හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 40 වැනි ගුණානුස්මරණයට සමගාමීව 'විරාගය' නවකතාවට වසර 60ක්ද, 'විරාගය' චිත්‍රපටයට වසර 30ක්ද සම්පූර්ණ වීම නිමිති කොටගෙන පසුගියදා මාර්ටින් වික්‍රමසිංහ දින උලෙළක් පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශය මගින් සංවිධානය කරන මෙම උලෙළේදී ප්රවෘත්ති පත්‍ර කලාවේදියෙකු වශයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ සේවය අගය කිරීමක්ද 'විරාගය' නවකතාව හා චිත්‍රපටය පිළිබඳ කතිකාවක්ද පැවැත්විණි.
විරාගය නවකතාවට වසර 60 ක් පිරීම පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශයේ මහාචාර්ය දර්ශන රත්නායක මහතාත්, විරාගය චිත්‍රපටය පිළිබඳ සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශයේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා විසින්ද අදහස් දැක්වූ අතර, පුවත්පත් කලාවේදියෙකු වශයෙන් වික්‍රමසිංහ මහතාගේ සේවය පිළිබඳ සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් විසින් දක්වනු ලැබූ අදහස් මෙසේය.
වික්‍රමසිංහ ඇසුර
මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත්ව සිටියදී මට වාසනාවක් ලැබුණා එතුමා ඇසුරු කරන්න. ඒ ඇසුරු කිරීමේදී මට ලැබුණු හොඳම ත්‍යාගය තමයි එතුමා ලියන හැම පොතකම අතිරේක පිටපතක් අත්සන සහිතව ලැබීම. මම වරක් වික්‍රමසිංහ මහතා හමුවුණු වෙලාවක එතුමා ඇහුවා එංගලන්තයේ පළවෙන සඟරා කියවලා තියෙනවද කියල. ඉංග්‍රීසියෙන් පළවෙන සඟරා දෙක තුනක් ගැන කියද්දි එතුමා දහයක් පහළොවක් ගැන කියනවා.
'උපන්දා සිට' කෘතියේ අන්තර්ගතය පිළිබඳ හදාරන්න යැයි මම විද්‍යාර්ථීන්ට පවසනවා. වික්‍රමසිංහ මහතා වැඩ කරපු පුවත්පත්වල හරය සහ අවුරුදු 30 - 40 ක ග්රන්ථ සේවාව 1920 - 24 දක්වා කාලයේදී 'දිනමිණ' පුවත්පත, එතැනින් තාවකාලිකව ඉවත්වෙලා ඩී වී ද ලැනරෝල් මහතා සමග 'ලක්වැසියා' පුවත්පතත් ආරම්භ කළා. 'ලක්මිණ' පුවත්පතට සම්බන්ධ වෙලා යළි ලේක්හවුස් 'සිළුමිණ' පුවත්පතට සම්බන්ධ වුණා. 1946 අවසානයේදී පූර්ණකාලීන ලේඛකයෙකු ලෙස කටයුතු කළා. 1946 සිට අඛණ්ඩ පූර්ණකාලීන ලේඛකයෙකු වීමට එතුමාට වරම් ලැබුණේ පුවත්පතකට සම්බන්ධ වී කාලය නාස්ති නොකළ යුතු යැයි විශ්වාස කළ නිසා විය යුතුයි. අනතුරුව එතුමා ගෙදරට පොත්පත් ගෙනැත් විශාල පුස්තකාලයක් නිර්මාණය කළා.
සංස්කෘතික මානව විද්‍යාව
එතුමා වඩාත් ප්‍රිය කළා පරිණාමවාදය ප්‍රධාන විෂය කරගත්ත මානව විද්‍යාවේ සංස්කෘතික මානව විද්‍යාව. (Cultural anthropology) එය තමයි අපේ විශ්වවිද්‍යාලවල නූගැන්වුණු විෂය. අදත් මානව විද්‍යාව හරියට උගන්වන්නෙ නෑ. කිසිම ඉගැන්වීමක් නැති කාලෙ වික්‍රමසිංහ මහත්තයා තමයි පර්යේෂණ කෘති රචනා කළේ. වෙලාවකට මට හිතෙනවා විරාගයේ එන අරවින්ද, වික්‍රමසිංහ මහත්තයද කියල. කාලයට වඩා පරිණත වුණු සමකාලීන කිසිම උගතෙක් literary guide කෘතිය කියවලා තිබුණෙ නෑ. වික්‍රමසිංහ මහත්තයා එම කෘතිය කියවලා එහි ආභාසයෙන් සංස්කෘතික මානව විද්‍යාවට අදාළ කෘති රචනා කළා. මැලිනොවුස්කිගේ පුරෝගාමී ලේඛන වික්‍රමසිංහ මහතාට හසුව තිබෙනවා.
පළමු නිදහස් කවිය
ගම්පෙරළිය ලියල අවසන් වෙලා 1947 විතර කාලෙදි එතුමාගේ 'සත්ත්ව සන්තතිය' රචනා කරමින් ප්‍රථම මානව විද්‍යාඥයා බවට පත්වෙනවා. කවුරුත් දන්නා දෙයක් තමයි ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ එන ථේරි ගාථා. එම ථේරි ගාථා ඇසුරෙන් 1947 දී එතුමාගේ 'ථේරි ගී' පළවුණා. සමකාලීනව තමයි ජී.බී. සේනානායක මහත්මයා පළිගැනීම පද්‍ය පන්තිය රචනා කළේ. ඒ වෙනකොට ජී.බී. සේනානායක මහතාව ඇසුරු කරනවා පමණක් නෙවෙයි දිනමිණ පුවත්පතට සේවය සඳහාත් පැමිණෙනවා.
ජී.බී. සේනානායක මහතා 'පළිගැනීම' කෙටිකතා සංග්‍රහයට පද්‍ය රචනා කරන්නට පෙරාතුව මාර්ටින් වික්‍රමසිංහ මහතා 'ථේරී ගීය' දිනමිණ වෙසක් කලාපයේ පළ කළා. ලංකාවේ ප්‍රථම නිදහස් පද්‍ය රචකයාගේ ගෞරවය යා යුත්තේ වික්‍රමසිංහ මහතාට නොවේද? ශේක්ස්පියර් කිව්වේ නිදහස් පද්‍ය රටා, විලියම් වර්ඩ්ස්වර්ත් ලිව්වේ නිදහස් පද්‍ය රටා. රවින්ද්‍රනාත් තාගෝර් ලිව්වේ නිදහස් පද්‍ය රටා. නමුත් මාර්ටින් වික්‍රමසිංහ මහතා නිදහස් පද්‍ය යන වචනය භාවිත කරන්නෙ නෑ. එනිසා ඉතිහාසය නිවැරදි කරන්න සිදුවෙනවා පුවත්පතක පළ වූ පළමු නිදහස් පද්‍ය රචනාව ගැන.
සේයාරූ ඉසුරු පෙරේරා