනුර ද සිල්වා, ප්‍රියන්ත අංහෙට්ටිගම සහ අරකාවිල නර්තන හා නාට්‍ය පදනමේ ශිල්පීන් 120ක්, නටන්ඩා ඩාන්සින් තියටර්හි ශිල්පීන් 14 ක්ද, ශ්‍රී ලාල් රංගායතනයේ ශිල්පීන් 18 දෙනෙක්ද ඇතුළු ශිල්පී ශිල්පිනියන් 150 කට අධික පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.
ජනප්‍රිය යැයි හඳුන්වන චරිත යොදා නොගෙන ආධුනිකයින් එක්කරගෙන මෙවැනි නිර්මාණයක් කිරීමට අදහස් කළේ ඇයි?
මට තියෙන පළමු ප්රශ්නය ඇයි ජනප්‍රිය අය තෝරාගන්නේ කියනෙකයි. ආධුනිකයෝ ජනප්‍රිය වෙන්නැද්ද? දැන් මාත් එක්ක ඉන්න ළමයි ආධුනිකයින් නෙමෙයි. ඔවුන් ප්‍රවීණයින්ට පවා අභියෝගයක් කළ හැකි අය. ඒ අය හැමදාම ආධුනිකයින් ලෙස තියාගෙන ඉන්නවා නම් එතනින් පිබිදීමක් ඇතිවෙන්නෙ නෑ.
වර්තමානයේ වේදිකා නාට්‍ය වටා එක්වන ප්‍රේක්ෂකයින් පිළිබඳ සෑහීමකට පත්විය හැකිද?
60% විතර හොඳ වේදිකා නාට්‍ය හා එක්වී සිටිනවා. අනිත් 40% රැල්ලට යන්නේ. පොතක් බැලුවත් පොඩි ළමයි හොඳ පොත් තෝරනවා. ඒ කියන්නේ ඊළඟට එන පරම්පරාව හොඳ පියවරක් තියලා. සංගීත සංදර්ශන නරඹන්න යන ප්‍රේක්ෂකයා 'මහ සමයම' 'පටාචාරා' බලන්න එන්නෙ නැහැ. ඒකට වෙනම ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ලංකාව ගත්තොත් කොළඹ, නුවර, ගාල්ල යන ප්‍රධාන නගරවල ඉන්නවා බුද්ධිමත් ප්‍රේක්ෂකයෝ.
ඔබ අපේකම ගැන නිතරම කතා කරනවා. ඔබ එහෙම කතා කළත් වේදිකා නිර්මාණයන්ටසහය දක්වන ඔබේ සැමියා විදේශීය ජාතිකයෙක්?
ඒක තමයි ලැජ්ජාවට කාරණය. මම ආපු ගමනට කිසිම රාජ්‍ය ආයතනයකින් උදව් කරලා නැහැ. මම ඒකට දොස් කියන්නෙ නැහැ. අපිට උදව් ඕන වෙලාවට වුණත් පීටර් කැමති නෑ එහෙම ඉල්ලන්න.කවුරු හරි එහෙම දැනගෙන එන ප්‍රවණතාවයකුත් නෑ.
වර්තමානයේ හැමදෙයක්ම වාණිජකරණය වෙලා. මේ රැල්ලට හසුනොවී ඉන්න ඔබ දරන ප්රයත්නය මොනවගේද?
ඇත්ත හැමතැනම හැමදෙයම අද වෙද්දි වාණිජකරණය වෙලා. එතකොට හිතෙනවා අපි ගමේ ඉඳන් මේ කරන දෙය වාණිජකරණය කරන්නද වෙන්නෙ කියලා. එතන තමයි ප්රශ්නය. කොළඹ ඉන්න සමහර පුද්ගලයින් තමයි සමහර ගම්වල ළමයි වේදිකාවට ගෙනත් නිරුවතින් නටවන්නේ. මේ වටපිටාව තුළ ගුරුන්වහන්සේලා ඉන්නවා අදත් ඒ සම්ප්රදාය රැකගෙන ළමයි විනයානුකූලව හදන. අප තාම දණ්ඩි කදේ පද පාගනවා. ඒ කියන්නේ විනයානුකූලව ශිල්පය දෙනවා. එහෙම තියෙද්දී කොළඹ එක රැයෙන් නර්තන තරු බිහිවෙනවා. එතකොට විනයානුකූලව හදාරණ අයට මොකද වෙන්නෙ.
මෙවන් තත්ත්වයක් තුළ ඔබ ඊට අනුගතවීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිදුකළ යුතුයි නේද?
ප්‍රතික්ෂේප කළොත් පැවැත්මක් නැහැ. මම අපේ ළමයින්ට දෙන අවවාදය තමයි කලාවේ විනය හදාගන්න කියන එක. මේකට එන ගොඩක් දෙමාපියෝ කියන්නෙ රියලිටි තරගයට යන්න නැටුමක් පුරුදු කරන්න කියලයි. ඒවට නැටුම් පුහුණු කරන්නෑ කියල කිව්වම අහනවා කොච්චර කල් යනවද නැටුම් ඉගෙන ගන්න කියලා. ඇත්තටම කලාවට ආදරේ ළමයි තවම ඉතුරවෙලා ඉන්නවා. මමත් තවම කලාව ඉගෙන ගන්නවා. ඒක අවසන් කරන්න බැහැ.
නිදුක් මධුෂික/ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ