දශක තුනකට ආසන්න කාලයක් රසිකයන්ගේ ආදරය දිනාගත් ආදරණීය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත තවමත් රෝගී තත්ත්වයෙන් පසුවේ. ඔහුට ප්‍රතිකාර සඳහා අවශ්‍ය මුදල් වෙනුවෙන් ඔහුගේ ජනප්‍රිය ගීත දෙකක් විකිණීමට සූදානම් වන බව හා ප්‍රින්ස්ගේ නැගණිය ප්‍රින්ස්ගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගැයීමට යන බවට කතාබහක් පැතිරෙමින් පවතී. මෙහි සත්‍ය අසත්‍ය බව සොයා ප්‍රින්ස් උදය ප්‍රියන්තගේ නැගණිය වන ෂිරෝමි ප්‍රියංගිකා මහත්මිය සමග කළ සංවාද සටහනකි මේ.
Q අදවන විට ප්‍රින්ස්ගේ රෝගි තත්ත්වය කොහොමද?
මෑතක නිව්මෝනියාවත් හැදුණා. පෙනහලු දෙකම නතර වෙලා ගොඩක් අමාරුවෙන් ජීවිතය බේරාගත්තේ. අයියට වසර දෙකක ඉඳන් තියෙන අසනීපය තමයි මොළයට විෂබීජයක් ගියපු එක. ඒ නිසා ඉන්ජෙක්ෂන් කෝස් එක කරන්න ඕන. බැරිවෙලාවත් කොහෙන්හරි තව විෂබීජයක් ඇතුළු වුණොත් අර අසනීපෙ වැඩි වෙනවා. සිහිය නැති වෙනවා, ඇවිදින්න කතා කරන්න බැරිවෙනවා.
ඊට පස්සෙ ඉන්ජෙක්ෂන් එක අනිවාර්යෙන්ම දෙන්න ඕන අයියා බේරගන්න නම්. අයියා බේරගන්න තියෙන එකම ක්‍රමය මේක. ඒ ඉන්ජෙක්ෂන් කෝස් එකට ලක්ෂ 25ක් යනවා. එක වෑල් එකක් අසූදාහක් වෙනවා. ඒක දවසට පහක් දෙන්න ඕන වගේම නොකඩවා දවස් 5ක් දෙන්න ඕන. ඊට පස්සේ රෝහල් බිලත් එක්ක ලක්ෂ 25ක් විතර වෙනවා. දැනට අයියට ලොකුවට සිහියක් නැහැ. වෙලාවකට මාවත් අඳුනන්නෙ නැති තත්ත්වයක් තියෙන්නේ.
Q ප්‍රින්ස්ගේ ගීත දෙකක් විකිණීමට යන කතාවේ ඇත්ත නැත්ත මොකක්ද?
ඔව් ඒක ඇත්ත. මට මේ අදහස ආවේ පසුගිය අවුරුදු දවස්වල අයියගේ ගීත දෙකක් මගෙන් කෙනෙක් ඉල්ලුවා. නමුත් මට එහෙම අදහසක් තිබුණෙ නැති නිසා මම අකමැති වුණා. ඒත් දැන් අයියගේ ඉන්ජෙක්ෂන් කෝස් ඒකට ලක්ෂ 25ක් පමණ වැය වෙනවනේ. ඒ නිසයි මම අයියගේ ගීත දෙකක් විකුණන්න හිතුවේ.
කලින් ඉඩම්, වාහන විකුණලා ඒ කෝස් එක හතර පස් පාරක්ම කළා. දැන් වෙන කරන්න දෙයක් නැති නිසයි අයියම ලියලා සංගීතවත් කළ 'ඔබ හා ගෙවූ අතීතේ' ගීතය සහ 'ඔබ මා හදින් සැඟවී නොයන්' කියන ගීත දෙක ඉහළම වටිනාකමට මම විකුණන්න තීරණය කළේ. සිංදුවලට වැඩිය වටින්නේ අයියගේ ජීවිතයනේ.
Q මේ ගීත දෙක විකුණන එක සම්බන්ධව ප්‍රින්ස්ගේ අදහස කොහොමද?
අයියට එච්චර ලොකු සිහියක් නැහැනේ. ඒ නිසා අයියා දන්නෙ නැහැ. නිහාල් ගම්හේවා, ලලිත් වසන්ත වගේ අයියට ගීත ලියපු අය පවා මට කතා කරල කිව්වා ඒ අය ලියපු ගීත වුණත් කමක් නැහැ විකුණලා අයියව බේරගන්න කියලා. ඒ නිසා මට ලැබෙන ඉහළම මිලකට මේ ගීත දෙක විකුණන්න මම බලාපොරොත්තු වෙනවා.
Q ප්‍රින්ස්ගේ ගීත වෙනත් අය ගායනා කරන තත්ත්වයක් අද නිර්මාණය වෙලා තියෙනවා නේද?
ඔව් ගීත එකක් දෙකක් කියලා ජනප්‍රිය වුණ අයට වෙන කියන්න ගීත නැති වුණාම අයියගේ ගීත කියනවා. මටත් ගොඩක්දෙනෙක් කතා කරලා කිවුවා ඒක. අයියා අසනීප වෙලා රෝහල් ගත කළ දවසේම එක් ගායකයෙක් ඇවිත් අයියගේ සිංදුවක් එයාගේ හඬින් පටිගත කරලා අයියට අහන්න දෙනවා.
මේ අයියා අමාරුවෙන් ඉන්නවා, මෙයා සිංදු අහන්න දෙනවා. පස්සෙ එයා ස්ටේජ් නැගලා අයියගේ සිංදු කියනවා කියලා ආරංචි වුණා. ඒ වගේම තව කීපදෙනෙක් මට කතා කරලා කියනවා මට තියෙන්නෙත් ප්‍රින්ස්ගේ හඬමයි අපි සිංදු කියලා සල්ලි හොයලා දෙන්නම්ලු. ඒකත් අර මුලින් කිව්ව වගේ වැඩක්. අයියගේ ගීත අවසරයකින් තොරව ගයන ඕනෑම කෙනෙකුට නීතිමය පියවර ගන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා.
Q ඔබ ප්‍රින්ස්ගේ ගීත කියන්න යන්නේ මේ හේතුව නිසාද?
ඇත්තටම ඔව්. අයියගේ ගීත රැකගන්නයි, අයියගේ බේත් වලට යන මුදල් ටිකක් හරි හොයාගන්නයි ඉදිරියේදී මම අයියගේ ගීත ප්‍රසංග වේදිකාවේ ගයනා කරනවා. මේක මුලින් හිතිලා තිබුණත් පොඩ්ඩක් හරි අයියගේ හිත රිදෙයි කියලා නොකර හිටියේ. දැන් තියෙන තත්ත්වය උඩ මේක නොකර බැහැ. ඒ නිසා ආරාධනා ලැබෙන පරිදි ප්‍රසංග වේදිකාවේ අයියගේ ගීත මම ගායනා කරනවා.
Q ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් වූ මේ ආදරණීය කලාකරුවා වෙනුවෙන් දුක්වෙච්ච උදව් උපකාර කළ රසිකයන්ට ඔබට මොනවද කියන්න තියෙන්නෙ?
ඇත්තටම ගොඩක් උපකාර කළා. මුදලින්, ඇවිත් බලලා, තව කෝල් කරලා විස්තර අහනවා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා. ඔබලගේ පැතුම නිසා තමයි අයියා අද මේ තත්ත්වයෙන් හරි ජීවත් වෙන්නේ. ඉදිරියටත් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ගිණුම් වලට හැකි පමණින් ආධාරයක් කරන්න අයියගේ ජීවිතය බේරාගන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා.
එස්.පී ප්‍රනාන්දු - 100948803862 - ජාතික ඉතිරි කිරීමේ බැංකුව - ඇල්පිටිය ශාඛාව
එස්.පී ප්‍රනාන්දු - 8103017799 - කොමර්ෂල් බැංකුව - ඇල්පිටිය ශාඛාව