මීට දශකයට පමණ පෙර බිහිවූ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව අදටත් නොසැඟවුනු මේ ගීතය ශාන්ත කුමාර විතාන හෙවත් ශකුවිගේ පදමාලාවකි. සංගීතවත් කර කටහඬ මුසු කළේ ලක්ෂ්මන් හේවාවිතාරණය.
මාධ්‍ය සංවේදියෙකු සහ නවකතාකරුෙවකු බව දැනගෙන සිටි ශකුවි ගීත රචකයෙකුද වන බව රසිකයන් දැනගත්තේ 'මල් කැකුල' හරහාය.
එකී ශකුවි එදා මෙදා තුර ගීත සියගණනක් රචනා කර ඇති අතර, ඔහු අලුතින්ම ගීයක් ලිව්වේ, කරුණාරත්න දිවුල්ගනේ නම්වූ ප්‍රවීණ ගායන ශිල්පියාටය.
මේ ඒ සියල්ල පිළිබඳව ශකුවි සමග කළ පිළිසදරක සටහනකි.
Q මොකක්ද ඔබේ මේ අලුත්ම ගීතය?
''කඳුළු අහවර වී දෙනෙත් වල
තිබුණු පෙර වියැලී
සෙනේ සිත කැළඹී සුසුම් වැල්
පෑව යන නික්මී
ඔබේ ළඟ නැවතී.....''
ඇත්තටම මේ ගීතයේ තේමාව වුණේ ප්‍රේමය. එහෙම නැත්නම් වෙන්වීම සහ හමුවීම. මේ ලෝකෙ ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට ආදරය අනිවාර්යයෙන්ම මුණගැහෙනවා. නමුත් බොහෝවිට සිද්ධ වෙන දේ තමයි ඒ ආදරය අහිමි වීම. වැඩි වශයෙන්ම අහිමි වෙන්නෙ තමන්ගේ පෙම්වතියට වෙනත් පුරුෂයෙකු සමග විවාහ වීම. මේකත් එහෙම අවස්ථාවක්. නමුත් කිසියම් දවසක මේ සරණ ගිය පෙම්වතිය, ඇගේ පරණ පෙම්වතාට යළි මුණගැහෙනවා.
ඒ වගේම ඇය පරණ පුරුදු විදිහටම හිනාවෙනවා. ඒ හිනාව, තමයි මේ පෙම්වතාව අතීතය මතක් කරන්නෙ. එකිනෙකාට තුරුලුවූ වසන්තය මතක් කරන්නෙ. ඒ මතකය හිතේ උපද්දන්නේ ලෝබකමක්, තව වතාවක්, නෙමෙයි යළි යළිත් මුණගැහෙන්න ඇයව දැකගන්න ලෝබකමක් මෙන්න මේ කතාව තමයි කඳුළු අහවර ගීතයට තේමාව වුණේ.''
Q ඔබ මේ ගීතය රචනා කළේ දිවුල්ගනේම ඉලක්ක කරගෙනද?
නෑ, මගෙ අතින් මේ වෙනකොට ගී පද මාලා රැසක් ලියැවී ඇති. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී සැප්තැම්බර් මාසෙ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී - රන්සර පොත් කුටියේදී මගේ ගී පොතක් නිකුත් වෙනවා. මේ අවුරුද්දෙදී මගෙ දහවෙනි පොත නිකුත් වීමට නියමිතයි.
පාරමිතාව, අහස්වියන, සඳරැස් මාවත, සුනිල සඳ, තරු අරණ, මුතු අහුරක්, ඒ සොඳුරු ඇස්, කුමර නිම්නය, මල් පිපෙන තුරු ආදි නම්වලින් නිකුත් වූ ඒ පොත් පෙළේ ඇතුළත්ව තිබෙන්නෙ මගේ නිර්මාණ.
මෙයින් වැඩි හරියක් සඳැල්ල පත්තරේට අහස් වියන නමින් පළවූ ඒවා. කොහොම වුණත් දිවුල්ගනේට මගේ ගී පද රචනයක් දෙන්න අවස්ථාව ලැබුණු මොහොත මං හෙව්වෙ ඔහුගෙ කටහඬට ගැළපෙන හැඟුම්බර, සංවේදී විරහ ගීතයක්. මම එබදු ගී පද මාලා හයක් දිවුල්ගනේ මහත්තයාගෙ අතට පත් කළා.
Q ඔහුගෙ තෝරාගැනීම වුණේ කඳුළු අහවර වී ගීතයද?
ඔව්, කරුණාරත්න දිවුල්ගනේ කියන්නෙ අපේ සංගීත ලෝකයේ සිටින සාහිත්‍ය සම්පතක්. ඒ නිසාම ඔහු සෑම පදමාලාවක්ම සාහිත්‍යය සොයනවා.
පදමාලාවක අංග සම්පූර්ණ බව සොයනවා. ඒ නිසාම ඔහු මගෙ පද මාලාවෙ තිබුණු අඩුපාඩු වගයක් පෙන්නලා දුන්නා එකම වචනය පද මාලාවෙ දෙතැනක තියෙනවාට ඔහු කැමති වුණේ නෑ. ඒ වගේම ඔහුට අවශ්‍ය වුණේ අර්ථ පූර්ණ වචන. හොඳම වචන. ඉතින් ඔහුගෙ අභිලාෂය මම ඉටුකළා. ඉතා විශිෂ්ට පද මාලාවක් බිහිවුණේ ඒ විදිහටයි.
Q මේ ගීතයට සංගීතමය නිර්මාණය වෙන්නේ?
ආචාර්ය රෝහණ වීරසිංහ වෙතින්. ඔහු මේ ගීතයට ඉතා මනරම් සංගීතයක් නිර්මාණය කරල තියෙනවා. ගීතය ඉතා සාර්ථක නිර්මාණයක් වෙලා තියෙන්නෙ අන්න ඒ විශිෂ්ට සංගීතය නිසා බව කිවයුතුමයි.
Q ශාන්ත කුමාර විතාන කියන්නෙ ගීත රචකයෙකු වීමට සිහින දුටුවෙක්ද?
ඇත්තටම... මිට අවුරුදු විසිපහකට විතර කලින් මම ගීත රචකයෙකු වීමට හීන දැක්කා. මං හිතුවෙ මට එක ගීතයක් ලියාගත්තොත් ඇති කියල. ඒ කාලෙ මං දන්න නොදන්න ගායකයෝ බොහෝ ගණනකට මං ගීත රචනා කරල දුන්නා. නොදන්න අයට තැපැල් කළා.
නොදන්න අය කියා දන්න අයවත් මගේ ගීතයක් ගායනා කළේ නැහැ. ඔය අතරෙ තමයි සමන් පතිරණ කියන ගායකයෙක් දවසක් මා හොයාගෙන ආවෙ. ඔහු මගෙන් ගීතයක් ඉල්ලුවා. මමත් මහත් උවමනාවකින් ඔහුට ගීතයක් ලියලා දුන්නා. ඒ ගීතය තමයි
''පාරමී පුරන්නෙ නෑ ඉතිං
වේදනා විඳින්නෙ නෑ සිතින්
ඔහු අතේ වෙලි - ඈ යාවි ඇදී
අයෙමත් හඬන්නෙ නෑ නෙතින්''
මේ ගීතය මගේ හීන හැබෑකළා. නමුත් වඩාත්ම ජනප්‍රිය වෙන්නෙ 'මල් කැකුලකට ආදරෙයි කියන්න' ගීතයෙන්.
ඒක තමයි මට වාසනාව ගෙනා ගීතය. අදටත් ලක්ෂ්මන් හේවාවිතාරණ ගී ගයන්නෙ මොන වේදිකාවෙද, මොන රූපවාහිනි වැඩසටහනේද ඒ හැම මොහොතකදීම ඔහු 'මල් කැකුලකට' ගීතය ගායනා කරනවා. ඒ විතරක් නෙමෙයි ඔහු මේ වෙනකොට මගේ ගීත හතක්ම ගායනා කරල තියෙනවා.
Q මේ වෙද්දී ඔබේ ජනප්‍රියත්වට පත්වුණු ගීත බොහෝ ප්‍රමාණයක් ඇති?
විශාරද නන්දා මාලිනිය ගැයූ 'ලතු අහුරක් විහිදවා වාගේ', විශාරද දීපිකා ප්‍රියදර්ශනී ගැයූ 'ආයුබෝවන් පෙම්බරානෙණි', රෝහණ ශාන්ත බුලේගොඩ ගැයූ 'මල් උයනයි ඔබ', සමන් ජයනාත් ජිනදාස ගැයූ 'යහන පාළුයි', නෙලු අධිකාරි ගැයූ 'හන්තානේ කඳු මුදුන වාගෙයි ඔබ', ජගත් වික්‍රමසිංහ ගැයූ 'මනරම් අති මනරම්', එඩ්වඩ් ජයකොඩි ගැයූ 'රතුපාට වූ හිරු', කීර්ති පැස්කුවෙල් ගැයූ 'තරු පොකුරුවලින්' ඇතුළු ගීත රාශියක් මා අතින් ලියැවී තියෙනවා.
Q පහුගියදා පැවැත්වුණු කීර්ති ගී ප්‍රසංගය ආරම්භක ගීතය වුණේ ඔබේ ගීතයක් නේද?
ඒක තමයි, 'තරු පොකුරු වලින් මඟ සළකුණු පාර අසාගෙන' කියන ගීතය. කීර්ති පැස්කුවෙල් හා නවතම ගීත එකතුව නම් කරල තිබුණෙත් මේ ගීතයෙන්. කීර්ති අයියා, ඒ ගීතය හඳුන්වලා තිබුණේ ඉතාම ළයාන්විත ගීයක් විදිහට. ඒකම මට ලොකු සතුටක්.
Q එතකොට ඔබේ අලුත්ම ගීතය?
මං හිතන්නෙ තව නොබෝ කාලයකින් තවත් අලුත් ගීතයක් බිහිවේවි. මං පද රචනා කරලා විශාරද රෝහණ ධර්මකීර්තිට දීලයි තියෙන්නේ. ඔහු සංගීතය නිර්මාණය කරලා ගායිකාවක ලවා ගායනා කරවාවි. එකත් අපූරු පෙම් ගීතයක්.
Q එතකොට 'කඳුළු අහවර වී' ගීතය රසිකයන් ශ්‍රවණය කරන්නෙ කොහොමද?
දැනට 'යූටියුබ්' ඔස්සේ ශ්‍රවණය කරන්න පුළුවන් ඒ වගේම ගුවන් විදුලි නාලිකා කිහිපයකටත් මේ ගීතය බාරදීලයි තියෙන්නෙ.
''කඳුළු අහවර වී දෙනෙත්වල
තිබුණු පෙර වියැලී
සෙනේ සිත කැළඹී සුහුම් වැල්
පාව යන නිතරම්
ඔබේ ළග නවතී...
මගේ නෙත් මානෙන් මෙන්ම ඔබ
සරණ ගිය දවසේ
හඬා අවසන් වී තැවුල් සිත
හදාගත් දුකසේ
යළිත් ඔබ හමුවී - සිනාවී
සයුර සේ වැලපේ...
නැවත ඔබ වෙන්වී දුරස් වී
දුරක යන මොහොතේ
වසන් කළ ළංවී තුරුලු වූ
මතක හද තෙරපේ
යළිත් කවදා හෝ අපේ ඇස්
හමුවේද දිගැසී...''
ගී පද - ශාන්ත කුමාර විතාන
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය - ආචාර්ය රෝහන වීරසිංහ